Latestදේශීය

ජනපති අගමැති ගැටුම උග්‍ර වෙයි

රට තුළ උද්ගතවී ඇති වත්මන් දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපතිගේ බලතල රැක ගැනීම හා ජනාධිපතිගේ බලතල අඩුකර අගමැතිගේ බලතල වැඩිකර ගැනීම පිළිබඳව මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක වන බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජක්ෂ පවුලට සම්බන්ධ සියලු දෙනා බලතල අත්හැරිය යුතු බවට රට පුරා මතුව ඇති ජන අරගලය හමුවේ මෙම තත්ත්වය වර් ධනය වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවත් ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධුරයේ රැදී සිටිය යුතු බව පෙන්වා දී ඒ වෙනුවෙන් කටයුතු කරන බව වාර්තා වෙයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ පවතින අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයෙක් යටතේ ආණ්ඩුවේ ඉදිරි කාලය ගෙවිය යුතු බවයි. මේ සදහා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරු පිරිසකගේද සහාය ලැබී තිබේ.

එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් අමාත්‍යවරු හා මන්ත්‍රීවරු පිරිසක් වත්මන් අර්බුදයට පිළියමක් ලෙස ජනාධිපති ඉවත්විම හෝ ජනාධිපති බලතල කප්පා කළ යුතු බවත් එම බලතල අග්‍රාමාත්‍යවරයා සතු කර ගැනිමට කටයුතු කළ යුතු බවටද යෝජනා කර තිබේ.

මේ වෙනුවෙන් විපක්ෂය විසින් ගෙන එන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදය යුතු බවට යෝජනා කර තිබේ.

මේ සඳහා ආණ්ඩු පක්ෂයේ හිටපු අමාත්‍යවරු රැසකගේ හා තරුණ මන්ත්‍රීවරු රැසකගේ සහාය ලැබී ඇති බව වාර්තා වෙයි.

මේ අතර ඊයේ (21දා) පාර්ලිමේන්තු කමිටු කාමර 01 දී රැස්වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කන්ඩායම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාවකටද අනුමැතිය ලබාදීම විශේෂත්වයකි.

මේ අවස්ථාවේදි අග්‍රාමාත්‍යවරයාගේ නායක්තවය ශක්තිමත් කිරිමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තිරණය කළේ ආණ්ඩු පක්ෂය තුළ වෙනස් මත වර්ධනය වීම වැළැක්වීමට විය හැකි බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතයයි.

දුමින්ද සංජීව බාලසූරිය
– ADA

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?