Latestදේශීය

චීනය සහ අප අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නැහැ

මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර සැපයීමට කොන්ත්‍රාත්තුව හිමිකර ගත් චීන සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යැවීම සාමාන්‍ය වෙළෙඳ ගනුදෙනුවක් පමණක් බවත්, එමඟින් රටේ අභිමානයට හෝ දෙරට අතර ඇති රාජ්‍යතාන්ත්‍රික සබදතා වලට  කිසිසේත්ම ගැටලුවක් නැති බවත් විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසනවා.  

වෙළද කටයුත්තකදී අගතියට පත්වන පාර්ශවය නීතිමය පියවර ගැනීම, එන්තරවාසියක් මගින් නඩු මගට යොමුවීම සාමාන්‍ය තත්වයක් බවත්, කාබනික පොහොර සැපයීමට අදාල චීන සමාගම ගෙන ඇති පියවර ද එවැනි තත්වයක් බවත් පවසන අමාත්‍යවරයා මෙම තත්ත්වය වැරදි ලෙස අර්ථකථනය කිරීමට ඇතැම් අය උත්සාහ දැරීම කණගාටුවට කරුණක් බව පවසනවා.

ඒ මහතා මෙම අදහස් ඵල කළේ ඊයේ (08) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර පොහොර සාම්පල පරීක්ෂා කළ මෙරට බලධාරීන් පවසන්නේ පර්යේෂණ පිළිබඳ සිය ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවයි. පොහොර මෙරටට ගෙන්වීමට පෙර සිදු කළ සාම්පල පරික්ෂාවේදී එහි අහිතකර ක්ෂුද්‍රජීවීන් ඇති බව තහවුරු කර ගත් අතර ගෙන්වීමට නියමිතව තිබූ පොහොර තොගය ද ප්‍රතික්ෂේප කෙරුණා.

මේ හේතුව නිසා චීන සීවින් බයෝටෙක් ගෲප් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 08ක වන්දියක් ඉල්ලා ජාතික ශාක නිරෝධායන සේවය වෙත එන්තරවාසියක් එවා තිබුණා.

මේ අතර අදාල චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 19 වන දා දක්වා තවදුරටත් දීර්ඝකරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය අද (09) නියෝග කළා.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් යළි සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එම නියෝගය නිකුත් කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?