දේශීය

ජනපති මල්වතු – අස්ගිරි මහනාහිමිවරු බැහැදකී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ‍(05) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පළමුව මල්වතු මහ විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහනායක අතිපූජ්‍ය තිත්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් බැහැදැක නව වසරට ආශිර්වාද ලබා ගත් බවයි.

පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ඓතිහාසික ස්ථානවල ආරක්ෂාවට සහ සංරක්ෂණයට රජය ගෙන ඇති වැඩපිළිවෙල පිළිබඳ ජනාධිපතිවරයා විසින් මෙහිදි මහනාහිමියන් දැනුවත් කර තිබේ.

මහනායක හිමි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූ අතර මල්වතු විහාර භූමියේ ඉදිකෙරෙන නව විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වුණි.

ඉන් අනතුරුව අස්ගිරි මහවිහාරයට පැමිණි ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා විහාර මන්දිරය වැඳ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි නාහිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමග ද පිළිසඳරක නිරත වී විහාර පරිශ්‍රයේ සිදුකෙරෙන ඉදිකිරීම් පිළිබද විමසා බැලු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අස්ගිරි උඩුගම විහාරස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සෙත් පිරිත් සජ්ඣායනාකර ආශිර්වාද කළ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමි රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට අනුශාසනා කර තිබේ.

ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමි ඇතුළු මහ සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගෙන ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?