Latestදේශීයමතවාද

තට්ටු සිනා – මන බඳිනා

තට්ටු කරන්නාට දොර ඇරේ කියල කියමනක් තියනවා. ආයේ කියනවා තට්ටු කරන්නාට තට්ටු වේ කියල. ලංකාවේ දේශපාලනයේදී කියනවා තට්ටු මාරු ක්‍රමය කියල. ඒක ප්‍රධාන කියන පක්ෂ දෙක අතරේ බලය මාරුවෙන ගේම් එකක් කියලත් කියනවා. තට්ටු මාරු ක්‍රමය නිසා ලංකාවට කෙළවුනා කියලත් කියනවා. ඒ නිසා තට්ටු මාරු ක්‍රමය වෙනුවට අපිට දෙන්න කියලත් කට්ටියක් කියනවා. ඒ උනුත් එකයි මුනුත් එකයි හින්ද. ‘උනුත් එකයි මුනුත් එකයි මෙදා පාර අපි අරයට’ කියල අපි හිත හදා ගන්නවා.

දැන් අපි උනුත් නැතුව මුනුත් නැතුව එයාලට දෙන්න හිතාගෙන ඉන්නකොට උන්ගෙන් එකෙක් ඇවිල්ල එයාට පිටිපස්සෙන් තට්ටුවක් දානවා. රයිට්, ඔයා වැඩේ කරගෙන යන්න…අපි යන්නම්…! එතකොට එයා ලස්සන හිනාවක් දානවා. එතකොට ‘උනුත් එකයි මුනුත් එකයි කට්ටිය’ එක්ක තරහයි කියල අපි හිතාගෙන ඉන්න එයා ගැන අපි අවුල් වෙනවා.

පස්සේ එයාල කියනවා ගණන් ගන්න එපා ඔය වගේ තැන්වල ඉන්න කොට එහෙම ඉන්න වෙනවා කියල. ඒ කියන්නේ වසඟය (seduction) දාන්න වෙනවා කියල. ඇත්තටම නොවුණත් ඒ වගේ තැන්වල ඉන්නකොට මූනිච්චාවට වගේ එහෙම කරන්න වෙනවා. දැන් කතාව යන්නේ ඒ විදියට.

එහෙනම් සමහර විට එයාල කරන්නෙත් එහෙම දෙයක් වෙන්න පුළුවන්. එතකොට දැන් එන ප්‍රශ්නේ තමයි වැඩියෙන් ඒක හොඳට කරන්නේ කවුද කියන එක. දැනට නම් එයාල හොඳට කරන බව පේනවා. දැනටත් එයාල හොඳ තට්ටු කිහිපයක් දාල තියනවා.

වසඟය සඳහා නම් අපි දේවල් කරන්නේ එතැනදී එන ලොකුම න්‍යායික ප්‍රශ්නය වෙන්නේ ඇත්ත සහ බොරුව අතර රේඛාව මැකිලා යන එක.

එයාල තට්ටු කරන්නේ ඇත්තටද? ඒ වගේම මෙයාල හිනා වෙන්නේ ඇත්තටද? අපි අතරේ පරස්පරතා තිබුණට අපි බද්ධ වෛරයක නැහැ කියලත් මෙතැනදී කියන්න පුළුවන්. එයාල තට්ටු කරනවා. අපි හිනා වෙනවා. අපි එයාලගේ ‘තට්ටු සිනහා සංඥා’ පරිබෝජනය කරනවා. සතුටුයි.

වසඟය කියන එක බෝද්‍රිලා අර්ථවත් කරන්නේ සංඥා එක්ක කරන සෙල්ලක් හැටියට (sign-game). විශේෂයෙන් මාධ්‍ය සංඥා එක්ක කරන ඇස්බැන්දුමක් (spectacle). මේ සෙල්ලම ඇතුලේ යථාර්තය නැතිවෙලා යන එක වැදගත් දෙයක්. අර්ථය නැතිවෙලා යන එක ඒ වගේම තවත් දෙයක්.

සිනහවේ අර්ථය තමයි ඇඳුනුම් කම. තට්ටුවේ අර්ථය තමයි දන්නා කියන බව. දැන් හිනා වෙන්නේ දන්නා කියන නිසාද කියල අපි දන්නේ නැතුව තෝන්තු වෙනවා.

මෙතැන වෙන දේ තමයි මේ දෙක අතර යොමුව නැතිවෙලා යන එක. තවත් සරලව කිව්වොත් රෙෆරන්ස් (reference) එක නැතිවෙන එක. ඒ කියන්නේ සිනහව සහ ඇඳුනුම්කම අතර අප දන්නා සමුද්දේශන සම්බන්දය (referential relationship) අහෝසි වෙලා යන එක. ඒ එක්කම සිනහවේ ගැඹුරත් නැතිවෙලා යන එක.

අපි අතරේ ප්‍රතිරෝධයක් තියනවා කිව්වට වසඟය කරන්නේ සියල්ල එකම කානිවල් කළු කුහරයක් (carnival black hole) ඇතුලට අරන් යන එක. එහෙම කියන්නේ බෝද්‍රිලා.

මේ සංඥා ඉතාම සක්‍රීය (hyper-active signs -අධි ක්‍රියාකාරී සංඥා) නිසා ඒවා පටස් ගාල ජනප්‍රිය කරගන්න ලේසියි. ඒ නිසා පශ්චාත් දේශපාලනයේදි ඒවා නැතුව බැහැ. මම ඒක මීට කලින් කියල තියනවා. නමුත් එකකින් අනික වෙනස් වෙන්න (difference) හදන තැනදී දේවල් වෙනස් කරනවා වගේ පෙන්නුවට ඒවා අන් කවරදාටත් වඩා එකක් (de-deference) බවට පත් වෙනවා කියල ඈත බෝද්‍රිලා සඳහන් කරනවා.

ඉනුත් විශේෂයෙන් සයිබර් අවකාශයේදි ඒවා අති භයානකයි. ඉස්සරහා කැමරාව දිහා විතරක් නෙවෙයි පස්සත් බලන්න. මේ තියෙන්නේ මෙගා පොලිටික්ස්.

එහෙම නැත්නම් තට්ටු මාරු ක්‍රමය වෙනස් කරනවා වෙනුවට එයාල අපිටත් තට්ටු කරලා මාරු වෙයි කියල අපිට හිතෙයි. ඊටත් වඩා ‘මේ ඔක්කොම යාළුවො මල්ලි’ කියන එක ඇත්ත වෙයි.

‘මිනිසා, අර්ථය, යතාර්ථය, සත්‍යය, සමාජය, විමුක්තිය යන අප දන්නා සියළු නූතන අදහස් ඉතිහාසය නම් ගමන් මාර්ගය දිගේ ආපස්සට යමින් ඇත’ (බෝද්‍රිලා, In The Shadow of the Silent Majorities, 1983).

මහේෂ් හපුගොඩ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?