ක්‍රීඩා

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය කරච්චි කිංග්ස් කණ්ඩායමට

මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට කරච්චි කිංග්ස් කණ්ඩායම සමත් විය.

ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම හා කරච්චි කිංග්ස් කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගයෙන් කරච්චි කිංග්ස් කණ්ඩායම මෙලෙස ජයග්‍රහනය කළ අතර ඒ කරච්චි කණ්ඩායම ලබා ගත් ප්‍රථම ශූරතාවයයි.

ප්‍රථමයෙන් පනදුවට පහරදුන් ලාහෝර් කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලකුණු 134ක් ලබා ගැනීමට හැකි විය.

සාර්ථක ඉනිමක් ආරම්භ කළ ටමිම් ඉක්බාල් ලකුණු 35ක් සහ ෆකාර් සමාන් ලකුණු 27ක් රැස් කළද  මැදපෙල පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ට විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට නොහැකි විය.

පන්දු යැවීමේ දී කඩුලු 2 බැගින් බිද හෙලීමට වකාස් මක්සූද්, අර්ෂද් ඉක්බාල් සහ උමයිඩ් අසීෆ්හහට හැකි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කරච්චි පිලට තම පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට හැකි විය.

බබාර් අසාම් පන්දු 49කදී හතරේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 63ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී කඩුලු 2 බැගින් බිද හෙලීමට හැරිස් රවුෆ් සහ දිල්බාර් හුසේන් හට හැකි විය.

තරගාවලියේ වීරයා සහ අවසන් තරගයේ වීරයා ලෙස බබාර් අසාම් සම්මානයෙන් පිදුම් ලැබීය.

කරච්චි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙම තරග වාරය ආරම්භයේ දී කටයුතු කළ ඩීන් ජෝන්ස් මීට මාස දෙකකට පමණ පෙර මියයාම හේතුවෙන් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස වසීම් අක්‍රම් කටයුතු කරන ලදි.

කොවිඩ් වසංගතය හේතුවෙන් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග කල් දැමීමට සිදුවිය. පෙබරවාරි 20 වනදා ආරම්භ වූ මෙම තරගාවලියේ දින කල් යාමත් සමඟ අවසන් වටයේ තරග පසුගිය 14 වනදා ආරම්භ විය.

පළමු වරට පාකිස්තානයේ දී ම මෙවර තරගාවලියේ සියලු තරග පැවැත්වීමට කටයුතු කිරීම ද විශේෂත්වයකි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?