Latestදේශීය

එක්නැලිගොඩ ඝාතනය – හමුදා නිළධාරීන් යලි රිමාන්ඩ්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇප මත මුදාහැර සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙකු ලබන 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (03) නියෝග කර තිබේ.

ඒ, මෙම නඩුව සංජීව මොරායස්, දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.

නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර දැනට ඇප මත මුදා හැර සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව නැවත රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් කියා සිටියේ, මෙම නඩුවේ සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින සුමතිපාල සුරේෂ් නැමැති සාක්ෂිකරු මීට පෙර සාක්ෂි දීම සඳහා අධිකරණයට පෙනී නොසිටි අතර ඉන්පසුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කළ බවයි.

මෙම සාක්ෂිකරුවන්ට කිසියම් බලපෑමක් එල්ල වන බවට පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ද අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල වන ආකාරයක් තමන්ට ද පෙනී යන බවත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමුකරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

ඉන් අනතුරුව මෙම සාක්ෂිකරුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ අතර වැඩිදුර නඩු විභාගය ලබන 13 වැනි දා තෙක් කල් දැමුණි.

ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්‍රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙකු නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

2010 වසරේ ජනවාරි මස මස 25 වැනි දා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

News 1st

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?