දේශීය

පොඩි ලැසී යළි රිමාන්ඩ්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් පොඩි ලැසී තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ සැකකරු අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මොහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැණෙන වරදක් සිදුකර ඇති බවට අනාවරණය වී නොමැති බවයි.

එහෙත් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම සහ කුමන්ත්‍රණය කිරීම මෙන්ම ගිනි අවි සංශෝධන පනත යටතේ ගැණෙන වැරදි සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

එමෙන්ම ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටිය දී භාවිතා කරන ලද ජංගම දුරකථනයේ දත්ත විශ්ලේෂණ ඔස්සේ සිදුකළ විමර්ශනවල දී චමින්ද දිල්රුක් නොහොත් පරෙවි සුදා සහ විහඟ ප්‍රභාත් යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සහය ලබා දී ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සැකකරු ලබන 4 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට උපදෙස් ලබා දී තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?