දේශීය

අසාද් සාලිට එරෙහිව අධිචෝදනා පත්‍ර භාරදෙයි

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට කොළඹ මහාධිකරණය අද (25) අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

එම අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අසාද් සාලි මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් රෝද පුටුවකින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ විත්තිකරුට භාර දෙන ලදී .

ඒ අනුව  නඩු විභාගය නොවැම්බර් මස 2 වනදා සිදු කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර මීළඟ දින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබේ.

ඉකුත් මාර්තු මස 09 වනදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අසාද් සාලි මහතා විසින් “අපේ නීතිය අපිට. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ “හදිසියයි” හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ” යනුවෙන් ප්‍රකාශයක් සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කර තිබේ.

අසාද් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා තම සේවාදායකයා ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය විමසා සිටින බව දැනුම් දුන්නේය.

එම ඇප ඉල්ලීමට එම අවස්ථාවේ විරුද්ධ වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා දන්වා සිටියේය.

මෙම ප්‍රකාශය තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ එම අධිචෝදනා පත්‍ර ගොනු කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?