ක්‍රීඩා

මැරඩෝනා දිවියෙන් සමුගනී

ලොව පුරා ක්‍රීඩා ලෝලින්ගේ ගෞරවාදරයටත් විටක සිය මතභේදාත්මක ජීවන පැවැත්ම නිසාම ලොවපුරා පුවත් මවන්නෙකුව සිටි හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා ඔහුගේ බුවනෝස් අයර්ස් නිවසේ දී හෘදයාබාධයක් ඇතිවීම නිසා මිය ගොස් තිබේ.

නොවැම්බර් මස මුල දී මොළයේ රුධිර කැටියක් සඳහා සාර්ථක සැත්කමක් කර ඇති මැරඩෝනා මත්පැන් ඇබ්බැහි වීම සඳහා ප්‍රතිකාර ලබාගැනීමට නියමිතව සිටි බව වාර්තා වේ.

වයස අවුරුදු 60 දී මිය ගිය මැරඩෝනා 1986 ලෝක කුසලානයේදී අර්ධ අවසන් පූර්ව වටයේ එංගලන්තයට එරෙහිව සුප්‍රසිද්ධ ‘හෑන්ඩ් ඔෆ් ගෝඩ්’ ගෝලය වාර්තා කරමින් ක්‍රීඩා ලෝලින්ගේ මතකයේ සදා ලැගුම් ගැනීමට සමත් විය.

සමාජ ජාලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආර්ජන්ටිනා පාපන්දු සංගමය ප්‍රකාශ කලේ “තම පුරාවෘත්තයේ මරණය ගැන ගැඹුරින් ශෝකයට පත්වී ඇති බවත් මැරඩෝනා සැමවිටම ඔවුන්ගේ හදවත් තුළ රැඳෙනු ඇත ”යනුවෙනි.

දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශ කරමින් ආර්ජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් පැවසුවේ “ඔබ අපව ලෝකයේ මුදුනට ගෙන ගියා. ඔබ අපව ඉමහත් සතුටට පත් කළා” යනුවෙන්.

බාසිලෝනා සහ නාපෝලි ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කළ මැරඩෝනා ඉතාලි සියෙරා ඒ ශූරතාව දෙවරක්ම දිනා ගෙන ඇති අතර ඔහු ලෝක කුසලාන 4ක් නියෝජනය කරමින් ආර්ජන්ටිනාව වෙනුවෙන් තරග 91ක දී ගෝල 34ක් රැස් කල බව වාර්තා වේ.

මැරඩෝනාගේ නායකත්වයෙන් ආජන්ටිනාව 1990දී ඉතාලියේ ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසුන අතර, 1994දී නැවත එක්සත් ජනපදයේදී පැවති ලෝක කුසලානය සදහා ද නායකත්වය දැරීමට ඔහු සමත් විය. 

එම තරගාවලිය අවසානයට ප්‍රථම ඔහුට නැවත නිවෙස් බලා පිටත් වීමට සිදුවන්නේ Ephedrine නම් උත්තේජනය ශරීර ගත වී ඇති බව තහවුරු වීම හේතුවෙනි.තම ක්‍රීඩා දිවියේ දෙවන අර්ධයේ දී කොකේන් ඇබ්බැහි වීම නිසා විටෙක තරග තහනමකටද ලක්වන මැරඩෝනා 1997 දී සිය 37 උපන්දිනයේදී ක්‍රීඩාදිවියට සමු දී ඇත.

කෙසේවෙතත් දියාගෝ මැරඩෝනා ලොව පාපන්දු ක්‍රීඩා ලෝලින්ගේ සිත් තුළ සදා අමරණීය වනු නිසැකය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?