සාමකාමී නැගිටීම් හා හිංසනීය කැරලි  
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (6 කොටස)

ලංකාවේ ‘මැයි’ මාසයට තිබ්බේ පූජනීය අදහසකි. නමුත් 2009 න් පසු ඊට හිංසනීය සලකුණක් එකතු වූයේ යුද්ධය අවසන් වීමත් සමගය. එවිට මැයි යනු විශේෂයෙන් සිංහල බෞද්ධ ප්‍රජාවට එකවර අවිහිංසාවේ හා හිංසනයේ මතක සම්මිශ්‍රණයකි. ඊට දෙවනුවත් හිංසනයක් එකතු විය. ඒ 2022 මැයි 9 වනදා ගෝල්ෆේස් උද්ඝෝෂකයන්ට ආණ්ඩුවේ අනුග්‍රහය ඇතුව එල්ල වූ ප්‍රහාරයත් සමගය. කුතුහලය දනවන කරුණ වන්නේ මැයි හිංසනයන් දෙකෙහිම සක්‍රීය දායකත්වය දැක්වූයේ ලංකාවේ නූතන ඉතිහාසයේ සිංහල බෞද්ධ රාජ්‍ය නියෝජනයේ උච්චතම සංකේතය වූ රාජපක්ෂ රෙජීමයෙන් වීමයි. බෞද්ධ රාජ්‍ය ආරක්ෂාව සදහා පොරොන්දු වෙමින් දිගින් දිගටම හිංසනය වපුරවන්න ඔවුන්ට වරමක් ලැබී තිබින. මේ සිදුවීම් පෙළගැස්ම දෘෂ්ටිවාදීව කුතුහලය දනවන සුළුය. පෙරදා මහින්ද රාජපක්ෂ ශ්‍රීමහා බෝධිය වැඳපුදා ගත් අතර එහිදී ද ඔහු විරෝධතාවන්ට මුහුණ පෑවේය. දමිළ – මුස්ලිම් ජාතිකයන්ට එරෙහි හිංසනය වැපිරවීමේ කුප්‍රකට ඉතිහාසයක් ඇති රාජපක්ෂ රෙජීමය මැයි 9 හිංසනය වැපිරවීමේ දේශපාලනික ප්‍රතිඵල එදිනම පෙරළා අත්වින්දෝය. උදෑසන අරලියගහ මන්දිරය අසළ උද්ඝෝෂකයන්ගෙන් ඇරඹි ප්‍රහාර පසුව ගෝල්ෆේස් වෙත යොමුවිය. අනතුරුව ප්‍රතිප්‍රහාරකයන් කොළඹ ප්‍රහාරයට පැමිණි ආණ්ඩු පාක්ෂික බස් ගිනිතබමින්, පොහොට්ටු පාක්ෂිකයන් කුණු බේරේ වැවේ ගිල්වමින් ආර්ම්භ වූ ප්‍රති හිංසනය අවසන් වූයේ ජීවිත 8 ක් අහිමි වෙමින් හා රාජපක්ෂලාගේ මැදමුලන වළව්ව, කාල්ටන් නිවස ඇතුළු සෙසු පාලකයන්ගේ ද දේපළ සියගණනක් ගිණිබත් වෙමිනි. ඒ සමග මෙතුවක් සාමකාමී ලිබරල් නැගිටීමක් වූ උද්ඝෝෂණ ක්‍රමයෙන් හිංසනීය කැරැල්ලක් බවට පරිවර්තනය විය. 

නූතන දේශපාලනය හා හිංසනය අතර සම්බන්ධය ප්‍රංශ විප්ලවයේ සිටම සාකච්ඡා කල හැක. ලංකාවේ නූතන ඉතිහාසය සැලකුව ද 1953 හර්තාලයේ සිට 2022 මැයි ගෝල්ෆේස් ප්‍රහාර දක්වා කොතෙකුත් හිංසනීය දේශපාලන සංධිස්ථාන ඇත. දමිළ ජාතික විමුක්ති අරගලය සැලකුවහොත් අධිපතිම සාධකය ලෙස හිංසනය පැවතින. වාම දේශපාලන ඉතිහාසය සැලකුව ද දිගින් දිගටම රාජ්‍ය හිංසනයට මුහුණ දී ඇති අතර ජවිපෙ 1971 හා 1989 කැරළි එහි කූටප්‍රාප්ති වේ. එසේම විවිධ ආර්ථික හා දේශපාලන සාධක මත කරනා උද්ඝෝෂණවලට පහරදීම්, ඝාතනය කිරීම්, අතුරුදන් කිරීම්හි ඉතිහාසයක් ලංකාවේ ඇත. අනුමත රාජ්‍ය හිංසනය හා මනුෂ්‍ය අරගල මතින් එන හිංසනය අතර වෙනස අප කියවන්නේ කෙළෙසද? “හිංසනය නම් කොහෙත් හිංසනය” වැනි ලිබරල් සදාචාර දෘෂ්ටිවාදයන්ගේ සරළමතික බව ද නැතිනම් හිංසනීය ත්‍රස්තය මූලික කරගත් ඝාතන සම්ප්‍රදායකින් පමණක් දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීමේ පටු එළඹුම ද ප්‍රශ්න කල යුතුය. මෙවන් යුගයක ලංකාවට සුවිශේෂීව හිංසනය දේශපාලන සාධකයක් ලෙස ස්ථානගත කරන්නේ කෙසේද? 


‘සාමකාමී අරගල’ හා ‘ප්‍රචණ්ඩ මහජනයා’.

දේශපාලන කඳවුරු ලෙස ජාතික විමුක්ති ව්‍යාපාර හා වම ‘හිංසනය දේශපාලන සාධකයක් ලෙස’ භාවිත කර ඇතිමුත් ලිබරල් අදහස් මත පවතින ව්‍යාපාර හෝ කණ්ඩායම් හිංසනය වෙනුවට නිරන්තරයෙන් යෝජනා කරන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයයි. එය වචනයේ පරිසමාප්තියෙන්ම රැඩිකල් මැදිහත්වීමකින් තොර ක්‍රමික දේශපාලන වෙනසකි. මෘදු බල අභ්‍යාසයකි. මීට ප්‍රතිපක්ෂව ධනේශ්වර ලිබරල් ආණ්ඩු පවා නිරන්තරයෙන් දේශපාලන අරගල මර්දනය කරන්නේ නිළ හා නොනිළ හිංසනයෙනි. 1989 දේශපාලන විපරිනාමයෙන් පසු පැනනැගුනු නව සමාජ ව්‍යාපාර විසින් ‘ප්‍රචණ්ඩත්වය’ යන පදය අදේශපාලනික සදාචාරයක් බවට පරිවර්තනය කිරීමට සමත් වී ඇත. එතැන් පටන් හිංසනය යනු සංකේතීය දේශපාලන ක්‍රියා බවට පමණක් ඌනනය වී සටන් යනු රාජ්‍ය විසින් යෝජිත කීකරු ලිබරල් ආකෘති බවට පරිවර්තනය වූවක් විය. පාරවල් අවහිර නොකර, මිලටරියට තේ කෝපි බෙදමින් පවත්වාගෙන යන ගෝල්ෆේස් ගෝටා ගෝ ගම යනු ඉහත සදහන් ලිබරල් නව සමාජ ව්‍යාපාර දෘෂ්ටිවාදයේ සංකේතීය අවකාශයයි. 

හිංසනය යනු මෙහිදී හුදු ප්‍රචණ්ඩත්වයට වඩා සංකීර්ණ සංකල්පීය ප්‍රස්තුතයකි. යම් පද්ධතියක් ගොඩනැගී ඇති මූලධර්ම අභියෝගයට යැවීමම හිංසනයකි. යටත්විජිත අරගල හෝ ඒකාධිපති පාලනයන්ට එරෙහි අරගල වල හිංසනය සැලකුව ද සංකල්පීය මානයක් ද ඇත. එනම් සාම්ප්‍රදායික අදහස් වලට එරෙහි වීමම ද සංකේතීය හිංසනයකි. ඒ අර්ථයෙන් ආත්මීය හෝ වාස්තවික සමාජ වෙනසක් යනුම හිංසනීය මැදිහත්වීමකට පසු තත්ත්වයකි. එබැවන් හිංසනය පිළිබඳව පවතින ලිබරල් විරෝධයම යනු ක්‍රමපක්ෂපාතීත්වයේ තීරණාත්මක සාධකයකි. ‘සිස්ටම් චේන්ජ්’ ලෙස වරනගනා පද්ධති වෙනසක් යනුම හිංසනීය ක්‍රියාවකි. දේශපාලනයට ඇත්තේ හිංසනය දෝත දරාගත් භාවිතයකි. දේශපාලනික වෙනසක් යනුම හිංසනීය ක්‍රියාවකි. නැතහොත් දැනටමත් පැවති ව්‍යුහයන් පූර්ණ ප්‍රතික්ෂේප කිරීමේ හිංසනීය අවස්ථාවකි. ඒ අරුතින් හිංසනය යනු දේශපාලනය හා බැදි සංකීර්ණ සංකල්පීය සාධකයක් ද වේ. දාර්ශනිකව ඊට ඇත්තේ නිශේධාත්මක අර්ථයක් පමණක්ම නොවේ.

අප්‍රේල් නැගිටීම් ඇතිවූයේම මිරිහානේ ගෝඨාභය ජනාධිපතිගේ නිවස ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක යෙදුනු පිරිසකට එරෙහිව මුදාහල කෲර හිංසනයක් සමගිනි. පසුදිනම පැනවූ ඇදිරිනීතිය උල්ලංඝනය වුව ද ජනයාගේ හිංසනීය දේශපාලන ප්‍රතිචාරයක් ලෙස සලකුණු කල හැක. එය ද සංකේතීය හිංසනයකි. සම්මත නීතිය උල්ලංඝනයකි. අනතුරුව කොළඹ නාගරික මධ්‍යම පංතිය හා ලිබරල් විකල්ප සංස්කෘතික කව ද නව සමාජ ව්‍යාපාර මූලික සිවිල් ක්‍රියාකාරීන්ගේ ද මූලිකත්වයෙන් ඇරඹි ගෝටා ගෝ ගම ගෝල්ෆේස් ව්‍යාපාරය දිගින් දිගටම පවත්වා ගත්තේ සාමකාමී උද්ඝෝෂණයක් ලෙසිනි.

නමුත් තත්ත්වය දේශපාලනිකව කණපිට හැරවී ආණ්ඩුවට එරෙහි හිංසනීය ප්‍රවේශයක් ගත්තේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මැයි පළමුවෙනිදා අගමැති නිළනිවස අසල මාර්ගය ආක්‍රමණය කිරීමත් පාර්ලිමේන්තු වටරවුම අසලදී මැයි 4 වෙනිදා සිදුකළ මැදිහත්වීමත් හරහාය. එහිදී එතුවක් රාජ්‍ය හා උද්ඝෝෂකයන් අතර තිබූ නිද්‍රාශීලීත්වය අභියෝගයට ලක්විය. උදාහරණයකට ගෝල්ෆේස් උද්ඝෝෂකයන් ජනාධිපති ලේකම් කාර්යාල ගේට්ටුව ඇතුළත හා පිටත උල්ලංඝනය කර නැත. එහෙත් බත්තරමුල්ල අවටදී ආණ්ඩුව මෙතුවක් එම උද්ඝෝෂණ වලට නොවූ මිලටරි බලයක් යෙදවීමක් දක්නට ලැබුනු අතර එහිදී සිවිල් සමාජය ද ගෝල්ෆේස් ලිබරල් කණ්ඩායම් වල ඇතැම් පිරිස් ද අන්තරේට සහය ලබා දී තාවකාලික ‘හොරු ගෝ ගම’ පිහිටුවීය. මෙය මෙතුවක් ‘සාමකාමී ‘ ලෙස නම් වූ ගෝල්ෆේස් නැගිටීමේ හිංසනීය සංක්‍රාන්තියක් වූ අතර පිරිස් හිංසනයට මුහුණ දීමේ සාමූහික සූදානමක් පෙන්නුම් කළේය. එහිදී අධ්‍යාපනය විකිණීමට එරෙහි ශිෂ්‍ය සටන්වලදී අන්තරේට එරෙහි ප්‍රහාර ගෙදර රූපවාහිනී තිර ඉදිරිපිට අනුමත කල පිරිස් පවා අන්තරේ සමග සිටගැනීම කුතුහලය දනවන මුහුවීමකි. එමගින් ගෝටා ගෝ ගම ඇතුළ හා පිටත ලෙස දේශපාලන අභ්‍යාසය සියුම්ව විභේදනය විය. 


1989 න් පසු අන්තරේට රාජ්‍ය මිලටරියේ හිංසනීය සාධකය සමග තිබ්බේ යම් හොරාපොලිස් සම්බන්ධයකි. අන්තරේ ශිෂ්‍ය සටන් වලදී බැරියර් පෙරළන අතර වතුර බවුසර් ප්‍රහාර හරහා පුවත් මවන තැනින් බොහෝවිට එය අවසන් විය. නමුත් ඒ හරහා ලබාගත් දේශපාලන ජයග්‍රහණ ද විය. සයිටම් අරගලය ඊට මෑතම උදාහරණයකි. මැයි 9 ගෝල්ෆේස් ප්‍රහාරයේදී ද ගෝටා ගෝ ගම සිටි සෙසු පිරිස් අතරින් අන්තරේ ආක්‍රමණශීලී එළඹුමක් ගත්තත් එය ද වාස්තවික හිංසනීය තත්ත්වයක් බවට වර්ධනය නොවීය. නමුත් රාජපක්ෂලා දියත් කල නීච ප්‍රහාරයේදී යුක්තිය පසිදලීමට ඇති පොලිසිය හා හමුදාව පවා නිශ්ක්‍රීය භූමිකාවක් දරද්දී හිංසනීය ප්‍රතිප්‍රහාරයකට පියවර තිබ්බේ ගෝටා ගෝ ගම සිටි ලිබරල් පිරිස් නොව, ඉන් පිටත සිටි කොළඹ ලුම්පන් නාගරික සමාජ පංතියයි. ලුම්පන් යනු පුහුණු ශ්‍රමයක් විධිමත්ව වපුරන්නේ නැති, සංවිධානාත්මක දේශපාලන සංවිධායකට ද උරුමකම් නොකියන නගරයේ ජීවත් වූව ද නගරයේ ආර්ථික වරප්‍රසාද අහිමි නාගරික සමාජ ස්ථරයකි. එදින ඔවුන් මූලිකව ඉතා ඉක්මනින් ආණ්ඩු මැරයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළ බව නිරීක්ෂණය කල හැක. 


ප්‍රභූ දේශපාලන අවතාරයක් 

ඉන්පසුව එම කැරැළ්ල අගනගරයෙන් පරිවාරයේ ගම්දනව් කරා පැතිර ගිය අසංවිධාත්මක හිංසනීය කැරැළ්ලක් බවට පරිවර්තනය වූ අතර 83 හෝ 88 – 89 කාලයේ මෙන්ම මේ තුළ ද පුද්ගලික කෝන්තර පිරිමහ ගැනීම් සිට ප්‍රාදේශීය දේශපාලන පළිගැනීම් මෙන්ම මංකොල්ල කෑම් දක්වා වූ කොතෙකුත් අකටයුතුකම් සිදු වූවා විය හැක. නමුත් එම සමස්ත කැරැල්ල එවැනි කොල්ලකෑම් කුමන්ත්‍රණ න්‍යායකට ඌණනය කළ හැකිද? ඊට තවමත් ප්‍රමාණවත් සාක්ෂි නැත. මේ වන විට ප්‍රකට නාගරික මැද පංතික ප්‍රලාපයක් වන්නේ මේ සියලු ගිණිතැබීම් පාලකයන් විසින්ම කරගත් ඒවා බවකි. එසේ වී නම් පාලකයන්ගේ අරමුණ කුමක්ද? එවන් කුමන්ත්‍රණයක් සම්පූර්ණයෙන් සාර්ථක වේ’යැයි ඔවුන්ටවත් විශ්වාස කළ හැකිද? කුමන්ත්‍රණය පාලනයෙන් තොර වීමේ අවදානමක් නැද්ද? ඒ, අප මේ කුමන්ත්‍රණ න්‍යාය කරපින්නාගත් මධ්‍යම පංතික ලිබරල් උදවියගෙන් ඇසිය යුතු මූලික ප්‍රශ්නයි. ඔවුන්ගේ ලෝකයේ රාජපක්ෂලා කෙතරම් විශාල ද කියතොත් රාජපක්ෂලාට එරෙහි මෙවන් හිංසනීය ප්‍රහාරයක් තවමත් ඔවුන්ට විශ්වාස කල නොහැක. හිට්ලර් හෝ ප්‍රභාකරන් නොමළ බවට විශ්වාස කල පිරිසක් ද ලොව සිටිති. ඒ බොහෝවිට ඔවුන්ගේ පාක්ෂිකයන්ය. නමුත් රාජපක්ෂවාදයේදී ප්‍රතිපක්ෂ පිල ද රාජපක්ෂලා තවමත් සර්වබලධාරී ආස්ථානයක තබයි. මේ කුමන්ත්‍රණ ප්‍රවාද යනු ප්‍රතිපක්ෂ පිළ තුළ පවා රාජපක්ෂවාදය කෙතරම් විශාල අවතාරයක් ද යන්නට හොඳ සාක්ෂියකි. 


ලොවවටා බොහෝමයක් කැරළි වලදී සිදුවූවාක් මෙන් හම්බන්තොට දී ඩී. ඒ. රාජපක්ෂ පිළිමය මැයි 11 දින කැරළිකරුවන් විසින් පෙරළා දැමීමත් ගෝල්ෆේස් බණ්ඩාරනායක පිළිමය නිරුපද්‍රිතව තවමත් ගෝටා ගෝ ගමේ තිබීමත් දේශපාලනිකව සංකේතීයය. මේ ලිපි පෙළෙහි මුල් ලිපියේ සලකුණු කල ප්‍රශ්නයක් දැන් අපිට පැහැදිළි ලෙස ප්‍රතිස්ථානගත හල හැක. එනම් දැන් ගෝටා ගෝ ගම තුළ හැබෑ දේශපාලන ප්‍රතිවිරෝධතා අභිමුඛ වී ඇත. ගෝටා ගෝ ගමේම පිරිසක් රනිල් අගමැති ලෙස පත්වීම බාරගන්නා අතර පිරිසක් ඊට විරුද්ධය. පිරිසක් අයි. එම්. එෆ් යාමට පක්ෂ අතර පිරිසක් ඊට විරුද්ධය. පිරිසකට අනුව සජිත්‍ට එල්ල කල ප්‍රහාරය සදහා මූලික වූයේ ජාජබය වන අතර ජා ජ බලවේගයේ පිරිස් එම චෝදනාව ප්‍රතිපක්ෂ කරයි. ඇතැම් යූටියුබර්ස්ලාට තවමත් භූමිය විවෘත අතර ඇතැමුන්ව නොනිල ලෙස පන්නා දමා ඇත. පිරිසකට අනුව ගෝල්ෆේස් සංස්කෘතික දේශපාලනය අතහැර දැන් රාජ්‍යට අභිමුඛ දේශපාලනික දේශපාලනයට අභිමුඛ විය යුතුය. එසේම පිරිසක් මීලඟ අදියර ලිබරල් නීතියට බාරදී පාර්ලිමේන්තු ශෝධනයකට සැරසෙන අතර සෙසු පිරිස දියවන්නාවෙන් ඔබ්බෙහි වූ දේශපාලන‍යක් අභ්‍යාසය උරගා බැලිය යුතු බව කියති. පිරිසක් තවදුරටත් ගෝටා ගෝ ගම සාමකාමී උද්ඝෝෂණයක් විය යුතු බව කියද්දි පිරිසක් හිංසනය ප්‍රතිචාරයක් ලෙස මුදාහැර අවසානය. 


පිරිසක් ගෝල්ෆේස් අරගලය තමන් පටන්ගත්, තමන්ගේ අයිතියක් ඇති උරුමයක් ලෙස සලකන අතර තවත් පිරිසක් මෙය නොතකා හිංසනීය මැදිහත්වීම් කළේය. එවිටම ඔවුන් ඉතා පහසුවෙන් පාවාදෙන්නන් හෝ කුමන්ත්‍රණකරුවන් ලෙස නම් වෙමින් පවතී. ඊනියා මහජනයා යනු දැනටමත් දේශපාලන පාක්ෂිකයන් වන අතර ඔවුන්  විශාල හිංසනීය මැතිවරණ ඉතිහාසයකට උරුමකම් කියයි. ඔවුන්ට මෙවන් හිංසන සාමාන්‍ය අත්දැකීමකි. නැවතත් හිංසනය විශාල පුදුමයක් වන්නේ ලිබරල් නාගරික මැද පංතියටය. 


අසංවිධාත්මක මහජන අරගල උත්කර්ෂවත් කල පිරිසගෙන් දැන් අප විමසිය යුත්තේ හිංසනය මහජනයාගේම කොටසක් ලෙස බාරනොගන්නේ මන්ද යන්නයි. දැන් ගෝටා ගෝ ගම සමාජිකයන් හිංසනයට සදාචාරාත්මක සහතික නිකුත් කරන්නන් බවට පත්වෙමින් ඇත. මුලින් නායකත්වයක් නොමැති නිර්පාක්ෂික නැගිටීමක් යෝජනා කල පිරිස දැන් කලයුතු දේ ගැන බණකතා මහජනයාට උගන්වයි. කලයුත්ත හා නොකලයුත්ත කියාදෙයි. නමුත් මහින්ද රාජපක්ෂ අගමැති තනතුරෙන් පමණක් නොව කොළඹින් ත්‍රීකුණාමලයේ සෝබර් දූපතට ද පලා ගියේ මේ එළඹුම නිසා නොවේද? නැතිනම් ඔහු තාමත් බලයේ නොසිටීද? මෙලෙස සංවිධානාත්මක නොවූ නැගිටීමකදී ඊනියා මහජනයා අතරම සිටිනා පුද්ගලයන් විසින් තීන්දු කරනා ආත්මීය හිංසනයන් ‘කැරැළ්ලක්’ බවට පරිවර්තනය වීමේ විභවයක් ඇත. එය එසේම සිදුවිය. එවැනි විටෙක හිංසනයේ ආචාරධර්මික සීමාව තීරණය කරන්නේ කව්ද? බේරෙ වැවේ මිනිසුන් එබ්බවීම හරිද? එය හරි නම් ගිණිතැබීම් වැරදි වන්නේ කුමන පදනම් මතද? හරි වැරැද්ද තීරණය කරන්නේ කව්ද? නායකත්වයක් නොමැති නිර්පාක්ෂික නැගිටීමක සීමාව සලකුණු කිරීමට අයිතිය ඇත්තේ කාහටද? එසේ සලකුණු කිරීමම සාමූහිකත්වය උල්ලංඝනයක් නොවේද? මේ ඊනියා මහජන නැගිටීම් වල ඇති දේශපාලනික සීමාවයි. අවශ්‍ය නම් මේ තත්ත්වය “ඕනෑම එකතුවක් එහෙමයි” කියා සාමාන්‍යකරණය කල හැක. නමුත් එසේ නම් “මහජනයා” යනු කව්ද? මහජනයා නොවන්නා තීරණය කරන්නේ කව්ද?’ යන ගැටලුව අභිමුඛවේ. එවිට මහජනයා කියා තනි පැවැත්මක් නැත. එය බිදුනු සංකල්පයකි. එසේම මෙවන් නැගිටීමකදී ‘හිංසනය’ වැනි සාධකයක ආචාරධර්මික දුර සලකුණු කරන්නේ කව්ද’ යන ගැටලුව අභිමුඛ වේ. ඒ අනුව මැයි 9 හිංසනයත් සමගම දැන් ගෝටා ගෝ ගමෙහි අභ්‍යන්තර අසම්මුතිගත ප්‍රතිවිරෝධතා කලඑළි බසිමින් ඇත. 


ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ ?

ධනවාදී දේශපාලන ආර්ථිකය තුළ ලංකාවේ නුපුහුණු ශ්‍රමිකයන් විශාල පිරිසක් නේවාසිකව ද අනේවාසිකව ද දෛනික උග්‍ර ජීවන අරගලයක යෙදෙන්නේ අද ඊයේ සිට නොවේ. කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිත අවිධිමත් ශ්‍රම වෙළෙඳපොළ සැලකුව ද වාර්ගික සුළුතරයක් ලෙස තේ කර්මාන්තය තුළ වතුකම්කරුවන්ගේ ජීවිත මත පැටවී ඇති ආර්ථික හිංසනය සැලකුව ද සියවස් කීපයක දේශපාලන විමුක්තියක් බොහෝ දෙනා මගහැර ගොස් ඇත. එසේම මැදපෙරදිග නොනිල වහල් ශ්‍රමයක් වගුරන්නන් හෝ ලංකාවේ ඇගලුම් සේවිකාවන්ගේ ජීවිත මතවන දෛනික පීඩනය හා හිංසනය නොදකින හෝ මගහරිනා පිරිස් ධනේශ්වර ආර්ථික පද්ධතියේ දෛනික හිංසනය ඉතා සූක්ෂමව මගහරී. ධනේශ්වර නිෂ්පාදන මාදිලිය විසින් ශ්‍රමිකයන්ට අත්කරවන අනවරත හිංසනය මගහරිනා ගෝල්ෆේස් උද්ඝෝෂකයන්, එම සමාගම් වල ඉහළ වැටුප් ලබමින් කම්කරු ශ්‍රමය සූරාකන කළමනාකරුවන් පවා ගෝල්ෆේස් බිමට සාදරයෙන් පිළිගැනීම කෙතරම් හාස්‍යක්ද? ඔවුන් හිංසනය හා හිංසනීය නොවනා අරගල පිළිබඳ පාඩම් ඉගැන්වීම කෙතරම් ඛේදජනක හාස්‍යක්ද? සති අන්තයට ගෝටා ගෝ ගම වටා තිබෙනා රථවාහන ප්‍රමාණයම මේ නැගිටීම්හි පංති පදනම පිළිබඳව අනුභුතික සාක්ෂියකි. දෛනික ධනේශ්වර ජීවිත තුළ නිෂ්පාදන පද්ධතියේ හිංසනය වවාගෙන කන උන්දැලා රටට අවිහිංසාවාදය උගන්වන්න පටන්ගෙන ඇත. 

ධනවාදී පද්ධතියේ පවතින දෛනික හිංසනය නොදකින, පද්ධතියේ හිංසනීය දේශපාලනය වෙනුවට දේශපාලන ක්ෂිතිජය ලෙස ප්‍රභූවාදය සලකුණු කරනා මෙවන් නැගිටීමක් තවමත් දේශපාලනිකව අපරිනතය. කුතුහලය දනවන ලෙස 83 හෝ 88 – 89 ට වෙනස්ව මෙවර දින කිහිපයකට සීමා වූ හිංසනීය කැරැල්ලේ ඉලක්කය වී තිබුනේ මිනිස් ජීවිත වෙනුවට ප්‍රභූ දේශපාලනයේ නිරත වූවන්ගේ දේපළය. පළමුව ප්‍රහාරයන්ට පැමිණි වාහන ද දෙවනුව ජීවිත හානි නොවනා පුද්ගල දඩුවම් ද අනතුරුව ප්‍රභූ දේපළ ලෙස ද විසිරී ගිය කැරැළ්ලේ හිංසනීය මැදිහත්වීම ඉක්මනින්ම සමනය විය. මිනිසුන්ගේ ආර්ථික පීඩනයක් හිංසනීයව මෙවර පිටවූයේ ප්‍රභූ දේපළ හරහාය. ඊට ආරම්භක ආදර්ශය දුන්නේ කොළඹ නාගරික ලුම්පන් සමාජ තීරුවයි. මෙය යම් අනාගත හිංසනීය දේශපාලන සංඥාවක්  ඉදිරිපත් කරන්නේද? එසේ නම් එය අපට පිළිගත හැකි අරගල ක්‍රමයක්ද? සටන කළයුත්තේ සාමකාමීවද නැත්නම් හිංසනීයවද යන ප්‍රශ්නයම ව්‍යාජ ප්‍රශ්නයකි. එකම කාසියේ දෙපැත්තකි. ඒ වෙනුවට අපි ප්‍රශ්නය නැවත වරනගමු. වැදගත් වන්නේ සටන් කරන්නේ කුමක් උදෙසාද යන්නයි. ඒ පද්ධතියට නොහොත් සිස්ටම් එකට එරෙහිව නම්, වැදගත්ම ප්‍රශ්නය වන්නේ අප පද්ධතිය හෝ සිස්ටම් කියා අදහස් කරන්නේ කුමක්ද යන්නයි. ක්‍රියාවක හිංසනීය බවේ ආචාරධර්මික සාධාරණත්වය මනිනා මිනුම්දණ්ඩ වන්නේ පද්ධතියට අප දක්වන දේශපාලන සම්බන්ධයයි. 

බූපති නලින් වික්‍රමගේ 
2022 මැයි 13

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *