Latestදේශීයමතවාද

ඇමරිකානු බළල් අත්, ඉන්දියානු උකුසු ඇස් හා චීන මකරු 
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (7 කොටස) 

‘භූ දේශපාලනය’ නම් යෙදුමට අදාල මාතෘකාව සරළමතිකව ජනප්‍රිය ලිබරල් දේශපාලනය තුළ නම් කෙරෙන්නේ ‘අන්තර්ජාතික සබදතා’ හෝ ‘ජාත්‍යන්තර, විදේශ සබදතා කළමනාකරණය’ ආදී ලෙසිනි. මේ එළඹුමට වෙනස්ව භූ දේශපාලනය නම් යෙදුමම ජාතික රාජ්‍යන් අතර බලඅරගලයේ සංකීර්ණතාවට අවධානය යොමු කිරීමට බල කරයි. නැතහොත් ජාත්‍යන්තර සාධකය වඩා සංකීර්ණව තේරුම් ගැනීමට යෝජනා කරයි. ලංකාව සම්බන්ධයෙන් භූ දේශපාලනික උනන්දූන් අධිපති සාධක කීපයක් මත පදනම්ව ඇත. ඒ බුද්ධි තොරතුරු කේන්ද්‍රයක් ලෙසත් දේශපාලන ආර්ථික හා කලාපීය බල දේශපාලනය තහවුරු කරගැනීමත් නම් සාධක මූලිකවය.  


ලංකාවේ දේශපාලන ව්‍යුහය සැලකීමේදී ග්‍රාමසේවා, ප්‍රාදේශීය සභා, නගරසභා, පළාත්සභා හා පාර්ලිමේන්තුව ලෙස අවසාන ඒකකයත් එකතුව ‘ජාතික රාජ්‍ය’ නම් පාලන ව්‍යුහය නිර්මාණය වේ. නමුත් ඒකක එතනින් නවතින්නේද? නැත. රාජ්‍ය තීරණය වන සෙසු ජාත්‍යන්තර සංවිධාන යනු සැබවින්ම තීරණාත්මකම ඒකකයි. විශේෂයෙන් 2022 අප්‍රේල් සිදුවීම් හරහා ඉගෙන ගැනීමට අසීරු මේ දේශපාලන පාඩම සදහා දැන් අවස්ථාවක් උදා වී ඇත. පාර්ලිමේන්තුවේ එක් ආසනයක් පමණක් ඇති එජාපය නියෝජනය කරනා රනිල් වික්‍රමසිංහව ජනාධිපති විසින් අගමැති ලෙස තෝරාගැනීම හරහා විශේෂයෙන් නාගරික මැද පංතිය බලාපොරොත්තු වන්නේ ඊනියා ජාත්‍යන්තර ‘ණය ආර්ථික කළමණාකරණයකි’. මෙමගින් ගෝටා ගෝ ගම පවා බුබුළු – කණ්ඩායම් අභිමුඛ වී එකිනෙකාට එරෙහි අභ්‍යන්තර අර්බුදයකට ලක්වූයේ මේ තීරණාත්මක දේශපාලන සාධකයේ පුනරාගමනය සමගය. ‘රාජපක්ෂවාදය’ නම් දේශපාලන ක්ෂිතිජයෙන් පසු දැන් ඊනියා මහජනයාට කවදත් බරපතළ ලෙස අදාල නැති භූදේශපාලන නියෝජිතයන්ට ලංකාවේ අර්බුදය නැවතත් බාරදෙමින් පවතී. ගෝලීය දේශපාලන බලවතුන් අතින් ලංකාවේ දේශපාලන ඉරණම නැවතත් ලියවෙනු ඇත. 



දැන් අපි ඓතිහාසිකව රාජපක්ෂවාදය දක්වා ලංකාවට අදාල ඉතා සංකීර්ණ භූ දේශපාලනික ඉතිහාසය සාරාංශ කිරීමට උත්සාහ කරමු. මෙහිදී තීරණාත්මක රටවල් තුන වන්නේ එක්සත් ජනපදය, ඉන්දියාව හා චීනයයි. 

යටත්විජිතවාදී ආක්‍රමණ වෙනුවට භූ දේශපාලනයේ නූතන මුහුණුවර ඇරඹෙන්නේ සීතල යුද්ධය සමග හැටේ දශකයේය. සෝවියට් සමූහාණ්ඩු කඳවුර හා එක්සත් ජනපද කඳවුර අතර මෙය මූලිකව වැඩෙන්නේ බලශක්ති සම්බන්ධයෙන් බලය අභ්‍යාසයක් ලෙසිනි. මැදපෙරදිග මුස්ලිම් රාජ්‍ය මූලික නූතන ඉස්ලාමීය අන්තවාදය වර්ධනයේ ද මූලිකම සාධකයක් වූවේ මේ ගෝලීය භූදේශපාලන අරගලයයි. ඒ වනවිටත් සෝවියට් සමාජවාදී වාමාංශික ප්‍රචාරක යාන්ත්‍රණය ඉතා ශක්තිමත්ව ලොව පුරා ප්‍රගති ප්‍රකාශන ළමා සාහිත්‍යයේ සිට කලාව, ක්‍රීඩා, විද්‍යාව, පරිපාලනය ආදී සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විහිදී තිබිණ. විශේෂයෙන් ලංකාවට අදාලව බෞද්ධ දර්ශනය හැරුණු විට මීලඟ ප්‍රබලම දාර්ශනික පද්ධතිය වූයේ සෝවියට් සමාජවාදයයි. මේ දෘෂ්ටිවාදී පදනම බිඳ දැමීමේ එක්සත් ජනපද මූලෝපායන් ඇරඹුනේ හැටේ දශකයේය. ශෙනොබිල් බලාගාරයේ පිපිරීමත් සමග සෝවියට් බලය ක්‍රමයෙන් හීන වෙමින් තිබින. එසේම දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව නැගී ආ ගෝලීය දේශපාලන ආතතිය මත ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානය ආදී බොහෝ ජාත්‍යන්තර සංවිධාන බිහි වූ අතර ඒ බොහෝමයක් බටහිර යූරෝ – ඇමරිකානු පක්ෂ සංවිධාන විය. මේ නව ව්‍යුහ හරහා ඉතා සංකීර්ණ ලෙස, විශේෂයෙන් පරිවාරයේ රටවල් වක්‍රව පාලනය කිරීම ඇරඹි අතර වෙනස්වන ගෝලීය දේශපාලන සාධක මත ඔවුන් සිය තේමා දශකයෙන් දශකයට සංශෝධනය කළේය. දශක කිහිපයක් ලංකාවේ බොහෝ සංස්කෘතික හා දේශපාලන තේමා තීරණය වූයේ මේ හරහා බව බොහෝදෙනා නොදන්නවා ද විය හැක. 


එක්සත් ජනපද භූදේශපාලන උපාය

ලංකාවේ ඊනියා නිදහසින් පසු මුල් දශක කිහිපයම බ්‍රිතාන්‍ය සබඳතා සමග ගෙවුනු අතර තත්ත්වය වෙනස් වූයේ හැටේ දශකයේ සීතල යුද්ධය නැගී ඒමත් සමගය. එහිදී එක්සත් ජනපද දකුණු ආසියානු මූලෝපායන් සඳහා කේන්ද්‍රයක් ලෙස ලංකාව ද හඳුනා ගැනුණු අතර ඒ සඳහා  ඔවුන් භාවිත කල ප්‍රමුඛතම දේහය වූයේ USAID හෙවත් ‘එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය’යි. ලොව පුරා ද ඇමරිකානු ජාත්‍යන්තර දේශපාලන සැලසුම ලෙස USAID මුල් කොටගෙන සැලසුම් සැකසිණ. හැටේ දශකය ‘සංවර්ධන දශකය’ ලෙස නම් වූ අතර හරිත දේශපාලනය හඳුන්වා දුන්නේ ද මේ ව්‍යාප්තියෙනි. අනතුරුව හැත්තෑව දශකයේ ‘මූලික මිනිස් අවශ්‍යතා’ තේමාව වූ අතර චීනයට පක්ෂ වාමාංශික දේශපාලන පක්ෂ සමග තිබූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ සමගි පෙරමුණු ආණ්ඩුව යුරෝපීය සුබසාධන ආකෘතිය අභ්‍යාස කරමින් සිටි නමුත් එක්සත් ජනපදය ඊට සහය නොදැක්වීය. 71 කැරැල්ලේ අස්ථාවරත්වය භාවිතා කරමින් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක කේන්ද්‍රීයව එක්සත් ජනපදය ක්‍රියාත්මක වෙමින් තිබූ අතර 1977 ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවෙන් එහි මීලඟ දශකයේ තේමාව වූ ‘විවෘත ආර්ථික ප්‍රතිපත්ති’ සඳහා අසූව දශකයට පිඹුරුපත් සැකසින. මේ හරහා සෞඛ්‍ය, කලාව, අධ්‍යාපනය, රාජ්‍ය පරිපාලනය, වානිජ සංවර්ධන කතිකාව, තොරතුරු තාක්ෂණය ආදී බොහෝමයක් කලාප ප්‍රතිව්‍යුහගත වූ අතර රාජ්‍ය තන්ත්‍රිකව මෙන්ම ජනමාධ්‍ය හරහා ද මේ තේමා මහජනයා අතර ජනප්‍රිය කරවීය. ඒ සඳහා ශිෂ්‍යත්ව, අරමුදල්, ව්‍යාපෘති වෙන්කෙරුණු අතර අනූව දශකය වනවිට නවසමාජ ව්‍යාපාර හරහා රාජ්‍ය නොවන සංවිධාන හෙවත් NGO මූලිකව මේ ව්‍යාපෘතිය ක්‍රියාවේ නැංවිණ. එසේම සුබසාධනය වෙනුවට තරඟකාරී වෙළෙඳපොළ දෘෂ්ටිවාදය ආදේශ වූ අතර ඇමරිකානු පොප් හෙවත් ජනප්‍රිය සංස්කෘතිය රාජ්‍ය හරහා පවා ජනගත කෙරින. ලස්සන වසලිස්සා හෝ වානේ පන්නරය වෙනුවට ITN Fan Club ආදේශ විය. ආයෝජන ප්‍රවර්ධන ආර්ථික වෙළෙඳ කලාප මගින් ශ්‍රමය ප්‍රතිසංවිධානය හරහා ලාබ ශ්‍රමය සංවිධානය කිරීමේ පශ්චාත් කාර්මික භාවිතය ඇගලුම් කර්මාන්තය මූලිකව ස්ථාපිත කෙරින. එහි මූලිකම ලක්ෂණයක් වූයේ ධනේශ්වරයේ කේන්ද්‍රීය රටවල් සඳහා අවශ්‍ය නිමිභාණ්ඩ නිෂ්පාදනය ලාබ ශ්‍රමය සහිත රටවල් සඳහා විතැන් කිරීමයි. මෙය පැරණි සෘජු යටත්විජිත ක්‍රමය වෙනුවට නව මෘදු භූදේශපාලන උපායකි. සරළව නව ලිබරල්වාදය යනු මෙම සැලසුමෙන් පසු බිහිවූ ආර්ථික සංස්කෘතියයි. එහි පාලන උපක්‍රමය ආර්ථික සම්බාධක හෝ ආධාරයි. 

අනතුරුව අනූව දශකයේ තේමාව වූයේ ‘තිරසාරත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය’යි. මේ වනවිට සෝවියට් දේශයේ බිඳවැටී තිබුනු අතර ලොවවටා වාමාංශික ව්‍යාපාර අහෝසි වී තිබිණ. ලංකාවේ අනූව දශකය යනු වාමාංශික හා ලිබරල් බුද්ධමතුන් හරහා නව සමාජ ව්‍යාපාර යටතේ ඉතා තීරණාත්මකව සංස්කෘතික දේශපාලන ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කළ දශකයයි. එසේම රාජතන්ත්‍රිකව 1993 වසරේ සිට ලංකාව එක්සත් ජනපදය හා මිලටරි සබඳතා තර කරගත්තේය. එක් අතකින් දෘෂ්ටිවාදීව සිවිල් සංවිධාන හරහා යුද්ධය පාලනය ඉතා උපක්‍රමශීලීව එක්සත් ජනපද ව්‍යාපෘතියට භාවිත කල අතර බ්‍රිතාන්‍ය මිත්‍ර හමුදා ගිවිසුම් හරහා රාජතන්ත්‍රිකව ද ඊට මැදිහත් විය. සහශ්‍රකය වනවිට ‘ඉස්ලාමා ෆෝබියාවක්’ එක්සත් ජනපදය විසින් ලොවවටා වැපිරූ අතර ත්‍රස්තවාදය පිළිබඳ කතිකාව තේමාවක් විය. ඒ හරහා යටිතල පහසුකම් ප්‍රවර්ධන වේශයකින් ද යුද ආපදා සඳහා මැදිහත්කරුවකු ලෙස ද ලංකාවටත් අරමුදල් සැපයින. 

නමුත් දශක ගණනකට පසුව දැන් නැවතත් සංකීර්ණ සාධක කීපයක් මත චීනය ලංකාවෙන් දුරස් වීමත් සමග ඇමරිකාව සිය මිලටරි කේන්ද්‍රයක් වන දියෙගෝ ගාෂියා දූපත 2017 එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්දේශ කල පරිදි යළි මුරුසි රාජ්‍යට බාර දීමට ඉඩ ඇත. එසේ තීරණය වුවහොත් ඊට විකල්පය ලෙස බොහෝවිට යළි එළැඹෙන්නේ  MCC හා SOFA ආර්ථික හා ආරක්ෂක ගිවිසුම් සක්‍රිය කිරීමකි. ඒ අර්ථයෙන් 2022 අර්බුදය යනු ඇමරිකාවට කදිම අවස්ථාවකි. රනිල් වික්‍රමසිංහ හෝ ඕනෑම අයෙකුට ඇති ණය පියවීමේ විකල්ප වන IMF හෝ චීනය අතුරෙන් IMF තෝරාගතහොත් නැවත ඇමරිකානු ව්‍යාපෘතියට පොටක් පෑදෙනු ඇත.


ඉන්දියානු භූදේශපාලන උපාය
2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වීමත් සමග චීනය සිය ආසියානු පැසිෆික් උපායමාර්ග සඳහා ලංකාවට අවධානය යොමු කළේය. මිලටරිමය වශයෙන් 2007 වනවිට ASCA ආරක්ෂක ගිවිසුම ලංකාව සමග අත්සන් කිරීමට එක්සත් ජනපදයට හැකි වූ අතර කටුනායක හා ත්‍රීකුණාමලය මූලිකව සිය ආරක්ෂක කේන්ද්‍රයන් පිහිටුවීමට ද ඉන් ඉඩහසර විවෘත විය. මෙලෙස එක්සත් ජනපද උනන්දුව පැවතුනේ ආරක්ෂාව මූලිකව වන අතර ඔවුන් ඉන්දියාව සමග පැවතුනේ සහයෝගී කලාපීය සැලැස්මකි. ආර්ථික සාධක කවදත් ඉන්දියාව මූලිකව තීරණය වූ අතර ඊට ඇමරිකාවේ බාධාවක් නොවීය. විශේෂයෙන් බලශක්ති නිෂ්පාදනයට අදාල වෙළෙඳපොළ පාලනය ක්‍රමයෙන් ඉන්දියාව නතු කරගත්තේය. ඒ බලශක්ති වලින් පමණක් නොව, රථවාහන වෙළෙඳපොළ ද ඉතා තීරණාත්මකව ආක්‍රමණය කරමිනි. 2002 වසරේ සිට ලංකා IOC සමාගම ක්‍රමයෙන් ඛනිජතෙල් වෙළෙඳපොළ පාලනය කරනා අතර අතිරේකව උතුරේ මන්නාරම සුළං බලාගාරය හා සාම්පූර් සූර්‍ය බලාගාරය හරහා පුනර්ජනනීය බලශක්ති සඳහා සුප්‍රකට අදානි සමාගම ද ත්‍රීකුණාමලයේ ඒකාබද්ධ සූර්‍ය බලශක්ති ව්‍යාපෘති මගින් බලශක්ති පිළිබඳව ඉන්දියාව තීරණාත්මක ජාත්‍යන්තර නියෝජිතයා ද වී ඇත. තව ද බිම්ගත විදුලිබල ශක්ති හුවමාරුවක් පිළිබඳව ද සැලසුම් ඉදිරිපත් වී ඇත. එසේම කොළඹ හා ත්‍රීකුණාමල වරාය සංවර්ධන හරහා ඉන්දියානු ජාත්‍යන්තර අපනයන වෙළෙඳපොළෙහි මුහුදු ගමන් බොහෝමයක් ලංකාව කේන්ද්‍රීයව සිදු කරනා අතර චීනය මැදිහත් වූ නිසාවෙන් අන්දමන් දූපත් වරායක් පිළිබඳව ද සැලැස්මක් මතුවිය.


දේශපාලන ආර්ථික වශයෙන් බලශක්ති හා වරාය මූලිකව ඉන්දියානු උපායන්ට අමතරව බල දේශපාලන වශයෙන් 80 දශකයේ පටන් ඉන්දියාව දශක ගණනාවක් ලංකාවට බලපෑම් කලේ යුද්ධය කේවල් කරමිනි. 2007 න් පසු චීනය මැදිහත්වන තුරු ඉන්දියාවට යුද්ධය අවසන් කරවීමේ උනන්දුවක් නොවූ අතර රාජපක්ෂ පාලනය අධික ලෙස චීන භූදේශපාලන ව්‍යාපෘතිය සඳහා පක්ෂපාතීත්වයක් පෙන්වීමෙන් ඉන්දියාව සිය උපාය උපක්‍රමශීලීව සංශෝධනය කළේය. 2015 වනතුරු දශකයකට වඩා වැඩිකාලයක් ඉන්දියාව කල් මැරීය. 2015 මැතිවරණයේ මෛත්‍රීපාල අපේක්ෂකයා සංකේතීයව උඩුකය වස්ත්‍රය ඉන්දියානු ශෛලියකින් ඉදිරිපත් කෙරින. එසේම 2018 මහින්දගේ දින 52 ආණ්ඩුව අවස්ථාවේ ද ඉන්දියාව ඊට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළේය. 2021දී ද බලය බෙදීම සඳහා 13 වන ව්‍යවස්ථා සංශෝධනය යෝජනා කළෝය. කොළඹ වරාය නැගෙනහිර ජැටිය සඳහා දේශපාලන පෙරළියක් ඇති කළේය. එක් අතකින් චීනය සමග වෙළෙඳ ගනුදෙනු වර්ධනය කරගනිමින් 2020 කොවිඩ් වසංගතය අතරේ ද චීන දේශසීමා පිළිබඳ ආතතියක් පවත්වාගන්නා ඉන්දියානු කලාපීය උපායන් ඉතා සංකීර්ණය. ඒ පිළිබඳව විශේෂඥ විශ්ලේෂණයකට ධර්මරත්න සිවරාම් වැන්නකු අද නොසිටීමේ අඩුව ඉතා තදින් දැනෙනා බව ද සලකුණු කළ යුතුය. 

චීන භූදේශපාලන උපාය 

2007 වසරේ ASCA ආරක්ෂක ගිවිසුම අත්සන් කල ද ලංකාවට මිලටරි අරමුදල් එක්සත් ජනපදය විසින් නතර කිරීම ඔවුන්ගේ දකුණු ආසියානු මූලෝපායන් උඩුයටිකුරු කල තීරණයකි. එහිදී වහා ක්‍රියාත්මක වූ චීනය ලංකාවට යුද්ධය ජයගැනීම සදහා මුදලින්, ආයුධ මගින් හා යුද ගුවන් යානා ආධාර ලෙස සපයමින් එල්ටීටීඊ සංවිධානය අතුගා දැමීමේ සංග්‍රාමයට දායක විය. එසේම චීනය විසින් පකිස්තානය ලංකාවට මිලටරි සහය සදහා උනන්දු කරවීය. එය ඉන්දියාවට ද කෙරුණු වක්‍ර බලපෑමකි. එය එල්ටීටීඊය පවා පූර්ව පරිකල්පනය කල තත්ත්වයක් නොවිය හැක. එහිදී ලංකාවට දෘෂ්ටිවාදීව ද මාධ්‍ය පාලනය සඳහා ආකෘතියක් සැකසූ චීනය දැඩි මාධ්‍ය සීමාකම් මැද යුද්ධය අවසන් අදියර නිමා කළෝය. එතැන් පටන් රාජපක්ෂවාදය නම් දේශපාලන දෘෂ්ටිවාදය පෝෂණයේ පදනම වන්නේ චීන භූදේශපාලන සැලැස්මය. අනතුරුව ආර්ථික හා දේශපාලන ව්‍යාපෘති ගණනාවක් ලංකාව මූලිකව චීනය දියත් කල අතර අධික පොළියට සපයන ණය බටහිර ක්‍රමයට වඩා වෙනස් උපායක් විය. ඒ ණය හා රාජතන්ත්‍රික ප්‍රතිපත්ති සම්පාදනයෙනි. ණය ලබාගැනීමේ සැලැස්ම ද ඔවුන්ගේම කොටසක් වූ අතර ඇමරිකානු වක්‍ර USAID වැනි දෘෂ්ටිවාදී ව්‍යාපෘති වෙනුවට චීනය සෘජු රාජතාන්ත්‍රික දේශපාලන ආර්ථික ව්‍යාපෘති ආරම්භ කෙරින. ඒ වේගවත් දශකයකටත් වඩා අඩු කාලයකිනි. එහිදී සන්නිවේදන බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක නෙළුම් කුළුණ ව්‍යාපෘතියට ඉන්දියාව සෘජුව අප්‍රසාදය පළකල ද එහි වෙනසක් නොවීය. එසේම හම්බන්තොට වරාය හා කොළඹ වරාය ද වරාය නගර ව්‍යාපෘතිය ද මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිරූපය ඉහළ නැංවීමට ද දේශීයව දායක වූ අතර මහින්ද තවතවත් චීනයට බරවිය. 2012 වසරේ නව ෂී ජින් පින් අගමැති පත් වූ අතර එතුවක් ගෝලීය ආර්ථික අර්බුදය සමග රටින් පිටට යමින් තිබූ චීන ප්‍රාග්ධනය 2013 වසරේ සිට නිළ සැලැස්මකින් රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදී ව්‍යාපෘතියක් බවට පත් කළේය. චීන ඉදිකිරීම් බුබුළක් මෙකල දැකගත හැකි වූ අතර ලංකාවට චීන කම්කරුවන් පවා රැගෙන එමින් වඩා ලාබ විදෙස් ශ්‍රමයක් ප්‍රථමවරට ලංකාවේම ඉදිකිරීම් සඳහා යොදාගැණින. 



මේ අතරේ ඉතා කුතුහලය දනවන ලෙස සිංහ ලේ, බොදුබල සේනා ආදී සිංහල ජාතිවාදී සංවිධාන වල නැගීමක් සිදුවූ අතර ඉස්ලාමීය විරෝධයක් ලංකාවේ වර්ධනය විය. කෝළාහල තත්ත්ව දක්වා වර්ධනය වූ එමගින් නැවත ආර්ථික අස්ථාවරත්වයක් වූ අතර 2015 මැතිවරණය මහින්ද පරාජයට පත්විය. මහින්දගේ පරාජයට පෙර වූ මේ ජාතිවාදී ඉස්ලාමාෆෝබියා කෝලාහල දේශපාලනිකව ඉතා කුතුහලය දනවන්නේ එය කිසිසේත්ම මහින්ද – චීන ව්‍යාපෘතියට හිතකර නොවූවක් නිසාවෙනි. නමුත් යහපාලන සමය සංක්‍රාන්තියක් වූ අතර කිසිදු භූදේශපාලන සැලැස්මක් ක්‍රියාවේ යෙදවිය හැකි ජාතික දේශපාලන සථාවරත්වයක් නොවීය. එහෙත් චීන භූදේශපාලන සැළැස්ම දියාරු වීමට මේ යුගය බලපෑ බවක් නිරීක්ෂණය කල හැක. නැවතත් 2019 ජනාධිපතිවරණයට වසරකට පෙර ඉස්ලාමාෆෝබියා කෝළාහල නැග ආ අතර පාස්කු ප්‍රහාරය සිදුවීමත් සමග එහි පූර්ණ දේශපාලන වාසිය අත්පත් වූවේ ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයාටය. රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර බල අරගලය කෙසේ වූව ද එවර මැතිවරණයේ ප්‍රබල පක්ෂය වූ පොහොට්ටුවේ තීරකයා වූ බැසිල් රාජපක්ෂ  හා අපේක්ෂක ගෝඨාභය දෙදෙනාම ඇමරිකානු පුරවැසියන් විය. ගෝඨාභයගේ පුරවැසිභාවය මැතිවරණයේ අවසානය වනතුරු පැටලැවිල්ලක් වූ අතර ව්‍යාකූල ආකාරයකින් කෙසේ හෝ ඔහු ජනාධිපති අපේක්ෂකයා විය. ජනාධිපතිවරණය ජයග්‍රහණය හා මහමැතිවරණය තුනෙන් දෙකක බලයක් හිමි ආණ්ඩුවක් ලෙස පත්වීමෙන් පසු චීන සබඳතා හීන වීමක් නිරීක්ෂණය විය. සයිනොෆාම් එන්නත අනුමත කිරීම ප්‍රමාද විය. චීන බලශක්තිය ගිවිසුම සක්‍රිය නොකෙරින. මහාමාර්ග සංවිධානය චීනයට අහිමි විය. ගැටළුසහගත පොහොර නැවක් ප්‍රතික්ෂේප විය. ඒ සමගම චීනය උතුරට අවධානය යොමු කල ද එය ද අසාර්ථක විය. 


එසේම විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසි නියෝජනය ද බලාත්මක වූ අතර එමගින් ලංකාව පෙර නොවූ විරූ භූදේශපාලන සංකීර්ණතාවකට ඇතුළු විය. පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තර බල අරගලය තීව්‍ර වූ අතර බැසිල්ගේ අනපේක්ෂිත ආර්ථික තීරණ සමග 2021 වනවිට සංකීර්ණ ණය අර්බුදයක් රටතුළ මතු විය. ඉන්දියාවට වරාය නැගෙනහිර පර්‍යන්තය සංවර්ධනය බාරදීමට එරෙහිව මහින්දගේ චීන ප්‍රතිපත්ති ගැති ජාතිකවාදීන් ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම බෙදීම තීරණාත්මකව සලකුණු විය. පසුව අමාත්‍යාංශ සඳහා වැයශීර්ෂ අසමානතාව ද ඩොලර් අර්බුදය සමග පොහොර ප්‍රශ්නය ද මතු විය. බැසිල් හා ගෝඨාභයගේ ඇමරිකානු සබඳතා ද MCC ගිවිසුමේ ඉඩම් අවශ්‍යතා හා පොහොර අර්බුදය සමග ගොවිතැන අකර්මණ්‍ය වීම භූදේශපාලන ඉගි සපයන්නේදැ’යි ප්‍රබල සැකයක් මතුවීම වැළැක්විය නොහැක. ක්‍රමයෙන් චීන ගැති රාජපක්ෂවාදය හමාර වී යළි ඇමරිකානු සලකුණු මතුවිය. 


2022 වෙද්දි අර්බුදය ප්‍රබලවම මතු වී ඇත්තේ බලශක්ති අර්බුදයක් ලෙසිනි. ඉන්ධන, ගෑස්, විදුලිය යන අංශ තුනම බරපතළ අවදානමකට ගොස් ඇත. බලශක්ති වෙළෙඳපොළ නැවත සම්බන්ධ වන්නේ ඉන්දු – එක්සත් ජනපද හවුලට බව අමතක නොකල යුතුය. අර්බුදය හරහා රටතුළ ජනනැගිටීමක් වූ අතර නැවත රනිල් අගමැති වීම හරහා IMF වෙත අවධානයක් යොමු වී ඇත. “කොහෙන් හෝ ණයක් අරං අර්බුදය නවත්තල ඉන්න” යන අදහස ඊනියා මහජනයා තුළ මතු වී ඇත. ණය කොන්දේසි කෙළවරකටම දැන් පත්වී ඇති අතර එක්කෝ බංකොලොත් විය යුතු අතර නැතහොත් ඇතැම්විට මීලඟ දශක කීපයකට ලාංකික ජීවිත තීරණය කරනා මීලඟ භූදේශපාලන යුගයට ඇතුළු වියයුතුව ඇත. බොහෝවිට ඒ MCC ගිවිසුම හෝ ඊට ආසන්න එකගත්වයක් විය හැක. ඊට ලංකාව කර අගටම හිරවෙන තුරු ගෝලීය බලවතුන් බලාසිටිනවා ද විය හැක. 

දැනට චීනය ලංකාවේ භූදේශපාලන චිත්‍රයෙන් පිටමං වූ ආකාරය ද එක් අතකින් පුදුම සහගතය. 2021 වසර අග ආසන්න වනවිට චීනයේ විදේශ අමාත්‍ය ඇතුළු ප්‍රමුඛ රාජතාන්ත්‍රික නියෝජිතයින් කිහිපදෙනෙක් (කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩල සභික, ආරක්ෂක ඇමති, විදේශ ඇමති) මාස දෙකක් ඇතුළත ලංකාවේ අසාමාන්‍ය ලෙස එකවර සංචාරය කල අතර ඉන්පසුව ණය ලබාදීමෙන් සම්පූර්ණයෙන් ඉවත් විය. ඔවුන් මහජන බැංකුව අසාදු ලේඛනගත කළේය. චීනය හා ඇමරිකාව ලංකාව සම්බන්ධයෙන් රාජතන්ත්‍රිකව ට්විටර් ප්‍රකාශ ද නිකුත් කරගත්තේ උණුසුමකිනි. ඒ ආසන්නයේම ඇමරිකානු රාජ්‍ය ලේකම් ද ලංකාවේ සංචාරය කළේය. එතැන් පටන් අර්බුදය ද උග්‍ර විය. අවසානයේ පසුගිය අප්‍රේල් මස පාර්ලිමේන්තුවේ දේශපාලන ස්ථාවරත්වය පෙන්වුවහොත් යළි ණයක් සලකා බැලිය හැකි බව මහින්ද රාජපක්ෂට විවෘත පණිවිඩයකින් චීනය දැන්වූයේ යළි මහින්දට කොළ එළියක් පෙන්වමිනි. 


ලංකාවේ වානිජ අගනගරය වූ කොළඹ නගරයේ ඉතා ඉහළ භූදේශපාලන වටිනාකමක් ඇති ඉඩම් සහිත කුඩා තීරුවක ‘ගෝටා ගෝ ගම ‘ නම් අන්වර්ථ නාමයෙන් අප්‍රේල් නැගිටීම් හරහා භෞතික කේන්ද්‍රයක් ගොඩනැංවීය. එහි ක්‍රියාත්මක සංස්කෘතික දේශලනයේ හැඩරුවම යනු එක්සත් ජනපද නව සංස්කෘතික සමාජ ව්‍යාපාර ප්‍රවර්ගයේ සංස්කෘතික දේශපාලනයයි. ඔවුන්ට භූදේශපාලනය ආදී කාරණා පිළිබඳව වගේ වගක් නැත. ඔවුන්ගේ සරළ සටන් පාඨ වන්නේ “යහපාලන ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, ගෝල්ෆේස් අවට පරිසරය රැකීම, ව්‍යවස්ථා සංශෝධනය හෝ ප්‍රතිපත්ති සංශෝධනය, මානවවාදය” වැනි එක්සත් ජනපද පශ්චාත් සෝවියට් දෘෂ්ටිවාදී මෙවලම්ය. ඒවාට යටිතල පහසුකම් සපයන ආයතන, තේමා හා නැගී එන පුද්ගල චරිත නිරීක්ෂණයෙන් ද මේ බව පසක් කරගත හැක. දැන් ජනප්‍රිය, සරළමතික යෝජනාව වන්නේ ‘නොබැඳි ජාත්‍යන්තර ප්‍රතිපත්ති’ නම් සිහිනයයි. ඊනියා ජාත්‍යන්තර මැද මාවතයි. කාටවත්ම යටත් නොවී වැඩේ ද ගොඩදා ගැනීමයි. අප ප්‍රශ්න කල යුත්තේ එවැන්නක් කවදා කොහේ හෝ සිදුවීද යන්නයි. භූදේශපාලනික ලෝක පර්‍යායක් තුළ ‘සාධාරණත්වය’ නම් දේශපාලනික ප්‍රවාදයට ඇති ඉඩ ගෝලීය තලයක ලා විචාරාත්මකව විමසීම අත්‍යවශ්‍ය වේ. 

පරිස්සමෙන් නිරීක්ෂණය කලහොත් රාජපක්ෂවාදයට එහි මාරයා හමුවූයේ ජාතික දේශපාලනයට වඩා ජාත්‍යන්තර භූ දේශපාලනයකින් බව පෙනී යයි. ගැටලුව වන්නේ එහි ප්‍රතිපක්ෂය ලෙස ගෝටා ගෝ ගම වැනි ලිබරල් සංස්කෘතික ගමක් දේශපාලන අවකාශයක් ලෙස පරිකල්පනය කරනා යුගයක අසීරු බැරෑරුම් දේශපාලනය ස්ථානගත කරන්නේ කොතැනද යන්නයි. ලංකාවේ දේශපාලන ක්ෂිතිජය රාජපක්ෂ ලෙස සිතන්නට අපිට පුරුදු කලේ කව්ද? මේ දේශපාලන අඥානභාවයේ වාසිය අත්වන්නේ කාටද? 

බූපති නලින් වික්‍රමගේ 
2022 මැයි 20

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?