Latestදේශීය

පෙ.ස.ප. “ජන පෙළගැස්ම” දෙවන දිනය

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ (25) ආරම්භ කළ  “ජන පෙළගැස්ම” පෙළපාලියේ දෙවන දිනය අදයි. කොළඹ සිට ගාල්ල බලා ගමන් ගන්නා මෙම පෙළපාලිය දින 03ක් පුරා නගර පසුකරමින් ජනතාව දැනුවත් කරමින් විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කරමින් ක්‍රියාත්මක වෙනවා.

ඊයේ දින කොළඹ සිට පානදුර දක්වා ගමන් කළ පෙළපාලිය අද පානදුර සිට අහුංගල්ල බලා ගමන් අරඹා තිබෙනවා.

ඇත්ත බලාපොරොත්තුවක් මහජන ව්‍යාපාරයක් යන තේමාව යටතේ මෙම ජන පෙළගැස්ම නගර ගම් පසුකරමින් ඇදෙන අතර අද දින කළුතර නගරයේ ජන ආමන්ත්‍රණයක් සිදුකරමින් සිටින විට පොලීසියෙන් එයට බාධා කළ බවයි වාර්තා වන්නේ.

මෙම පෙළපාලිය අතරතුර වාද්දුව නගරයේ දී අදහස් දැක්වූ එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා,

මේ වෙන කොට අපේ රටේ ජනතාව විශාල අර්බුධ ගණනාවකට ලක්වෙලා තියෙනවා. එක පැත්තකින් ආහාර අර්බුධයක් අත වනමින් තියෙනවා. ඉදිරියේදී කන්නත් නැතිවෙන ප්‍රශ්ණයක් වෙමින් තියෙනවා. ඒ කන්න නැතිවෙන ප්‍රශ්ණයට උත්තර හොයනවා කියලා ආන්ඩුව කරන වැඩ වලින් විශේෂයෙන්ම සුළු ගොවියා විනාශ වෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.

දැන් මේ අස්වැන්න කැපෙන්න ආසන්නයේ තියෙන වෙලාවක ආන්ඩුව පිටරටින් හාල් ගෙන්වන්න තීරණය කරලා තියෙනවා. ඒ හාල් ගෙන්වීමත් එක්ක වී කිලෝවක මිළ පහත වැටෙමින් තියෙනවා. ඊයේ වෙද්දී පෞද්ගලික වෙළෙන්දෝ රුපියල් 60ට 65ට තමයි වී ගනිමින් තිබුනේ. ආන්ඩුව එක එක ගැලවිජ්ජා කරනවා. වන්දි ගෙවනවා කියලා බොරු කරනවා. දැන් වන්දි ගෙවන්නෙත් රුපියල් 25යි. මේ තත්ත්වය යටතේ ගොවියත් විනාශ වෙලා පාරිභෝගිකයත් විනාශ වෙලා ජීවන වියදම දරා ගන්න බැරුව ආහාර අර්බුධයක් එනවා.

අනිත් පැත්තෙන් ගත්තට පස්සේ බලශක්ති අර්බුධයක මුව විට ලංකාව තියෙනවා. එතකොට මේ ප්‍රශ්ණ වලට උත්තරයක් හොයන්නේ කොහොම ද? මේ ප්‍රශ්ණ වලට උත්තරයක් හෙවීම සදහා ගොඩක් අය යෝජනා කරනවා ඊලග අවුරුදු තුනකින් එන ජනාධිපතිවරනයේ දී මොකක් හරි වෙනසක් කරමු කියලා.

හැබැයි අපි හොදටම දන්නා එක කරුණක් තමයි අවුරුදු හැත්තෑගානක් තිස්සේ අපි මැතිවරණ වලදී මේ වෙනස්කම් කරන්න කියලා දරපු ඔක්කොම උත්සාහයන් ව්‍යර්ථ වෙලා තියෙන්නේ. ඒ උත්සාහයෙන් කිසිම වැඩක් වෙලා නෑ. දශක හතක අත්දැකීම් අපිට තියෙනවා.  පාර්ලිමේන්තුවට එක එක්කෙනා යවලා ජනාධිපතිවරු වෙනස් කරලා ආන්ඩු මාරු කරලා අපේ ප්‍රශ්ණ වලට උත්තරයක් හම්බ වුනේ නෑ.

ඒ වගේම තමයි ඊලග මැතිවරණයක් සදහා, ජනාධිපතිවරණයක් සදහා වසර තුනක කාලයක් තියෙනවා. මේ ප්‍රශ්ණ ඔක්කොම දරාගෙන වසර තුනක් ඉන්නවා කියන්නේ අපේ රටේ ජනතාව, අපේ රටේ වැඩකරන ජනතාව ගත්තොත් එහෙම ඒ අයගේ ඉරනම කොයිවගේ වෙයිද කියන ප්‍රශ්ණය මතුවෙනවා.

සමාජයක් විදිහට තවදුරටත් ආපස්සට හරවන්න බැරි තැනකට ගමන් කරන්න ඉඩ තියෙනවා.  ඒ නිසා කෙටිකාලීනව ගත්තොත් එහෙම අවශ්‍ය වෙලා තියෙන්නේ ජනතාවගේ බලයක්, මහජන ව්‍යාපාරයක් තුළ සංවිධානය වෙලා ඒ සංවිධානාත්මක බලය හරහා තමන්ට එන අභියෝගවලට මුහුණ දීම.  

දිගු කාලීනව අපට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ අර්බුධයට හේතු වෙච්ච සමාජ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරලා නව ප්‍රතිපත්තියකට මේ රට මේ ලෝකය ගමන් කරවන එක. ඒක කරන්නත් ජනතාවගේ මැදිහත්වීමක් අවශ්‍යයි. ජනතාවගේ ක්‍රියාකාරීත්වයක් අවශයයි. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා, පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩ නගන්න සංවිධානය වෙන්න. සහ ඒ මහජන ව්‍යාපාරය රාජ්‍ය සමග අභිමුඛ වෙන්න පුළුවන් ප්‍රති බලයක්, ද්විත්ව බලයක් බවට පත් කරන්න.

ඊලග පියවරේදී ඒ මහජන ව්‍යාපාරයට රාජ්‍යයේ තීන්දු තීරණ ගැනීමේ බලයම අත්පත් කර ගන්න ක්‍රියාවලියක් සදහා එකතු වෙන්න කියලා. ඒ සදහා ජනතාවට ආයාචනා කරමින්, ඒ සදහා ජනතාව අවබෝධයකට ගෙන එමින් තමයි අපි මේ කොළඹ සිට ගාල්ල බලා ගමන් කරන්නේ. අපි සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා, මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. අපිත් එක්ක කාත කරන්න එකතු වෙන්න සහ ක්‍රියාකාරීත්වයකට එකතු වෙන්න. අළුතින් හිතන්න එකතු වෙන්න. ඒ වගේම නුදුරේදී ගොඩනැගෙන මහජන ව්‍යාපාරයේ කොටස් කරුවන් වන්න මැදිහත් වන්න කියලා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?