Latestදේශීයමතවාද

“වාම ජනප්‍රියවාදය හා ගෝටා ගෝ ගම”

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (10 කොටස)

විසිවන සියවස දක්වා වාමාංශික දේශපාලනය සැලකුණේ පවතින සමාජය සංවිධානය වී ඇති මූලධර්ම සහමුලින්ම උඩු යටිකුරු කරවන දේශපාලන භාවිතය ලෙසයි. දක්ෂිණාංශික දේශපාලනය ලෙස හඳුනා ගැනුණේ සමාජයේ පදනම් වෙනස් නොකොට සංශෝධන ලෙස ක්‍රමිකව සිදුකරන දේශපාලනික වෙනසයි. නමුත් 90 දශකය වන විට සෝවියට් දේශය බිඳවැටීමත් ගෝලීය ධනවාදයේ සිදු වූ සංකීර්ණ වෙනස්කම් ද නිසාවෙන් මෙකී මූලධාර්මික දේශපාලනික වෙනස්කම ක්‍රමිකව මැකීගොස් වම හා දකුණ අතර ගැඹුරු මූලධාර්මික දේශපාලනයක් සලකුණු කළ නොහැකි තරමේ නව යුගයකට ගෝලීය දේශපාලනය අවතීර්ණ විය.


එහි මූලිකම වෙනසක් වූයේ දක්ෂිණාංශික හා වාමාංශික දේශපාලන ධාරා දෙකම පවතින ධනේශ්වර ආණ්ඩු තුළ බලය අල්ලා ගැනීමකින් වඩා යහපත් ආණ්ඩුකරණයක් හරහා සමාජ ප්‍රශ්න විසඳිය හැකි බවට දේශපාලනිකව විශ්වාස කිරීමයි. එහිදී විශේෂයෙන් එතුවක් වාම දේශපාලනයේ පදනම ලෙස සැලකූ නිර්ධන පංතිය හෝ කම්කරු පන්තිය වෙනුවට ‘මහජනයා’ නම් නව දේශපාලන ප්‍රවර්ගයක් ආදේශ විය. දක්ෂිණාංශික දේශපාලනය තුළ මෙන්ම වාමාංශික දේශපාලනය තුළ ද පංතිය වෙනුවට මහජනයා ආදේශ විය. විශේෂයෙන් වාමාංශික දේශපාලනය තුළ නම්, කොමියුනිස්ට් සම්ප්‍රදායක් පැවති වාම දේශපාලන පක්ෂ හා සංවිධාන ව්‍යුහ ඉතා සංකීර්ණ ලෙස පරිනාමයට ලක් විය. එසේම ඊට සමාන්තරව දේශපාලනය තේරුම් ගැනීමේ දේශපාලනික න්‍යාය ද ප්‍රතිව්‍යුහගත විය. මෙහි දී ලොව පුරා පංති දේශපාලනය අර්බුදයකට ගිය ප්‍රධානතම ලක්ෂණයක් ලෙස බොහෝ ජනප්‍රියවාදීන් හඳුනාගන්නේ වමේ සහයෝගීතාවයක් ගොඩනැගීමට අපොහොසත් වීමයි. වාමාංශිකයන් එක්කිරීම කවදත් අසීරු වන්නේ අන් කිසිදු දේශපාලන ධාරාවකට වඩා වම මූලධර්ම මත දේශපාලනය සංවිධානය කිරීමේ භාවිතය ද කුමන්ත්‍රණ න්‍යායන් හරහා සිදුවන කල්ලිවාදය ද වාම ඉතිහාසය තුළ බරපතළ භූමිකාවක් දැරීමයි.

විසිවන සියවස සැලකීමේදී අවම වශයෙන් සුප්‍රකට රුසියානු විප්ලවයෙන් පසුව ලෝක පරිමානව විවිධ රටවල් වල වාමාංශික ව්‍යාපාර බෙදීයාමේ හෝ කල්ලිවාදයන් ඇතිවීමේ ගෝලීය පදනම් ද විය. වරෙක ස්ටාලින්වාදය හා ට්‍රොස්කිවාදය ලෙස ද පසුව චීන සහ සෝවියට් ලෙස ද අනතුරුව ලතින් ඇමරිකානු හා සභාගවාදී ලෙස ද ජාතිකවාදී හා ජාත්‍යන්තරවාදී ලෙස ද විවිධාකාරයෙන් බෙදීම් වලට ලක්වූ අතර මීට අමතරව ජාතික මට්ටමේ සහ පක්ෂ මට්ටමේ පුද්ගලවාදී හෝ නිලධාරිවාදී වැනි සාධක මත ද පක්ෂ කොතෙකුත් වෙන් වීම් වලට ලක්විය. එසේම ඒ ඒ පක්ෂ විසින් සංවිධානය කරන තීරණාත්මක සමාජ තීරුව ලෙස නාගරික කම්කරුවන් ද ග්‍රාමීය සුළු ධනේශ්වර කොටස් ද ගොවීන්ද ආදී තෝරාගැනීම් මත ද වාමාංශික පක්ෂ එක් කිරීමට ඉතා අසීරුය. නමුත් ඊට වෙනස්ව විවිධාකාරයේ සාධක මත දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාර සන්ධාන හෝ සභාග සඳහා පහසුවෙන් එළඹෙන අතර ඒ සඳහා ජාතිකවාදී හෝ ලිබරල්වාදී පාර්ශව ද පහසුවෙන්න එකතුවනු නිරීක්ෂණය කළ හැක.

නමුත් ලෝකය පුරා ඉහත සඳහන් කළ සංකීර්ණ දේශපාලන විපරිනාමයන් මත සිදුවූයේ වමේ ව්‍යාපාරයක් ලෙස පෙනී සිටින සංවිධාන හෝ පක්ෂ පවා පහසුවෙන් සභාග හෝ සන්ධාන සඳහා දක්ෂිණාංශික ලිබරල් බල ව්‍යාපෘති සමඟ පමණක් නොව ජාතිකවාදී හෝ ජාතිවාදී ව්‍යාපාර සමග අත්වැල් බැඳ ගැනීමේ ද ප්‍රවණතාවයක් ඇති වීමය. ලංකාවේ වමේ ව්‍යාපාරයේ ආරම්භය සැලකුව ද ඊ. ඒ ගුණසිංහ වැනි වෘත්තීය සමිති නායකයෙක් තුළ පැවැති ජාතිකවාදයට වෙනස් ප්‍රවේශයක් සමසමාජ පක්ෂය ආරම්භයේ දී පැවති අතර ගල්ඔය හෝ වේවැල්ල ආදී ප්‍රදේශවල දී අර්ධ සන්නද්ධ නැගිටීම් පවා උත්සාහයන් මුල් කාලීනව සිදුවිය. නමුත් 1947 හෝ 1953 වැඩ වර්ජන හා හර්තාල් සලකන විට ලංකාවේ සමකාලීනව ද පවතින වාම දේශපාලන ඌරුවේ ගුණාංග බොහොමයක් නිරීක්ෂණය කළ හැක.1964 වන විට සමසමාජ පක්ෂය කූඨප්‍රාප්තියට පැමිණ සිටි අතර අනතුරුව එන්. එම් සිය දේශපාලනය මල් වට්ටිය අතට ගෙන කැලණි පංසල් යාම දක්වා සුමට වී පවතින ක්‍රමය හා සම්මුතිගත ඊනියා ජනප්‍රිය ආකෘතියකින් කෙළවර විය. හැත්තෑව හා අසූව දශක ගෙවී ගියේ ලතින් ඇමරිකානු ආකෘතියේ සන්නද්ධ කැරලි හරහා රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීරගේ නායකත්වයෙන් යුතු උත්සාහයන් සමග වන අතර එය කෙළවර වූයේ බරපතළ හිංසනීය ප්‍රතිඵල පමණක් අත්කර දෙමිනි.

විමුක්තිය වෙනුවට ‘විමුක්තීන්’

ඉන් අනතුරුව ලංකාවේ වමේ දේශපාලනය ලෙස ඉතිරිව පැවති අධිපති දේශපාලන පක්ෂය බවට පත්වූ ජවිපෙ දිගින් දිගටම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂගේ ප්‍රභූ දේශපාලනය සඳහා හොඳ හැටි කඩේ ගොස් ඔවුන් කලක් තිස්සේ සෙල්ලම් කළ ජාතිකවාදයේ කූටප්‍රාප්ති ජනප්‍රිය දක්ෂිණාංශික රෙජීමයක් නිර්මාණය කිරීමට දායක විය. දශක තුනක් ඇදී ගිය දමිළ විමුක්ති අරගලය නිසාවෙන් ඉතිරි වාම පක්ෂ ද පංතිය වෙනුවට ජාතික ප්‍රශ්නය මූලික කරගත් දේශපාලනයක් සඳහා අවතීර්ණ විය. වික්‍රමබාහු කරුණාරත්නගේ නව වාමාංශික පෙරමුණ ද රෝහිත භාෂණ අබේවර්ධනගේ හිරු කණ්ඩායම ද සිරිතුංග ජයසූරියගේ එක්සත් සමාජවාදී පක්ෂය ද ජවිපෙ මූලික ජාතිකවාදී ජනප්‍රිය වාම ප්‍රවාහය අනෙකා කරගත් දේශපාලනයක නිරත වූ අතර ඔවුන්ට පංති ප්‍රතිවිරෝධය ද්විතීක විය. ඒ අර්ථයෙන් ඉතා කුඩා පරිමාණයෙන් වුව ද ජාතිකවාදයට ශක්තිමත් න්‍යායික ප්‍රතිචාරයක් ද දක්වමින් පංති දේශපාලනයක නිරත වීමට උත්සාහ කළේ සමාජවාදී සමානතා පක්ෂයයි. නමුත් ලෝකය පුරා සිදු වූවා සේම මේ කිසිදු දේශපාලන ව්‍යාපාරයකට මහා පරිමාණයෙන් කම්කරුවන් හෝ වෙනයම් සමාජ කොට්ඨාශයක් සංවිධානය කිරීමට කිසිදු හැකියාවක් නොවූ අතර ඉතා කුඩා කණ්ඩායම් ලෙස අද දක්වා දේශපාලනයේ නිරත වෙමින් සිටිති. මෙහිදී ජවිපෙ විශේෂ වන්නේ ක්‍රමිකව ජාතිකවාදය හා වෘත්තීය සමිතිවාදය භාවිත කරමින් පාර්ලිමේන්තුවේ විකල්පය ලෙස ජනප්‍රිය ස්ථානයක් සමාජය තුළ නිර්මාණය කරගැනීමට සමත් වීමයි. ලෝකය පුරා බහුතර ජනප්‍රියවාදී වාම ව්‍යාපාර අනූව දශකයෙන් පසු පංතිය වෙනුවට මහජනයා මූලික ජනප්‍රිය දේශපාලන ව්‍යාපාර ලෙස අවධානය දිනා ගත්තේ ජාතිකවාදය භාවිත කරමිනි. ලතින් ඇමරිකාවේ මෙන්ම යුරෝපයේ ඇතැම් ව්‍යාපාර ද බොහෝ ආසියාතික වාමාංශික ව්‍යාපාර ද මේ කාල වකවානුවේ අවධානයක් දිනා ගත්තේ නම් එහි රහස ඇත්තේ සැඟවුණු ජාතිවාදයක් තුළය. බ්‍රසීලය, වේනසුවේලාව, බොලීවියාව, ආජන්ටිනාව ආදී ලතින් ඇමරිකානු රටවල් මේ සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලයි. එසේම ඉන්දියාවේ ද නැගෙනහිර ආසියාවේ ද එවැනි ජාතිකවාදී ජනප්‍රියවාදයන් සඳහා ප්‍රකටය. මේ හරහා සාම්ප්‍රදායික – සම්භාව්‍ය මාක්ස්වාදයේ දී වැඩි අවධානයකට ලක්වූ දේශපාලන ආර්ථිකය වෙනුවට දෘෂ්ටිවාදය විවේචනය සඳහා ‍න්‍යායිකව ද වැඩි අවධානයක් යොමුවූයේ මිනිස් විඥ්ඥාණයට අදාල ආගමික අන්තවාදයන් සහ ජාතිය වැනි ප්‍රස්තුත වාම ව්‍යාපාර වෙත ද සිදු කළ තීරණාත්මක බලපෑම නිසාවෙනි.

70 දශකය වන විට නිකරගුවා, වියට්නාමය වැනි රටවල් වල සිදු වූ සන්නද්ධ අරගල වල පරාජයන් සමග රැඩිකල් විප්ලවීය නැගිටීම් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය උදෙසා වන උනන්දුවක් සඳහා වාම ව්‍යාපාර වල වැඩි ජනප්‍රියත්වයක් අත්පත් විය. ඒ අතර ලංකාවේදී නම් සාම්ප්‍රදායික වමේ පක්ෂවල නිර්ධනයන් හෝ පංතීන් සංවිධානයට අමතරව බණ්ඩාරනායක විසින් හඳුන්වාදුන් නව සමාජ ස්ථර වූ සඟ, වෙද, ගුරු ආදී නියෝජනයන් ද ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කිරීමට පෙලඹිණ. න්‍යායික පදනමක් නොවූව ද ජාතිකවාදය මූලිකව එක් අතකින් බෞද්ධ භික්ෂුව සංවිධානාත්මක දේශපාලන බලයක් ලෙස නිළ වශයෙන් පක්ෂ අභ්‍යන්තරයට එක්කරගත් පළමු දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. ජවිපෙ ‘පංතිය’ වෙනුවට ‘දේශප්‍රේමය’ කේවල් කරමින් භික්ෂු බලමණ්ඩලය ජනප්‍රිය කරවීය. පසුකාලීනව ගංගොඩවිල සෝම හිමි මූලිකව බිහිවූ ලාංකීය සිංහල බෞද්ධ ජනප්‍රිය ජාතිකවාදී භික්ෂු දේශපාලනයට අවශ්‍ය පදනම ගොඩ නැඟුවේ ජවිපෙ වන අතර ඊට සමාන්තරව ‘දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය’ ද ඇරඹින. ජනතා මිතුරෝ හා සිහළ උරුමය ලෙස සංවිධානය වූ චම්පික රණවකගේ දේශපාලනය සඳහා අවශ්‍ය දේශපාලන පදනම ගොඩ නැංවූයේ ද ජවිපෙ විසිනි.

සමාජයේ දක්ෂිනාංශික ජනප්‍රියවාදයේ නැගීම සමග සංස්කෘතික කලාපය තුළ බුද්ධිය වෙනුවට ජනප්‍රිය ප්‍රතිරූප මූලික දේශපාලනය නැග ගෙන ඒම ද ජනතා විමුක්ති පෙරමුණට වාසි සහගත විය. කොමියුනිස්ට් පක්ෂය හෝ විකල්ප කොමියුනිස්ට් සංගමය වැනි පක්ෂ වල වූ න්‍යායික නැඹුරුව ජනතා විමුක්ති පෙරමුණට කවදත් නොවූ අතර 90 දශකය වන විට නැගී ආ නව ජනප්‍රියවාදය හරහා වමේ බුද්ධිමය දේශපාලනයට හිමි උරුමය සමාජ විද්‍යාඥයන්ගේ සංගමය වැනි නව සමාජ ව්‍යාපාර වෙත විතැන් විය. කුමාරි ජයවර්ධන විසින් තවදුරටත් පංති දේශපාලනයේ සමාජ විද්‍යාව සැළකියුතු මට්ටමකට ප්‍රසාරණය කල නමුත් එහි ජනප්‍රිය සංකේත බලය හිමි වූ ජයදේව උයන්ගොඩ වාම කතිකාවේ සිට ලිබරල් කතිකාවකට මාරුවීමත් සමග ඔහුගේ උනන්දු වූයේ පංතිය වෙනුවට ‘පුරවැසියා’ හෝ ‘මහජනයා’යි. අවසානයේ එය කෙළවර වූයේ 2017 වර්ෂයේ එජාපය විසින් සංවිධානය කළ රුසියානු විප්ලවයේ සියවස් සැමරුම් දේශනය උයන්ගොඩ විසින් සිදු කරමිනි. උයන්ගොඩ න්‍යාය ගතකළ පුරවැසි දේශපාලන න්‍යාය ඉතා සීඝ්‍රයෙන් ලංකාවේ විකල්ප පත්තර සහ නව සමාජ ව්‍යාපාර විසින් ප්‍රචලිත මාතෘකාවක් බවට පත් කළ අතර ඉන් අනතුරුව සමාජ පංතිය ගැන කතා කිරීම කල් ඉකුත් වූ විලාසිතාවක් වැනි විය. X කණ්ඩායම වැනි ව්‍යාපාරයක් ද මුල්කාලීනව එතුවක් පැවතුණු සමාජ පංතිය පිළිබඳව බරපතල විවේචනයක් රැගෙන ආ අතර පශ්චාත් මාක්ස්වාදයේ බහුත්වවාදී කතිකාව ලංකාවට න්‍යායිකව හඳුන්වා දුන්නේය. ඒ වන විටත් ලංකාවේ වෙන් වෙන්ව අභ්‍යාස ගත වෙමින් පැවති කොමියුනිස්ට්වාදී පංතිය වෙනුවට ලිංගික අනන්‍යතාවය, ස්ත්‍රීවාදය, පරිසරවාදය, වාර්ගික, ශිෂ්‍ය ආදී අනන්‍යතා දේශපාලනය සඳහා අවශ්‍ය න්‍යායික පසුබිම X කණ්ඩායම හරහා සැකසිණ.

ඔබට මතක නෑ –  මට අමතක නෑ

පශ්චාත් යුද සමය වන විට අනුර කුමාරගේ නායකත්වය යටතේ ප්‍රතිව්‍යුහගත වූ ජවිපෙ ඒ වන විට වර්ධනය වෙමින් තිබූ ශුද්‍ර මූල්‍ය ණය, අඩමාන ශ්‍රමය, විදෙස්ගත ශ්‍රමය, ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිත සුවිශේෂී කම්කරුවන් හෝ ප්‍රාග්ධනයේ නව ආසියාතික චීන මොඩලය ලෙස වර්ධනය වෙමින් තිබූ ඉදිකිරීම් බුබුළු ආශ්‍රිත කම්කරුවන් හෝ ඇමැතීම වෙනුවට පශ්චාත් මාක්ස්වාදයේ ලාංකීයකරණය වූ අවවර්ධිත ලිබරල් හැඩය ගත් ජනප්‍රියවාදී අනන්‍යතා දේශපාලනය කරා ගමන් කරමින් සිටියෝය. ඔවුන් අවම මට්ටමින් 2009 න් පසු උතුර සංවිධානය කිරීමට උනන්දු වනවා වෙනුවට සිදුකලේ ලංකාවේ කොළඹ කේන්ද්‍රීය ව්‍යාපාරික අනුග්‍රාහක ප්‍රජාව හා මැද පංතිය ආමන්ත්‍රණය කිරීමේ සුවපහසු අනන්‍යතා දේශපාලනයයි. ඊට සරිලන ලෙස ධනවාදය, ප්‍රාග්ධනය, පංතිය, විප්ලවය වැනි වචන පවා ජවිපෙ සිය ශබ්දකෝෂයෙන් ඉවත් කර ඒ වෙනුවට වෙළඳපල, සිස්ටම් එක, මහජනයා වැනි ප්‍රවාද ආදේශ කළේය. ඒ අර්ථයෙන් වාම ජනප්‍රියවාදය පිළිබඳව න්‍යාය ලංකාවට පැමිණීමටත් පෙර සිටම ගෝලීය වමේ වෙනස්කම්වලට සමාන්තරව ජවිපෙ වාම ජාතිකවාදී ජනප්‍රියවාදයක් ලංකාවේ අභ්‍යාස කරමින් සිටියෝය. ඔවුන්ට පසුව එකතුවූ ජාජබයේ ලිබරල් පිරිස දැන් උත්සාහ කරමින් සිටින්නේ ජාතිකවාදය පමණක් ඉවත් කර ජවිපෙ යහ මගට ගැනීමේ අදේශපාලනික බොළඳ උත්සාහයයි. ඊට අදේශපාලනිකයැ’යි ලිව්වේ ඇයි?

ජවිපෙ දේශපාලන භාවිතය මුල සිටම දෙබිඩිය. ඔවුන්ට රට ජාතිය අවශ්‍ය වන්නේ කොපමණ දුරකට ද කියා ඔවුන්වත් දන්නේ නැත. අවසන් 2020 මැතිවරණ වේදිකාවේ පවා අනුර කිව්වේ “නියම දේශප්‍රේමීහු රාජපක්ෂලා නොව තමන්” බවය. ඔවුන් කලෙක හමුදාව රණකාමීව රණවිරුවන් ලෙස හඳුනාගන්නා අතර සූරිය මල් වෙනුවට මහපාරේ පොපි මල් විකිණූ ඊනියා වාම ව්‍යාපාරයකි. මෑතකදී දමිළ එක්සත් විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවක දී ගාල්ල දිස්ත්‍රික් ජවිපෙ මන්ත්‍රී නලින් හේවගේ ඉතා පටු වර්ගවාදී ප්‍රකාශ නිකුත් කළේය. එන්. එම් පෙරේරාට මෙන්ම අනුර කුමාර මූලික ජවිපෙට ද ආගම සමඟ ඇත්තේ වංචනික සම්බන්ධයකි. තක්කඩි දේශපාලන භාවිතයකි.

ඔවුන්ගේ ආගම සම්බන්ධයෙන් මූලධර්මය, දේශපාලනික ස්ථාවරය රැඩිකල් නැත. ඔවුන්ට මල්වතු – අස්ගිරි විහාර එක් පසෙකින් අවශ්‍ය වන අතර අනෙක් පසින් නිරාගමික විකල්පය ද අවශ්‍යය. එසේම කිසිදා කලාව පිළිබඳව සක්‍රීය මැදිහත්වීමක් ජවිපෙට නොවීය. කිසිදු කලා වාරණයකට එරෙහිව කිසිදා හඬක් නැගීමක් ජවිපෙ ඉතිහාසය තුළ සලකුණු කළ නොහැකි අතර ඒ වෙනුවට සිදුවූවේ 2005 විජිත හේරත් සංස්කෘතික අමාත්‍යවරයාව සිටි යුගයේ ප්‍රථම හා එකම වරට සිනමා ශාලාවල ප්‍රදර්ශන පුවරු ලිංගික කාරණා මත වාරණයට ලක්වීමයි. ජනතා කලාකරුවන්ගේ සිට ජන නියමු කලාකරුවන් දක්වා කලා සංවිධාන ජවිපෙ භාවිත කළේ සෙසු ප්‍රධාන පක්ෂ මෙන්ම මැතිවරණ ගුණ්ඩුවක් ලෙස මිස සාම්ප්‍රදායික වාම දේශපාලනයේ කලාව සමග තිබූ ඓන්ද්‍රීය ඓතිහාසික සම්බන්ධය මත නොවේ. පැරණි වාමාංශික පක්ෂවල සිටි රෙජි සිරිවර්ධන, සුචරිත ගම්ලත්, පියසිලි විජේගුණසිංහ වැනි කෘතහස්ත කලා විචාරකයෙක් ජවිපෙට කවදාවත් නොවීය. අවම වශයෙන් රනිල් වික්‍රමසිංහ හෝ සරත් අමුණුගම වැන්නෙකුට කලාව ගැන වූ අදහස තරම්වත් අදහසක් ඇති ක්‍රියාධරයෙක් ජවිපෙට නොවීය.


එසේම අවම මට්ටමින් හර්ෂ ද සිල්වා හෝ බන්දුල ගුණවර්ධන තරමේ ආර්ථික විශේෂඥයෙක් ද ජවිපෙට නොමැත. හඳුන්නෙත්ති 2022 ආර්ථික අර්බුදය විසඳන්න හදන්නේ ඩයස්පොරා සාමාජිකයන්ගේ ආධාර වලිනි. ජවිපෙ ආර්ථික විද්‍යාව එතරම් බොළඳය. තව ද ඉතාම මෑතක දී ද වසන්ත සමරසිංහ පැවසුවේ සමලිංගිකයන් යනු මානසික රෝගීන් බවයි. ඒ අතරේ විසාකේස චන්ද්‍රසේකරන් ද ජාජබවේගයේ සිටී. දෙබිඩි බව යනු ජවිපෙය !.



දේශපාලනික දේශපාලනය සැලකුව ද ජවිපෙ යනු දෙබිඩි ව්‍යාපාරයකි. බීබීසී වැඩසටහනකට සහභාගිවෙමින් අනුර කුමාර 89 සම්බන්ධයෙන් වරෙක සමාව ඉල්ලීය. ඒ අතරේ ඉල්විරු සමරු ද ඇත. අනෙක් පසින් ජවිපෙට අනුව ඔවුන් කුමාර් ගුණරත්නම් කෙනෙක්ව අඳුරන්නේ නැත. මහින්ද රාජපක්ෂ 2019 මැතිවරණයේදී මංගල සමරවීර සිය ප්‍රබලම සතුරු කඳවුරේ දේශපාලනඥයෙකුව සිටිය දී පවා සිය ජීවිතය වෙනස් කළ දේශපාලන සගයෙක් ලෙස රූපවාහිනී වැඩසටහනකදී මංගලව සලකුණු කළේය. මහින්දට ඇති සදාචාරයවත් ජවිපෙට නොමැත. එපමණක් ද නොව ජවිපෙ පහළ පෙළ සාමාජිකයෙකුව සිට පසුව කුප්‍රකට රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද මෙහෙයවන්නකුව කිසිදු දේශපාලන සදාචාරයකින් තොරව ජවිපෙ නායකයන් ප්‍රශ්න කල විමල් කැටිපෙආරච්චි වැන්නෙකු ජාජබය හරහා නාම නිර්දේශ ලබාදීමට තරම් ජවිපෙ නීච වී ඇත. එසේම ටිල්වින් සිල්වා රටපුරා ලෙනින් සැමරුම් කරමින් යන අතරේ ජාජබයේ ලියනගේ අමරකීර්ති 2019 දී අරුණ පුවත්පතට පවසන්නේ ඔවුන් අනුර කුමාරට කැමති ඔහු ලෙනින්වාදියකු නොවන නිසා බවයි. ජවිපෙ සාමාජිකයා දැන් අනුගමනය කළ යුත්තේ ටිල්වින්වද නොමැතිනම් අමරකීර්තිවද? ඔවුන්ට අනුව මේවා වාම ජනප්‍රියවාදයේ උපාය උපක්‍රමය. ඔවුන් වටා රැස් වන්නන්ට ද මේවා සරළ ප්‍රතිවිරෝධතාය. ඔවුන්ට අනුව “ඉන්න අයගෙන් හොඳ ළමයි ජෙප්පො”ය. මේ රතු පාටින් රෝස පාටට ගිය ජනතා විමුක්ති පෙරමුණේ වාම ජනප්‍රියවාදයේ හා ජවිපෙ වලිගෙ එල්ලී දිව්‍යලෝකෙ යන්න හීන මවන සුන්දර ලිබරල්වාදීන්ගේ දශක කිහිපයක ඓතිහාසික සාරාංශයයි.


කලක පටන් දකුණු ඉන්දියානු නළුවකුමෙන් විලාසිතා සමග රංගනයේ යෙදෙන අනුර කුමාර ජවිපෙ ජනප්‍රියකරණය කිරීම යනු එක් අතකින් ධනේශ්වර සුබසාධන රාජ්‍ය සිය දේශපාලන ක්ෂිතිජය කරගත් සරළමතිකයෙකි. ඔවුන් ජනප්‍රිය  ප්‍රතිරූපකරණය හරහා ආණ්ඩු බලය අල්ලන්න යන විට පරිවාරයේ සංවිධාන ජාලය ක්‍රමිකව දියවෙමින් පවතී. අවම තරමින් 2005 දී ආරම්භ කළ අසාර්ථක ‘වැව් දහසක්’ ව්‍යාපෘතිය හරහා පමණක් වුව ද ජවිපෙ සංවිධාන ජාලයට වූ හානිය ඔවුන් බැරෑරුම්ව තක්සේරු කර නැති හැඩකි. ඉන් අනතුරුව ජාතිකවාදය ඉස්මුරුත්තාවට ගොස් ජවිපෙ ඉතිරි සංවිධාන සාරය රාජපක්ෂ රෙජීමය විසින් උරා ගත්තේය.

දැන් එවැනිම ව්‍යාජ ව්‍යාපෘතියක් ලෙස ‘ජන ගොවිපල’ නමින් ප්‍රචාරණයකින් ගම සංවිධානය යළිත් ආරම්භ කර ඇත. මේ අර්ථයෙන් ජවිපෙ යනු ඉතිරි දක්ෂිණාංශික ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලින් කිසිසේත් වෙනස් නොවනා ඊනියා වාම පක්ෂයකි. ඔවුන් කාලයක් තිස්සේ සටන් පාඨය ලෙස පවත්වාගෙන පැමිණි වංචා දූෂණ හෙළිදරව් කිරීමේ මාධ්‍ය රංගනය 2022 මැයි මස කූටප්‍රාප්ති වූ ෆයිල් ප්‍රසිද්ධ කිරීමේ මාධ්‍ය සංදර්ශනය පුස් වෙඩිල්ලක් බවට පත්විය. ඔවුන්ගේ ජනප්‍රිය දේශපාලන සටන් පාඨ දැන් ලංකාව මුහුණ දී තිබෙන සංකීර්ණ දේශපාලන ආර්ථික ප්‍රශ්න හමුවේ ප්‍රචාරණ අර්ථයකින් හෝ තවදුරටත් වලංගුභාවයක් උසුලන්නේ නැත.

ගෝඨා ගෝ ගම යනු එක් අර්ථයකින් ජවිපෙ කාලයක් තිස්සේ රඟ දැක්වූ දේශපාලන ජනප්‍රියවාදයේ කූටප්‍රාප්ති නාට්‍යයට හොඳ තෝතැන්නකි. නමුත් අවාසනාවකට ඔවුන්ට එහි උරුමකම් කියන්නට නොහැකි වී ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද දියවන්නාවෙන් එපිට දේශපාලනයක් කතා කළ ද ඊට අවශ්‍ය න්‍යායික හෝ සංවිධානාත්මක පදනම හෝ නවීකාරකත්වය ඔවුන්ට ප්‍රමාණවත්ව නැත. ශිෂ්‍ය ව්‍යාපාරය මත පදනම් වන පෙසප දේශපාලනය සීමාවී ඇත්තේ වීදි සටන්, උද්ඝෝෂණ හා මාධ්‍ය ප්‍රකාශ වලටය. සමකාලීන වම ඊනියා මහජනයා සමඟ සම්බන්ධ වීමේ ප්‍රමුඛතම යාන්ත්‍රණය බවට පත්කරගෙන ඇත්තේ මාධ්‍ය සමාගම්ය. ඔවුන්ගේ දේශපාලනයේ දිග පළල තීන්දු කරන්නේ මාධ්‍ය ආයතන හිමිකරුවන්ය. මේ දිනවල ජවිපෙට එරෙහිව පෙසප ඉහළට එසවීමේ මාධ්‍ය ව්‍යාපාරයක් නිරීක්ෂණය කළ හැක. ගෝල්ෆේස් මැයි දින සමරුවේදී කෝනාර නම් යූටියුබ්කරුගේ ප්‍රතිරූපය ජවිපෙ භාවිත කිරීමට උත්සාහ කළ ද මැයි 9 වන විට එය භූමරංග වූවේ ප්‍රකටම යූටියුබ් කරුවන් තිදෙනෙක් විසින් ආන්ඩුවේ චෝදනාවම ජවිපෙ වෙත එල්ල කරමින් අනුර ද මැයි 9 ගෝල්ෆේස්හිදී ගුටි කෑ බවක් කියමිනි. ගෝල්ෆේස් නැගිටීම පිටුපස ඇත්තේ ජවිපෙ ලෙස පැතිර වූ ආණ්ඩුවේ අවලාදය යූටිබර්ස්ලා හරහා සාර්ථක වී ඇතිවාසේය. දැන් ගෝල්ෆේස් නැගිටීමේ අයිතිය ජවිපෙ බලෙන් ගන්න යන බවක් ප්‍රචාරය වේ. මේ අතරේ සමාජ මාධ්‍යකරුවන් ශිෂ්‍ය ව්‍යාපාරයට දිගින් දිගටම විශේෂ සහයක් දැක්වීම ද නිරීක්ෂණය කළ හැක. ජවිපෙ මෙන්ම පෙසප ද සිය වාම උරුම සංවිධාන උපක්‍රම වෙනුවට මාධ්‍ය සමාගම් හරහා ඉක්මන් කෙටි ගමනක් උත්සාහ කරමින් සිටිති. දිගින් දිගටම පෙසපෙට ද හොඳ මාධ්‍ය ඉඩක් දැන් දැන් ලැබෙමින් පවතී.

සරළව සලකුණ කළ හැක්කේ මෙපමණකි. එක් අතකින් සුළු විකල්ප පිරිසක් නව වාම ජනප්‍රියවාදයක් ලෙසින් ජාතිකවාදී නොවන ව්‍යාපාරයක් ප්‍රාර්ථනා කරමින් සිටින අතර මෘදු වාම සහයෝගීතාවයක් ද අපේක්ෂා කරති. ඒ බොහෝදෙනාගේ පැතුම ජවිපෙ මූලික ජාජබයයි. එසේම සම්ප්‍රදායික වමට ආර්ථික ඌනිතවාදයක් ලෙස අවලාද නගමින් වර්ධනය වන ලාංකික පශ්චාත් – මාක්ස්වාදී න්‍යාය සමග ද පිරිසක් විකේන්ද්‍රීය වූ කොමියුනිස්ට් එකමුතුවක් පිළිබඳව සිහින දකිති. ඒ අතරවාරයේ ධනේශ්වරය වඩ වඩාත් කේන්ද්‍රීය ලෙස දෘෂ්ටිවාදීව ද ආර්ථිකව ද පරිපාලනමය වශයෙන් ද ප්‍රතිසංවිධානය වෙමින් පවතී. කම්කරුවන් තවදුරටත් කම්කරුවන්ගේ වේශයෙන් නොපවතින අතර ඒ හරහා වාම ඉලක්කය විකේන්ද්‍රීය කරවා ඇත.


නොපවතින ‘මහජනතාවක්’ පසුපස ගිය ඊනියා අරගලකරුවන්ට ඉගෙන ගන්නට අනුභූතික සාම්පලයක් ජූනි මස වන විට ගෝල්ෆේස් ගෝටා ගෝ ගම භූමිය තුළ ඉතිරි වී ඇත. ඒ මහජනයා නොමැති හිස් කූඩාරම්ය. මේ ඊනියා මහජනයා රහිත කූඩාරම් පමණක් ඇති ගෝඨා ගෝ ගම යනු ලාංකීය වාම ජනප්‍රියවාදයේ කූටප්‍රාප්ති සංකේතය විය නොහැකිද? මූණ දෙස බලන්න. කණ්නාඩිය හා අමනාප නොවන්න.


බූපති නලින් වික්‍රමගේ
2022 ජුනි 10

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?