Latestදේශීය

රාජපක්ෂවරු පලවා හරිනවා, සැකයක් තියා ගන්න එපා – අනුර කුමාර දිසානායක

රට හදන යෝජනා ගන්න රැස්වෙන සර්ව පාක්ෂික යැයි කියන සමුළුවේ සිටින්නේ හරි අපූරු කන්ඩායමක් බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එක්කෙනෙක් බැසිල්. නඩු හත අටක් තියෙන බැසිල්. අනිත් එක්කෙනා රනිල්. මහජන මුදල් නාස්ති කරපු ගජමිතුරන්ට මහබැංකුව මංකොල්ල කන්න දීපු රනිල්. අනිත් එක්කෙනා ජනාධිපතිකම නිසා (අධිකරණයෙන් බේරිලා නෙමෙයි) මුක්තිය නිසා බේරිලා ඉන්න නඩු තිස් ගානක් තියෙන ගෝඨාභය. අනිත් එක්කෙනා පඹයා කියපු හිටං කියපු හුටං කියපු මෛත්‍රීපාල. අනිත් එක්කෙනා කෝටි දහස් ගණනක් රටට අහිමි කරපු කබ්රාල්. අනිත් එක්කෙනා තමන්ගේ පාලන කාලයේ රට ණය බරක හිරකරලා තමන්ගේ පවුල තරකරගත්ත මහින්ද රාජපක්ෂ.

දිසානායක මහතා මෙම අදහස් පල කළේ පසුගිය දා නුගේගොඩ පැවති ජන රැලිය අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අදහස් සැකවින් මෙසේයි.

අපිටත් ලියුමක් එවුවා එන්න කියලා. අපි ගියානම් කියන්නේ එකයි. අනේ ගෝඨාභය ඔයාලා කරපු දේවල් ඇති බැහැලා යන්න. අපි නුගේගොඩට ආවේ වෙන මොකකටවත් නෙමෙයි. රාජපක්ෂ දැන් ඔයගොල්ලෝ යන්න කියන්න. මම මෙහෙම ශිෂ්ඨ භාෂාවෙන් කිවුවට පෙට්‍රල් ශෙඩ් එකක් ලග කියන්නේ මෙහෙම නෙමෙයි. ගෑස් පෝලිමකදි කියන්නෙ මෙහෙම නෙමෙයි.

මේ රටේ පොදු මහජනතාවගේ වේදනාව, ආවේගය කුමක්ද? දරුවගෙ කුසගින්න නිවාගන්න කිරි පැකට් එකක් ගන්න බැරිනම්, මිළ අධිකනම් හිගයි නම් අම්මට ඒ වේදනාව එන්නේ නැද්ද? පාසල් යන දරුවට විභාගය ලියන්න ප්‍රශ්ණ පත්‍රය මුද්‍රණය කරගන්න කඩදාසියක් නැත්නම් අම්මා තාත්තාට ඒ ආවේගය එන්නේ නැද්ද ?

කුඹුර වගාකරගන් පොහොර නැතුව අස්වැන්න නෙලාගන්න යන්ත්‍රසූත්‍ර නැත්නම් උඹලා පලයල්ලා කියන්න වේගයක් එන්නේ නැද්ද?ධීවර රස්සාව කරලා තමන්ගේ එදිනෙදා ජීවිතය ගතකරන  ධීවර ජනතාවට මුහුදු යන්න තෙල් ටිකක් ගහගන්න බැරිනම් ගෝඨාභය රාජපක්ෂලාට ආන්ඩුවට එහෙම කියන්නේ නැද්ද?

ඒ නිසා අපි ටිකක් මේ කතා කරන්නේ ශිෂ්ඨ භාෂාවෙන්. එදා වේල සරිකරගන්න ත්‍රී විල් රියදුරන් අන්ත අසරණ වෙලානම්, එදිනෙදා රියදුරු රැකියාව කරලා දරු පවුලට කන්න දෙන තාත්තලාට රැකියාව කරගන්න බැරිනම්, කුස්සියේ උයාගන්න ගෑස් ටිකක් නැත්නම් මොකටද මේ පාලනය.

ඉතිං මිනිස්සු කියන්නේ මොකක්ද ?

රාජපක්ෂලා උඹලා දැන් පලයල්ලා

හැබැයි මෙහෙම කිවුවට දැනෙන් නැති බව අපි දන්නවා

මේ පාලකයෝ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ වේදනාව නොදැනෙන හිරි වැටුනු පාලකයෝ.

මේ තරම් විශාල ප්‍රශ්ණයක් තිබෙනවා,  ගෝඨාභය රාජපක්ෂ යෝගට් හදනවා බලන්න යනවා.

මේ තරම් විශාල ප්‍රශ්ණයක් තිබෙනවා,  දෙමටගොඩ කෝච්චි පෙට්ටි බලන්න යනවා

මේ තරම් විශාල ප්‍රශ්ණයක් තිබෙනවා,  හැම සෙනසුරාදම ඥානා අක්කා හම්බවෙන්න යනවා

යූ ටියුබ් නාලිකාවට උදය ගම්මන්පිල කියනවා එයත් යනවලු ඥානා අක්කා හම්බවෙන්න. එහෙදි ගෝඨාභය හම්බවුනාලු. මොකක්ද වෙලා තියෙන්නේ? රටේ ජනතාවට වග නොකියන පාලකයෝ. ජනතාව පීඩාවට පත් කරන පාලකයෝ.  ජනතාව අන්ත අසරණභාවයට පත් කරන පාලකයෝ.  

පලවා හරින්න  අවශ්‍ය නැද්ද

සහතිකයි පලවා හරිනවා.

සැකයක් තියා ගන්න එපා.

මොකක්ද මේ තියෙන පාලනය

මේ රටේ විලම්භීත පාලනයක් තිබෙන්නේ

මහ ඡන්දෙ ඉවරවෙලා මාස 18යි.

කැබිනට් සංශෝධන 21යි.

අමාත්‍යංශ සංශෝධන 21යි.

21න්ම නාමල්ට වැඩියෙන් බෙදනවා.

ඇතුලෙන් එන තොරතුරු වලට අනුව ගෝඨාභය කියනවාලු නාමල්ට ඇමති කමක් දෙනකොට මහින්ද රාජපක්ෂගෙ මූණෙ මලක් පිපුනා වගේ කියලා. මොකක්ද මේ විගඩම. මහින්දගෙ මූණෙ මල් පුප්පවන්න. මෙහෙම රටක් පාලනය කරන්න පුලුවන් ද?

පහුගිය මාස 18ට වැදගත් ආයතනවල ලේකම් වරු, සභාපතිවරු, අධ්‍යක්ෂ වරු 30කට වඩා ඉල්ලා අස්වෙලා තිබෙනවා එක්කෝ අස්කරලා තිබෙනවා. අරාජිකත්වයක් නිර්මාණය කරපු පාලනයක් මේක.

රාජපක්ෂවරු තම ගජමිතුරන් එක්ක එකතුවෙලා මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් මංකොල්ලා කාලා. රටේ ආර්ථිකය කඩා වැටිලා. කර්මාන්තකරුවන්ට තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න විදියක් නැහැ.අත්‍යාවශය භාන්ඩ කන්ටේනර් 1500කට වඩා වරායේ හිරවෙලා. සමහර නැව් සමාගම් ලංකාවට එන්නේ නැහැ.

විශාල ආර්ථික කඩාවැටීමක් තියෙන වෙලාවක් මේක. පාලකයෝ ගත්ත උද්දච්ඡ, හිතුවක්කාරී, ආත්මාර්ථකාමී තීරණ නිසා දවසින් දවස රට අගාදයටම ඇදලා දැම්මා.

අපි දිගු කාලයක් පුරා දශක 3 ක තිස්සේ අපි කිවුවා. මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය දූෂිත දේශපාලනය කියලා.  අපේ රට මුළුමහත් ව්‍යසනයකට පත් කරන බව අපි දිගින් දිගටම කිවුවා. අපි දුර දැකලා කල් තියලා කිවුවා. මේක අපිට කිසිවක් ඉතුරු නොකරන ආර්ථික ප්‍රතිපත්තියක් කියලා අපි කිවුවා.

මහජනයගේ ධනය කෝටිප්‍රකෝටි ගණන් හොරකම් කරන, මහජනයගේ ධනය කෝටිප්‍රකෝටි ගණන් නාස්ති කරන, තමන්ගේ පවුල වටාත් තමන් වටා ඉන්න චෞර වළල්ලටත් බෙදා ගන්න දේශපාලනයක් මේක කියලා අපි දිගින් දිගටම කිවුවා. ඒක නෙමෙයි ද මේ දේශපාලන ?

මෙච්චර අර්බුධයක් තිබෙන වෙලාවක සීනිවලින් විතරක් ආන්ඩුවට අහිමි වුනු බදු ප්‍රමාණය කෝටි 1100ක්.  කෝටි 1500ක් කියලත් කියනවා. මෙච්චර අර්බුධයක් තිබෙන වෙලාවක ගජමිතුරන්ට පොල්තෙල් ආනයනය කිරීම හරහා වංචා කරන්න ඉඩ දෙනවා. මෙච්චර අර්බුධයක් තිබෙන වෙලාවක හයිවේ හදන්න ගජමිතුරන්ට දීලා මහා පරිමාණයෙන් හම්බකරගන්න ඉඩදෙනවා.  

මහමාර්ග නියෝජ්‍ය ඇමති අයින් වෙලා. හේතුව මොකක්ද ?  තමන්ගෙ කොටස හම්බවෙලා නෑ. අපි අභියෝග කරනවා, නිමල් ලංසා අමාත්‍යවරයා ඉල්ලා අස්වෙනකොට ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ කරුණු 4කින් යුත් ලියවිල්ල පුලුවන්නම්    රටේ ජනතාවට ඉදිරිපත් කරන්න. පුලුවන් නම් ඉදිරිපත් කරන්න.

2020 අවසන් වන විට අපේ රට කෝටි දහඅට ලක්ෂයක ණයකට හිරකරලා අපිව ණය කන්දකට යටකරපු පාලකයන් තවදුරටත් තබා ගත යුතුද?

නීතිය අවභාවිතා කරමින් කැබිනට් මණ්ඩලයටද නොදන්වා රටේ සම්පත් ඉන්දියාවටත්, චීනයටත්, ඇමරිකාවටත් විකුණා දමන්න ක්‍රියා කරන වත්මන් පාලනය නියත වශයෙන්ම පරාජය කරන බවත් ජනතාවාදී පාලනයක් ඉදිරියේ බිහි කරන බවත් ඒ පිළිබද කිසිවෙක් සැකයක් තියා නොගන්නා ලෙසත් පැවසූ අනුර කුමාර දිසානායක මහතා ඒ සදහා සියලු දෙනා ජාතික ජන බලවේගය සමග අත්වැල් බැදගන්නා ලෙස ආරාධනා කර සිටියා.

මෙම ජන රැලියට ඒකරාශි වූ ජනතාව හේතුවෙන් නුගේගොඩ මංසන්ධිය සම්පූර්ණයෙන්ම වැසී ගිය අතර පාගමන හේතුවෙන් හයිලෙවල් පාර ඇතුළු ප්‍රධාන මාර්ගයන් සියල්ලලෙහිම  රථවාහන ගමනාගමනය ඇනහිටියා.

අනුර කුමාර දිසානායක මහතා කළ සම්පූර්ණ කතාව පහතින්,

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?