දේශීය

19ට අත තිබ්බොත් පාරට බහිනවා-රාජිත / 19 අහෝසි කරනවා-ප්‍රසන්න

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් යහපාලන රජය ගෙන ආ 19වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැකගැනීමට තමන් නායකත්වය ලබා දෙන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට වත්මන් රජය උත්සාහ කළොත් ජනතාව සමග පාරට බැස එම උත්සාහය පරාජය කරන බව රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පවසයි.

සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේදී (27) පැවති මාධ්‍ය හමුවට එක් වෙමන් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා, තම පක්ෂයේ සාමාජිකයින් විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව 19 වන සංශෝධනය රැක ගැනීම රටේ අතිමහත් බහුතරයක් ජනතාවගේ උවමනාව බව පැවසීය.

විධායක ජනාධිපති බලතල සීමා කිරීමට ජනතාවගේ කැමැත්ත 69%ක් බව පැවසූ සේනාරත්න මහතා ජනතා අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම තම අරමුණ බව පැවසීය.

කවුරු මොනවා කීවත් 19වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට ආන්ඩුවට ජනතා වරමක් ලැබී ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එබැවින් කුමන බාධක පැමිණියත් 19 ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම අහෝසි කරන බව රණතුංග මහතා පවසයි.

ජන වරම හෑල්ලු කිරීමට බොරු සමීක්ෂණ වලින් නොහැකි බවත් සමීක්ෂණ කතා කියමින් රාජිත සේනාරත්න මහතා පවසන්නේ පට්ටපල් බොරුවක් බවත් ඔහු පවසයි.

මහමැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලූ 2/3 ක බලය තමන්ට හිමිවූ බවත් ඒ අනුව කටයුතු කරමින් 19 වෙනි සංශෝධනය අහෝසි කිරීමට තමන් පසුබට නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?