Latestදේශීයමතවාද

ලංකා රුපියලේ අගය දැන් පාලනය කරන්නේ විදේශ විනිමය කළුකඩයයි – කළුකඩය පෝෂණය කරන්නේ (හිටපු) මුදල් ඇමති බැසිල් රාජපක්ෂයි

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස සේවය කල ආචාර්‍ය ඩබ්ලිව්. ඒ. විජවර්ධන ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට මාර්තු 21 දින තීරු ලිපියක් ලියා ප්‍රකාශ කර සිටියේ ලංකාවේ ශක්තිමත්ව පැතිරී ඇති විදේශ විණිමය කලුකඩ මාෆියාව මහ බැංකුවට රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට ඇති ප්‍රධානතම බාධාව බවයි. මේ වන විට රුපියලේ අගය දිනෙන් දින පහල යන අතර විදේශ විණිමය කළුකඩ ඇමරිකානු ඩොලරය මිලදී ගැනීමට සංවිධිත බැංකු ක්ෂේත්‍රය සමග තරඟ කිරීම මීට ප්‍රධාන හේතුව වී ඇත. එනම් මේ මොහොතේ ලංකා රුපියලේ අගය තීරණය කිරීමේ බලය මහ බැංකුවෙන් ගිලිහී ගොස් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අනුග්‍රහය මත පිලිකාවක් මෙන් පැතිර ගොස් ඇති විදේශ විනිමය කලුකඩ අතට පත්වී අවසන්ය. මේ බව බැසිල් රාජපක්ෂ ජනවාරි 30 ඉරිදා දිවයිනට සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් ඉතාමත් දීර්ඝව සහ විවෘතව ප්‍රකාශ කර ඇත (මේ සම්මුක සාකච්චාව බලන්න – විදේශවිනිමයඅර්බුදයවිසඳන්නඅපිහරිදිශානතියටගමන්කරනවා – මුදල්ඇමැතිබැසිල්රාජපක්ෂ). සමස්ත ආර්ථිකය තමන් සතු කැසිනෝවක් බවට බැසිල්රාජපක්ෂ පත්කර ගෙන ඇත.

මුදල් ඇමතිවරයා ඉහත සම්මුඛ සාකච්චාවේ හරි අඩක් තුලම නැවත නැවත කියා සිටින්නේ ලංකාවේ උන්ඩියල් සහ හවාලා වැනි විදේශ විනිමය කලු කඩ හොඳින් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය වන්නේ ඇයි කියාය. මෙය සාධාරණය කිරීමට ඔහු කියා සිටින්නේ යුද්ධය පැවති සමයේ උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමට පවා ඔහු මෙම ක්‍රමය භාවිතා කළ  බවයි.  එයින් හඟවන්නේ විදේශ විනිමය කලු කඩ නොතිබෙන්නට සිංහල බෞද්ධයාගේ යුධ ජයග්‍රහණය පවා අවිනිශ්චිත වන්නට ඉඩ තිබූ බවයි. නමුත් මෙම ක්‍රමය නිසා රටට ගලා එන විදේශ විනිමය විශාල වශයෙන් අහිමිවන බව සහ කිසිදු විගනනයක් නොමැතිව රටින් පිටට විදේශ විනිමය ගලා යන බව සහ එමගින් දරුණු ගෙවුම් ශේෂ හිඟයක් රට තුල නිර්මාණය කරන බව මාධ්‍යවේදියා විමසූ විට මුදල් ඇමතිවරයා සිනාසෙමින් පවසන්නේ එය මහ බැංකුවේ සහ රජයේ ප්‍රශ්ණයක්  බවත් සාමාන්‍ය ජනයාට එය ගැටලුවක් නොවන බවත්ය.

මෙයින් පෙනී යන්නේ අවි ආයුධ මිලදී ගැනීම දක්වා පැතිරුනු සෘජු  සම්බන්දයක් මුදල් ඇමතිවරයා විදේශ විනිමය කලු කඩ සමග පවත්වාගෙන යන බවත් එයින් ඔහු සෘජුව ප්‍රතිලාභ ලබන බවත්ය.

මෙම අසංවිධිත ක්ෂේත්‍රය ලංකාවේ විනිමය අනුපාතය තීරනය කිරීමේදී සංවිදිත බැංකු ක්ෂේත්‍රය සමග තරඟ කිරීම නිසා රුපියලේ අගය 50%කින් අවප්‍රමාණය වී ඇත. රජය අධික ලෙස මුදල් අච්චු ගැසීම පමණක් මේ තත්වයට හේතුව නොවේ. උදාහරණයක් ලෙස මහ බැංකුව රුපියලේ අගය වෙලඳපොලේ තීරණය වීමට ඉඩ හැරීමට පෙර විදේශ විනිමය කලු කඩ ඇ. ඩොලරය රුපියල් 240ත් 250ත් අතර මුදලකට මිලදී ගත් අතර මෙම අගය වසරක් වැනි දීර්ග කාලයක් තුල පවා ස්ථාවරව  පැවතුනේ මහ බැංකුව මුදල් අච්චු ගැසීම නොනවත්වා සිදු කරන අතරවාරයේදීය.  මෙම වකවානුව තුල මහ බැංකුව රුපියල් බිලියන 1,400ක් අච්චු ගසා ඇති නමුත් කලුකඩයේ විනිමය අනුපාතය ආසන්න වශයෙන් නොවෙනස්ව පැවතුනි (මෙයින් හඟවන්නේ මුදල් අච්චු ගැසීමෙන් විනිමය අනුපාතය අවප්‍රමාණය නොවන බව නොවේ). නමුත් රුපියලේ අගය වෙලඳපොල හරහා තීරණය වීමට ඉඩ හැරිය පසු එය දිනෙන් දින අවප්‍රමාණය වෙමින් පවතී. මේ සඳහා මූලිකම හේතුව වී ඇත්තේ අසංවිධිත ක්ෂේත්‍රය විසින් සංවිධිත බැංකු ක්ෂේත්‍රය සමග විදේශ විනිමය අත්පත් කර ගැනීමට තරඟ කිරීමයි. මෙමගින් කෘතිමව රට තුල දරුණු විදේශ විනිමය හිඟයක් නිර්මාණය කරන අතර විනිමය අනුපාතය දිනෙන් දින අවප්‍රමාණය වේ. මේ තත්වය මුදල් ඇමතිවරයාගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ලබමින් පෝෂණය වීම පවතින ආර්තික ව්‍යසනයට ප්‍රධානතම හේතුවයි.

රුපියලේ අගය අස්ථාවර වීම නිසා දරුණු උද්ධමන තත්වයක් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවී ඇති බව අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත. එමෙන්ම ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මෙන්ම වාමාංශික පක්ෂ වන ජවිපෙ සහ පෙසප ද මේ සම්බන්ධයෙන් වචනයක්වත් නොකියා සිටීමට වග බලා ගන්නේ ඔවුන්ගේ පක්ෂ දේශපාලනයට අවශ්‍ය අරමුදල් පවා ලැබෙන්නේ මෙම විනිමය කලුකඩ ජාලය හරහා නිසා වීම බව අනුමාන කල හැක. (රුපියලේ අගය වෙළඳපොලට තීරණය කිරීමට ඉඩ දෙන්න කියා හර්ෂ ද සිල්වා කියා සිටියත් එයින් කලුකඩයට කිසිම බලපෑමක් එල්ල වන්නේ නැත. එය දැන් පැහැදිලිව පෙනෙන්න තිබේ. එමෙන්ම සුනිල් හඳුන්නෙත්ති මේ සම්බන්දයෙන් ප්‍රකාශ කර සිටියේ විදේශ විනිමය කලු ආර්ථීකය මහ බැංකුවේ නිර්මාණයක් බවත් එය රාජ්‍ය සහ ව්‍යාපරික  අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව සිදු කරන බවත් ය. මෙම තත්වය මුලිනුපුටා දැමිය යුතු බවත් එසේ කල යුත්තේ ඇයි ද යන්නත් ඔහු ප්‍රකාශ කරන්නේ නැත).

විදේශ විනිමය කලුකඩ මාෆියාව මේ වන විට ලංකාවේ සමස්ථ ආනයන වෙළඳපොලෙන් සහ විදේශ විනිමය වෙළඳපොලෙන් විශාල ප්‍රතිශතයක් අත්කරගෙන ඇති අතර මෙම නිසා ලංකාවේ සමස්ථ ආර්ථිකයම ගරා වැටෙමින් අකර්මන්‍ය වෙමින් පවතී. අප්‍රිකානු මහද්වීපයේ 1980 දශකයේ මේ තත්වය ඉතාමත් දරුනු ලෙස ව්‍යාප්ත වූ අතර කලාපයේ රටවල් දරිද්‍රතාවයේ පතුලටම ගමන් කිරීමට එය හේතු විය. ඉන්දියාවේ ජවහල්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්‍යවරයෙකු වූ අරුන් කුමාර් මේ සම්බන්දයෙන් ප්‍රකාශ කර සිටියේ 1970 දශකයේ සිට ශක්තිමත්ව පැතිරුනු කලු ආර්ථිකය නොතිබෙන්නට ඉන්දියානු ආර්ථිකය දැන් පවතින දල දේශීය නිෂ්පාදිතය මෙන් 7ත් ගුණයක් පමන විශාල වනු ඇති බවත් ඉන්දියාවේ සාපේක්ෂ දුගී භාවයට මූලික හේතුව කලු ආර්ථිකයේ පැතිරීම බවත්ය (Arun Kumar, 2017, Understanding the Black Economy and Black Money in India). ඔහු පෙන්වා දෙන්නේ කලු ආර්ථිකය මෙතරම් දුරට ශක්තිමත්ව පැතිරීමට නම් මෙම අනීතික ගනු දෙනු නියාමනය කිරීමට සිටින රාජ්‍ය අංශයේ සෘජු සහයෝගය ඒ සඳහා අවශ්‍ය බවයි. කලු ආර්තිකයේ පදනම වන්නේ ව්‍යාපාරිකයින්, දේශපාලකයින් සහ විධායකය වන අතර මෙම ත්‍රිත්වයේ එක බල කුලුනක් හෝ අස්තාවර වුවහොත් සමස්ත පද්ධතියම අක්‍රිය වන බව ඔහු පෙන්වා දෙයි.

මේ සඳහා දේශපාලනික සහ සාමාජයීය පරිවර්තනයක් සහ පෙළඹුමක් අවශ්‍යවීම ප්‍රධානම සාධකය වන බවත්, තාක්ෂණික දැනුම සහ තනි පුද්ගලයින්ගේ ක්‍රියාකරකම් වලින් කලු ආර්ථිකය මුලිනුපුටා දැමිය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි. මේ ක්‍රියාකරකම් වලට සම්බන්ධ පුද්ගලයින් සහ ආයතන සම්බන්ධයෙන් විධිමත්ව තොරතුරු එක් රැස් කරගැනීම සහ එම තොරතුරු මත පදනම්ව ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම කළු ආර්තිකය අතුගා දැමීමට අත්‍යාවශ්‍ය වන බව ඔහු පෙන්වා දෙයි (Arun Kumar, 2017, p. 46-47). අප්‍රිකානු මහද්වීපයේ කළු ආර්ථිකය ගැන කර ඇති පර්යේෂණද මේ හා සමාන මතයක් ඉදිරිපත් කර ඇත.

විදේශ විනිමය කලුකඩ ව්‍යාප්තවීම නිසා සමස්ථ ආර්ථිකයක් විනාශ මුඛයට ඇදවැටීම වැලැක්විය  නොහැක්කේ ඇයි? රටේ මූල්‍ය විගනනය සම්පූර්ණයෙන් කඩා වැටීමට අමතරව මේ සඳහා බලපාන ප්‍රධාන කාරනා දෙකක් පෙන්වා දිය හැක.

1. විනිමය කළුකඩ ක්‍රමය හරහා රටකින් තවත් රටකට ප්‍රේශණ ලෙස එවන මුදල් දේශසීමා පසුකර යන්නේ නැත. වෙනුවට දෙරටේ කළුකඩ ඒජන්තයින් අතර සිදුවන හර බැර ක්‍රමයක් මගින් අදාල මුදල් දේශීය මුදල් ඒකක වලින් ලැබිය යුතු පුද්ගලයාට පියවනු ලබයි (මේ ක්‍රමය ගැන මූලික හැඳින්වීමක් ලබා ගන්න මේ ලිපිය කියවන්න – ‘Combating invisible financing for terrorism’ by Nishadi Thennakoon. DailyFT, May 29, 2019). උදාහරණයක් ලෙස විදේශගතව සිටින ශ්‍රමිකයින් කළුකඩ හරහා එවන විදේශ විනිමය ප්‍රේශණ ලංකාවට හෝ බැංකු පද්ධතියට ඇතුල් වන්නේ නැත. මහ බැංකුව 2013දී ප්‍රකාශ කර සිටි අන්දමට ලංකාවට එවන ප්‍රේශණ වලින් 40%ක් පමණ පැමිනෙන්නේ විනිමය කළුකඩ හරහා වන අතර මේ තත්වය මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ පූර්ණ අනුග්‍රහය යටතේ දැන් තවත් උග්‍ර වී ඇත. 2021 සහ 2020 දී ලංකාවට ලැබුනු ප්‍රේශණ වල අගයන් සලකා බැලූ විට විනිමය කළුකඩ හරහා එවන ප්‍රේශණ හේතුවෙන් මෙම වසරේ ලංකාවට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.5ක් ඉක්මවනු ඇත. මෙම අගය 2021දී ලංකාවේ සමස්ථ ඉන්ධන ආනයන සඳහා වැය වූ පිරිවැය මෙන් දෙගුනයකට ආසන්නය. 2022 ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක තුල පමණක් විදේශ විනිමය කළුකඩ නිසා රටට අහිමි වුනු විදේශ විනිමය ප්‍රේශණ ප්‍රමාණය ආසන්න වශයෙන් . ඩො. බිලියන 1.5කි.

රුපියල නෛතික වෙළඳපොලේ අවප්‍රමාණය කළ පමණින් මේ තත්වය වෙනස් නොවන්නේ කළුකඩ කරුවන් රුපියල තව තවත් අවප්‍රමාණය කරමින් විදේශ විනිමය මිලදී ගැනීමට යොමුවන බැවිනි. විනිමය කළුකඩ ආරක්ෂක අංශ යොදවා බල රහිත නොකර විපක්ෂය කියන ආකාරයට පොලී අනුපාත ඉහළ දමා සමනය කිරීමට යෑමෙන් නිෂ්පාදන ක්ෂේත්‍රය තවත් අඩපන වීම වැලැක්විය නොහැක. ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ආචාර්ය ඩබ්ලිව්. . විජේවර්ධන පවතින තත්වය සමනය කිරීමට යෝජනා කරන්නේ අදික ලෙස පොලී අනුපාත ඉහල දැමීමය. එමගින් ඉතිරිකිරීම්ආයෝජන වෙළඳපොල යම් ස්ථාවරත්වයක් අත් කර ගනු ලබන්නේ ශ්‍රම වෙළඳපොල තුල සමතුලිතතාවය හීන කිරීමෙනි. එනම් විරැකියාව ඉහල දැමීමෙනි.

අනීතික මූල්‍ය ජාවාරම් නැවැත්වීමට ආරක්ශක අංශ වෙනුවට පොලී අනුපාත යොදා ගැනීම මගින් සිදුවන්නේ ආර්ථිකය ගෙවුම් ශේෂ අර්බුධයකින් ආර්ථික අවපාතයක් දක්වා සීරු මාරු වීම පමණි. උදාහරණයක් ලෙස ලංකාවේ මූර්ත විනිමය අගය (Real Effective Exchange Rate) අධිප්‍රමාණය වී ඇත්තේ 17%කින් පමණක් වුවත් (IMF Report on Sri Lanka, 2022) (එනම් රුපියලේ සැබෑ අගය . ඩො 1කට රුපියල් 240ක් පමණි) කළුකඩ වල ක්‍රියාකාරිත්වය නිසා නෛතික වෙළදපොල  තුල ලංකා රුපියල 50%කට වඩා අවප්‍රමාණය වී ඇත. මෙම තත්වය නිසා විනිමය කළුකඩ කරුවන් අධික ලාබ උපයන අතර සමස්ත ආර්ථිකය ප්‍රපාතයකට තල්ලු කර දමා ඇත.  

විදේශ විනිමය කළුකඩ ආර්ථිකයකට කරන බැලපෑම තේරුම් ගැනීමටත් යොදා ගත යුතු මූලික න්‍යායික ආකෘතිය වන්නේ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සැකසීමේ මූලික සිද්ධාන්තය වනවියනොහැකියාවන් ත්‍රිත්වය’ (Impossible Trinity) කියන අදහස් පද්ධතියයි. එයින් අදහස් කරන්නේ ස්ථාවර විනිමය අනුපාතයක්, නිර්බාධී ප්‍රාග්ධන සංචරනයක් සහ ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් යන අංග ත්‍රිත්වයෙන් එක් අවස්ථාවක දී සපුරාලිය හැක්කේ අභිලාෂයන් දෙකක් පමණක් බවයි. විදේශ විනිමය වෙළඳපොල කළුකඩ මාෆියාවක් අතට පත්වීම නිසා මහ බැංකුවේ පාලනයකින් තොරව රටින් පිටට සහ රට තුලට ප්‍රාග්ධනය ගලා යෑම සිදුවේ. මෙම නිසා මහ බංකුවට ස්ථාවර විනිමය අනුපාතයක් පවත්වා ගෙන යන අතරවාරයේ ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වේ, එනම් මුදල් සැපයුම, බැංකු සංචිත අනුපාතය (Statutory Reserve Ratio) සහ පොලී අනුපාත තීරණය කිරීමේදී මහ බැංකුව සතු ස්වාධීනත්වය අහිමි වේ. මෙයින් අදහස් වන්නේ ස්ථාවර විනිමය අනුපාතයක් සහ ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් එකවර ක්‍රියාත්මක කිරීමට නම්, රටින් පිටතට සහ රට තුලට සිදුවන ප්‍රාග්ධන ගලනය මහ බැංකුවේ සෘජු පාලනයට යටත් විය යුතු බවත් එයට මේ මොහොතේ ඇති ප්‍රධාන බාධාව මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ පූර්ණ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන විදේශ විනිමය කලුකඩ මාෆියාව බවත්ය.

කෙසේ නමුත් ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ආචාර්ය විජයවර්ධන යෝජනා කරන්නේ ප්‍රාග්ධන සංචරනය පාලනය නොකර, එනම් විනිමය කළුකඩ පාලනය නොකර ස්ථාවර විනිමය අනුපාතයක් පවත්වාගෙන යාමට මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය සැකසීමේදී භුක්ති විඳින ස්වාධීනත්වය අත්හල යුතු බවයි. ලංකාවේ ආර්ථිකය පවතින වාතාවරණය තුල මෙය සිදු කිරීමෙන් පොලී අනුපාත විශාල ලෙස ඉහල යනු ඇති අතර මෙමගින් කළුකඩ හරහා ගලා එන විදේශ විනිමය ප්‍රේශණ, සංවිධිත බැංකු පද්ධතිය තුලට නැවත හරවාගත නොහැක. මෙම නිසා විදේශ විනිමය ගලා ඒමේ විභවය ඉහලයාමක් සිදු නොවන අතර පවතින ව්‍යසනකරී තත්වය මගහරවා ගැනීමට සුදුසු පැරාමිතීන් ත්‍රිත්වය ඔවුන් යෝජනා කරන ආකෘතිය හරහා ස්ථාපිත වන්නේ නැත. විදේශ විනිමය කළුකඩ හරහා ද සිදුවන්නේ අපි සාම්ප්‍රදායිකව යටත්විජිත ආර්ථික ක්‍රමය ලෙස හඳුනාගත් යටත්වැසි රාජ්‍යයේ අතිරික්තය යටත්විජිත රාජ්‍යන් මවු රට බලා ඇද ගැනීම හා සමාන තත්වයකි. එනම් ස්වදේශිකයින් විසින්ම ආර්ථිකය යටත්විජිත කරනයට ලක් කිරීමකි.

2. විනිමය කළුකඩ ව්‍යාප්තිය නිසා සිදුවන දෙවන පරිහානිය වන්නේ රාජ්‍ය බදු ආදායම විශාල ලෙස පහල යාමයි. අපනයන මත පනවා ඇති බදු මෙම නිසා සම්පූර්ණයෙන්ම රජයට අහිමි වේ. මෙසේ අහිමි වන බදු ආදායම් සමනය කර ගැනීමට රජයට තව තවත් බදු ඉහල දැමීමට සහ ණය ගැනීමට සිදුවන අතර එසේත් නැත්නම් මුදල් අච්චු ගැසීමට සිදු වේ. දල දේශීය නිශ්පාදිතයෙන් 11%කට අධික අති විශාල රාජ්‍ය අය වැය හිඟයක් වර්තමානයේ නිර්මාණය වීමට මෙම තත්වය ප්‍රධාන හේතුවක් වී ඇත. මේ නිසා සිදුවන ආර්ථික පරිහානිය වෙනම විස්තර කිරීමට අවශ්‍ය නැත.

විණිමය කළුකඩ වල ක්‍රියාකාරිත්වය මුලිනුපුටා දැමිය හැකි නම් ඇ. ඩොලරයේ අගය රුපියල් 240කට පමණ ඉතා කෙටි කාලයකින් පහළ දමා ගත හැකි අතර පවතින උද්ධමනය විශාල ප්‍රතිශතයකින්  පහළ දමා ගත හැකිය. එමෙන්ම ඒ නිසා විදේශ විණිමය නැවත බැංකු පද්ධතිය තුලට සීග්‍රයෙන් ගලා ඒම වැලැක්විය නොහැකිය. නමුත් ප්‍රධාන වාමාංශික පක්ෂ දෙක මේ සම්බන්ධයෙන් සජබයේ සහ පොහොට්ටුවේ පොදු පිලිවෙත අනුගමනය කරමින් සිටින්නේ ඇයි? පෙනී යන ආකාරයට ඒ ඔවුන් පවා සිය අරමුදල් එක් රැස් කරගන්නේ විදේශ විණිමය කලුකඩ හරහා වීම නිසාය. එවැනි කන්ඩායම් වාමාංශික නාම පුවරු එල්ලාගෙන පවතින ආර්ථික ව්‍යසනයෙන් ගොඩ ඒමට බලය ඉල්ලා සිටීම ලෝක විහිලුවකි. ඔවුන් බලයට පත් වුවත් විදේශ විනිමය අර්බුධය සමනය කිරීමට ඔවුන්ගේ මූළ්‍ය සම්බන්ධතා ඉඩ නොදෙනවාට සැකයක් නැත. ඒ අතින් හරිනි අමරසූරිය මේ සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය ඉතාමත් නිවැරදිය සහ අව්‍යාජය. ඇය කියා සිටියේ ජාතික ජන බලවේගය බලයට පැමිණියත් පවතින අර්බුධයට ක්ෂණික විසඳුම් නොමැති බවත් ඒ සඳහා ජනතාවට විශාල කැපකිරීම් දීර්ග කාලයක් තිස්සේ කිරීමට සිදුවන බවයි. එම ප්‍රකාශය ඉතාමත් නිවැරදිය. 

ආනයන සීමාකර ඇති කාලයක ආනයන ඉහළ යාම

බහුතර පිරිස හිතාගෙන ඉන්නෙ ලංකාවේ විදේශ විනිමය හිඟයක් පවතින නිසා දැන් රට දරුණු ආර්ථික කඩාවැටීමකට ලක් වී ඇති බවයි. නමුත් 2021 වසරේ දේශීය අපනයන ආදායම ඉතිහාසයේ අත්කර ගත් ඉහලම වාර්ශික අපනයන ආදායම වාර්තා කලේය. එමෙන්ම 2020 වසරේ දී ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය ප්‍රේෂණ අගය වාර්තා වුනි. ලංකාව මේ වන විට මුහුණ  දෙන ගෙවුම් ශේෂ අර්බුධය නිසා ආනයන විශාල වශයෙන් සීමාකර ඇත. ඒ කෙසේ නමුත් 2021 වසරේ පළමු භාගයේ සිට ආනයන වල විශාල ඉහල යෑමක් පෙන්නුම් කරන අතර 2021 දෙසැම්බර් මාසයේදී ලංකා ඉතිහාසයේ මාසයක් තුල වාර්තා වූ ඉහලම ආනයන වියදම වාර්තා විය. එය ඇ. ඩො. බිලියන 2.24කි.  2022 ජනවාරි මාසයේ මෙම අගය ඇ. ඩො. බිලියන 1.9ක් තරම් ඉහල අගයක් ගන්නා ලදී. 2021 වසර මුල මහ බැංකුව ප්‍රකාශකර සිටියේ ලංකාවේ ගෙවුම් ශේෂ සමතුලිතතාවය පවත්වා ගැනීමට නම් ලංකාවේ මාසික ආනයන වියදම ආසන්න වශයෙන් ඇ. ඩො. බිලියන 1.4ක අගයක පවත්වා ගත යුතු බවයි. එනම් 2021 වසරේ සමස්ත ආනයන පිරිවැය ඇ. ඩො. බිලියන 17කට පමණ සීමා විය යුතු බව මහ බැංකුව ප්‍රකාශ කරන ලදී. නමුත් මෙම අගය අභිබවා යමින් 2021 වසරේ සමස්ත ආනයන පිරිවැය ඇ. ඩො. බිලියන 20.6 දක්වා 28.5% කින් ඉහල යන ලද අතර 2021 දෙසැම්බර් සහ 2022 ජනවාරි මාස වලදී පිළිවෙලින් 46.8% කින් සහ 23.1% කින් ආනයන වියදම ඉහළ යන ලදි. ඉහත දත්ත වලින් පෙනෙන්නේ මහ බැංකුව අපේක්ෂා කල මාසික ආනයන පිරිවැය මෙන් ආසන්න වශයෙන් දෙගුණයක් දක්වා ආනයන පිරිවැය ඉහල යන තෙක් සහ එමගින් ආර්ථික ව්‍යසනයක් නිර්මාණය වන තෙක් මහ බැංකුව නිද්‍රාශීලීව සිටි බවයි.

2021 පළමු භාගයේදී විශේෂයෙන් ආනයනිත අමුද්‍රව්‍ය අති විශාල වැඩි වීමක් පෙන්නුම් කරයි. උදාහරනයක් ලෙස ආනයනිත ලෝහ වර්ග, ප්ලාස්ටික්, රබර්, රසායනද්‍රව්‍ය මෙම කාලය තුලදී පිලිවෙලින් 107%, 76.8%, 80.8%, 49.7% කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම ජුනි මාසය තුලදී පමණක් මෙම ද්‍රව්‍ය වල ආනයන පිලිවෙලින් 322.8%, 179.9%, 176.6%, 61.9% කින් අති විශාල ලෙස ඉහළ ගොස් ඇත. සමස්ථයක් ලෙස ගත් විට ජුනි මාසයේදී ඉන්ධන-නොවන ආනයන 68.6% කින් ඉහල ගොස් ඇත. ආනයනිත භාණ්ඩ වල මිළ ඉහල යාම මේ තත්වයට බලපා නැත. නමුත් මීට සාපේක්ශව නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළ වර්ධනයක් දකින්නට නැත. ආනයනිත අමුද්‍රව්‍ය මෙසේ අධික ලෙස ඉහල ගොස් තිබුනත් 2021 වසර අවසාන වන විට කාර්මික නිෂ්පාදන දර්ශකය -2.4% කින් පහළ ගොස් ඇති අතර 2022 ජනවාරි මාසයේදී -7.1% කින් පහළ ගොස් ඇත.

ගෙවුම් ශේෂ අර්බුදයක් නිසා ආනයන විශාල ලෙස සීමා කර ඇති කාලයක නිෂ්පාදනය ඉහළ නොගොස් ආනයන මේ ආකාරයට ඉහළ යාමට හේතු දෙකක් බලපෑ හැකිය. පළමු වැන්න වන්නේ ලංකා රුපියල ඉදිරියේදී අවප්‍රමාණය වීමට ඉඩ ඇති බවට පුරෝකතනය කරන අපනයනකරුවන් අමුද්‍රව්‍ය විශාල ලෙස ආනයනය කොට රැස් කර තබා ගැනීමය. මෙම නිසා ආනයන අධික ලෙස ඉහල ගියත් නිෂ්පාදනය ඊට සාපේක්ෂව ඉහළ යන්නේ නැත. මේ තත්වය සඳහා බලපාන දෙවන හේතුව වන්නේ ආනයන බිල්පත් අධිප්‍රමාණය කර වෙළඳ ගිනුම හරහා ප්‍රාග්ධනය රටින් පිටතට රැගෙන යාමයි. මෙහිදී සිදුවන්නේද රුපියල අවප්‍රමාණය වනු ඇතැයි යන පුරෝකතනය නිසා වෙළඳ ගිනුම හරහා විදේශ විනිමය මිලදී ගෙන එය රටින් පිටතට රැගෙන යාමයි. ආනයනකරුවා සහ අපනයනකරුවා අතර ඇතිකර ගන්න සම්මුතියකින් මෙය පහසුවෙන් සිදු කල හැකිය. එමෙන්ම ආනයනකරුවා සහ අපනයනකරුවා එකම පාර්ශවයක් ද විය හැකි අතර එමගින් රුපියල් ලෙස පවතින මූළ්‍ය ප්‍රාග්ධනය  විදේශ විනිමය බවට පරිවර්තනය කර වෙළඳ ගිනුම හරහා රටින් පිටතට ගෙන යෑම තවත් ලෙහෙසියෙන් කල හැකිය. රුපියල අවප්‍රමාණය වූ පසු අතිරික්ත ලාභයකුත් සමග එම විදේශ විනිමය නැවත් රුපියල් බවට පරිවර්තනය කල හැක. ලෝකයේ විනිමය ඉතිහාසය සලකා බැලූ විට මීට පූර්ව උදාහරණ හමුවේ. මෙම නිසා නිෂ්පාදනයේ වර්ධනයක් නොවී ආනයන පිරිවැය විශාල ලෙස ඉහළ යන අතර සුලු පිරිසකගේ ලාභය වෙනුවෙන් රටේ විදේශ විනිමය සංචිත මෙම කාලය තුලදී හීන වී ගොස් ඇත. මේ සම්බන්ධයෙන් මහ බැංකුව නොදන්නවා නම් එය මීටත් වඩා විහිලු සහගත තත්වයක් ලෙස සැලකිය හැකිය.

විදේශ විනිමය අර්බුධයෙන් ගැලවෙන්න අති සරල ක්‍රමයක්

ලංකාව මේ මොහොතේ මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුධයෙන් ගැලවීම පවතින ලෝක ආර්ථික තත්වය තුල ලෙහෙසියෙන් කල හැකි බව පෙනෙන්නට තිබේ. මේ සඳහා ඉතාමත් සරල ක්‍රමයක් යෝජනා කරන්න පුලුවන්. ලෝක ආර්ථිකය තුල උද්ගතවී ඇති සැපයුම් හිඟය නිසා මොටර් රථ වල මිල දෙගුනයකටත් වඩා ඉහල ගොස් ඇත. පවතින අර්ධ සන්නායක හිඟය නිසා මෙම තත්වය තවත් උග්‍ර වී තිබේ. 2020 වන විට ලංකාවේ සමස්ථ මෝටර් රථ ප්‍රමාණය පමණක් ලක්ෂ නවයකට අධිකය. ලෝක වෙළඳපොලේ මෝටර් රථ වල මිල අධික ලෙස ඉහල යාම නිසා ලංකාවේ මෝටර් රථයක සාමාන්‍ය වටිණාකම ඇ. ඩො. 20,000 ක් ලෙස සැලකුවොත්, ලංකාවේ සමස්ථ මෝටර් රථ ප්‍රමාණයේ වටිණාකම ඇමරිකානු ඩොලර් බිලියන 18ක් පමණ වේ; නැතහොත් 2021 අප්‍රේල් අවසානයේ ලංකා රජයේ සමස්ථ විදේශ ණය ප්‍රමාණයෙන් 51.1%ක් පමන වේ. එමෙන්ම මෙම ප්‍රමාණය අන්තර්ජාතික මූළ්‍ය අරමුදලෙන් ලබා ගත හැකි ණය මෙන් හත් අට ගුණයකි.

මෙතනින් සරලව පෙනී යන්නේ ලංකාවේ පරිභෝජනය ඉතාමත් අධික ප්‍රාග්ධන තීව්රතාවයක් සහිත බවත් ඊට සාපේක්ෂව නිෂ්පාදන අංශය ඉහළ ශ්‍රම තීව්රතාවයකට යටත්ව ක්‍රියාකරන බවයි. එමනිසා ලංකාව ධනවාදී ආර්ථිකයක් ලෙස නම් කිරීමම විහිලුසහගත තත්වයකි. එබැවින් කල යුත්තේ නිෂ්පාදනය සහ පරිභෝජනය අතර පවතින ප්‍රාග්ධන තීව්රතාවයේ අසමතුලිත බව සමනය කිරීමයි.

මේ සඳහා පහසුවෙන් කල හැකි දෙයක් වන්නේ සෑම මෝටර් රථ හිමිකරුවෙකුටම වාහනයේ වටිණාකමට සමානව කාර්මික බැඳුම්කරයක් රජය මගින් නිකුත් කර ඒ වෙනුවට වාහනය රජයට පවරා ගැනීමයි. මෙසේ පවරාගත් වාහනය ප්‍රති අපනයනය කර ලැබෙන විදේශ විණිමයෙන් විදේශ විනිමය අර්බුදය පහසුවෙන් සමනය කොට පොදු ප්‍රවාහන සේවය ලෝකයේ ඉතාමත් ඉහල තලයකට ගෙන ඒමයි. මෝටර් රථ සඳහා වැය වූ අධික පෙට්‍රල් ආනයන වියදමද මේ නිසා බින්දුව දක්වාම අඩු කර ගත හැක. එමෙන්ම පොදු ප්‍රවාහනය දියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සමුච්ඡනය සිදු කිරීම මෙන්ම අනෙකුත් කාර්මික නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ද  මෝටර් රථය වෙනුවට ලබා දුන් කාර්මික බැඳුම්කරය හරහා රාජ්‍ය මැදිහත් වීමෙන් සපුරන්න පුලුවන්. මේ සඳහා ලංකාවේ සමස්ත මොටර් රථ ප්‍රමාණය එක වර වෙළඳපොලට නිකුත් කරන්න අවශ්‍ය නැත. අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන වාහන වෙන්දේසියක් මගින් මෙම වැඩපිලිවෙල පහසුවෙන් ක්‍රියාත්මක කළ හැක. ජනාධිපති ඇතුලු රජයේ මැති ඇමති වරුන් සහ රාජ්‍ය නිළධාරීන් භාවිතා කරන මෝට රථ මුලින් වෙන්දේසියට නිකුත් කර මෙම කටයුත්ත ආරම්භ කල හැකිය. මේ වාහන වල තත්වය ගැන ස්වාධීන තත්ත්ව පරීක්ෂණ ආයතනයක් මගින් පැහැදිලි තක්සේරුවක් අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන වාහන වෙන්දේසියට යොමු කළ හැක. මේ ආකාරයට ලංකාවේ මිල අධිකම මෝටර් රථ ලක්ෂය මුලින් ප්‍රති අපනයනය කිරීම මගින් ඇ. ඩො. බිලියන 4ත් 5ත් අතර අගයක් කෙටි කාලයක් තුල උපයා ගත හැකි වනු ඇත.

මෙතනදී සිද්ද වෙන්නේ ආර්ථිකයේ පරපෝෂිතයින් මෙන් වැඩෙන පාරිභෝගිකයින්ව කාර්මික ප්‍රාග්ධන හිමිකරුවන් බවට පරිවර්තනය කිරීමයි. එමෙන්ම මෙම කාර්මික බැඳුම්කර වල පොලී අනුපාතය තරමක් ඉහළ මට්ටමක පිහිටුවීමෙන් පවතින අර්ථික තත්වය තුල එහි හිමිකරුවන් ඒවා විකුණා දමා මුදල් ඉල්ලා සිටීම වලක්වා ගත හැකියි. එමගින් අනිසි ලෙස සිදුවිය හැකි මුදල් සැපයුමේ ඉහල යාම සහ උද්ධමනකාරී තත්වයක් ඇති වීම වලක්වා ගැනීමට හැකියාව ඇත. යම්තාක් දුරකට මේ හා සමාන ක්‍රියාවලියක් දකුණු කොරියාව සහ තයිවානය තුල ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් සිදු වුනා. මෙම රටවල් ද්විත්වයට අද ලොව ප්‍රභලම ආර්ථිකයන් ලෙස පරිවර්තනය වීමට හැකියාව ලැබුනේ මේ නිසයි.

ධනූෂ පතිරන

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?