Latestමතවාදවිදේශීය

සාරා මිය නොයන්නේ ඒ නිසාය.

දිනය – 2020 අගෝස්තු 17 වෙලාව රාත්‍රී 8.00 පමණ ස්ථානය පිලිපීනයේ තෙරෝස් දූපතේ අග නගරය වූ බකලෝඩ් සිටි හී එරක්කෝ ප්‍රදේශයේ සාන්ත මරියා විදිය.

සිදුවීම –  තරුණ විය පසු නොකළ කාන්තාවක් කඩයකින් රාත්‍රී ආහාරයට යමක් මිලදී ගෙන වීදියට පිවිසේ. නාදුනන තුවක්කු කරුවෙක් ඒ යුවතියට වෙඩි තබා පලා යයි. උන්ඩ හයක් විසින් සිදුරු කල සිරුර නිසල වේ. එසේ මිය ගිය කාන්තාව සාරා අල්වාරෙස් බව හඳුනා ගැනේ.

සාරා අල්වාරෙස් උපත ලැබුවේ 1981 වර්ෂයේදීය. සාරා හැදී වැඩුන්නේ දූපත් රාජ්‍යයක් වන පිලිපීනයේ ප්‍රධාන දූපත් වලින් එකක් වන නෙරොස් දූපතේ ය. එය ස්වදේශික ග්‍රෝතික ජනයා ජීවත්වන දූපතකි. බහුතර ස්වදේශික ජනයා දූපත්තේ උක් වගාව ඇතුළු මහ පරිමාණ වගාවක් කරන ධනවතුන්ගේ ප්‍රවේණි දාසයන් හැටියට වැඩ කරන තත්වයට පිරිහෙළන ලදුව දුප්පත් ජීවිත ගත කරන්නෝ වෙති.

ධනවතුන්ට අයත් වතුයායවල කුඩා නිවෙස්වල ජීවත් වන ඔව්හූ වැඩවසම් පැවැතුමක වින්දිතයෝ වූහ. 1970, 1980 දශකවල උක් වගාවට දූපතේ අක්කර දස දහස් ගණන් යෙදවුනු අතර ඉන් ඉපයු ලාභයත් ඒවායේ හිමිකරුවෝ පිලිපීනයේ ප්‍රධාන නගර වූ මැනිලා වල හෝ ඇමරිකා එක්සත් ජනපදයේ සැප ජීවිත ගත කරනෝ වූහ.

මේ දරිද්‍රතාවය නිසාම පීඩිත ජනයා අතරින් තම විමුක්තිය සඳහා වන ව්‍යාපාර  බිහිවිය. මුලදී පිලිපීන කොමිනියුස්ට් පක්ෂයන්, පසුව කතෝලික පූජකයින්, උගතුන් බුද්ධිමතුන් ආදීන්ගේද එකමුතුවෙන් ගොඩනැගුනු වාමාවාදී පසුබිමක් ඇති ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණක් එහි නායකත්වය දැරිය.

දූපතේ කඳුකර ප්‍රදේශ වල කොමිනියුට් පක්ෂයේ සහය ලබන නව ජාතික හමුදාව නම් එක්තරා ආකාරයක ගරිල්ලා සංවිධානයක්ද ජනතා අරගලය තුළ ක්‍රියාකාරි විය.

සාරා පාසල් සමයේ සිටම තම ප්‍රදේශයේ ගොවි ජනයා සමග සබඳතා පැවැත් වූවාය. ඇය විශේෂයෙන් නිග්රොස් දූපතේ පරිසරයට පෙම්බැන්දාය. දූපත වටා මහ මුහුදත් දූපතේ සොදුරු පරිසරයත් ඇගේ ඇගේ ජීවිතය විකසික කරන සජීවි වස්තුන් විය. ගොවි ජනයාගේ දුක්ඛිත ජීවිතයටද සොබාදහමට සේම ඕ පෙම් කළාය.

දුප්පත් ගොවින් සූරාකෑමට ලක්වන ආකාරය දුටු ඇය උපාධිය ලබා ගුරුවරියක වූ පසුව ඒ පන්නරයත් සමග දූපතේ ගොවි ජනයාව තම අයිතීන් දිනාගැනීමටත් ජීවිතය උදෙසා නැගී සිටීමත් සංවිධානය කිරිමට පෙරමුණ ගත්තාය.

නීතිඥවරියක නොවුවද නීතිඥවරියක ආසන්නයටම පුහුණුව ලැබු ඇය මානව හිමිකම් සංවිධාන සමග සම්බන්ධව සමාජ ක්‍රියාකාරිනියක, සාම ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළාය.

Karapatan මානව හිමිකම් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකාවක වූ ඇය දූපත්තේ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් අධ්‍යක්ෂවරියක ලෙසද ක්‍රියාකාරි වැඩ කොටසක් ඉටු කළාය.

මාකොස්ගේ පාලන සමයේ සිටම නිග්රොස් දූපත්තේ වාම ව්‍යාපාරය හා නව ජාතික හමුදාව ත්‍රස්ත ව්‍යාපාර ලෙස සලකා හැකි තරම් පහරදීමේ උපාය මාර්ගය පිලිපීන දක්ෂිණාංශික නායකයෝ අනුගමනය කළෝය.

රොඩ්රිගෝ දුතාර්තේ අධිකාරිවාදි පාලනය ආරම්භ වීමත් සමග මානව හිමිකම් ක්‍රියාකාරින්ද භයානක කොමියුනිස්ටම්වාදීන් දේශද්‍රෝහීන් ලෙස නාමකරණය කොට මර්දනය කිරීම වේගවත් විය.

සාරාගේ ක්‍රියාකාරකම් දූතර්තේ පාලනයට හිසරදයක් වන විට ඇය භයානක කොමියුනිස්ට්වාදිනියක ලෙස හංවඩු ගසමින් දැවැන්ත ප්‍රචාරනයක් දියත් කරන ලදී. දූතර්තේ පාලනය එවැනි කොමියුනිස්ට් ද්‍රෝහින්ගේ ඡායාරූප ඇතුළත් පෝස්ටර් ගම් නගර පුරා අලවා ප්‍රසිද්ධ කර පසුව ඉන් එක එකා ඝාතනය කිරිම ක්‍රමවේදයක් භාවිතා කරයි.

සාරාගේ ඡායාරූප ද එසේ ද්‍රෝහින්ගේ පෝටර් තුළ ප්‍රසිද්ධ කරන ලැබීය. ඇයට නිතර මරණ තර්ජන ගලා ආවාය. එහෙත් ඇය පසුබට නොවිය. සටන් කිරිමට මැලිනොවුවාය. තමා විශ්වාස කළ සත්‍ය වෙනුවෙන් සුබවාදීව ඕ පෙනී සිටියාය.

දුතතේ පාලනයෙන් පීඩා විදින, මරණයට පත්වුනු ජනතාව වෙනුවෙන් ඇය නොනැවති හඬ නැගුවාය. ඒ නිසා ඇයව බොහෝ දෙනා දැන සිටියෝය.

2020 පෙබරවාරියේදී දූතර්තේ ගේ අධිකාරිවාදි පාලනය ශක්තිමත් කිරීම සඳහා නව ත්‍රස්ත විරෝධි පනතක් සම්මත කරගත් අතර එය ඕනෑම ආණ්ඩු විරෝධියෙකු, ත්‍රස්තවාදියෙකු ලෙස නම් කොට ඝාතනය කිරිමේ බලපත්‍රයක් ලෙස දැන් දූතර්තේ පාලනය දැන් පාවිච්චි කරයි.

ඇත්තටම ඇයව මරා දැමුවේ තවත් සමාජ ක්‍රියාධරයෙකු වු අගොස්තු 10 දින මරා දැමු Randall Echants ගේ අවමංගල්‍ය සිදු කළ දිනයේදීය. Karapatan මානව හිමිකම් සංවිධානයේ ක්‍රියාකාරින් 13 දෙනෙකු දූතර්තේ බලයට පත් වූ පසු ඝාතනයට ලක් වී ඇත.

සාරාගේ ඝාතනය සමග නව ත්‍රස්තවිරෝධී පනත ගැන පිලිපීනය තුළ උණුසුම් කතා බහක් ඇති වී ඇති අතර සමාජ ක්‍රියාධරයින්ද තිගැස්මට ලක් වී ඇත.

මරණ තර්ජන ඉදිරියේ සාරා කියු දේ, “අපට ආපසු හැරෙන්න බෑ. එය ජනතාවට පිටුපෑමක්, ජනතාව අසරණ කිරිමක්”  කිව හැකි ක්‍රියාධරයින් මේ ඝාතනය සමඟ තවත් මතුවේවිද? ප්‍රශ්නය එයයි. නමුත් මාකොස්ගේ ඒකාධිපති පාලනය ද බිඳ දැමු අතීතය සෑම අධිකාරිවාදී පාලකයෙක්ම මතකයට නගා ගත යුතුව ඇත.

සාරා මිය නොයන්නේ ඒ නිසාය.

මහින්ද නාමල්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?