දේශීය

පාඨලීගේ ප්‍රතික්ෂේප වූ ඉල්ලීම

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙනවාද ? නැද්ද ? යන නියෝගය ලබන 24 වන දා ප්‍රකාශයට පත්කරන බවට අභියාචනාධිකරණය නියම කළේය.

2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු බරපතළ අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළ සාක්ෂි වසන්කිරීම හා සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් සම්බන්ධයෙන් මෙම නියෝගය ලබා දී තිබේ.

මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම මේනකා විජේසුන්දර සහ එස්. කුමාරන් රත්නම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී චම්පික රණවක මහතාට එරෙහිව හෙට (11) දිනයේ කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිත නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරන ලද ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

පෙත්සම්කාර චම්පික රණවක මහතා කියා සිටින්නේ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ බව කියන රිය අනතුරකට අදාළ සාක්ෂි වසන් කිරීම හා සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවයි.

එම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට සිය නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කළ ද එය ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

අනතුරුව නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට විනිසුරුවරයා නියෝග කළ බව ද චම්පික රණවක මහතා අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

එමෙන්ම තමන්ව අදාළ චෝදනා වලින් නිදහස් කරන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?