Latestදේශීය

කොමිස් හොරා වෙනුවට බදු හොරා බලයට එනවා – පුබුදු ජයගොඩ

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් සිදුවූයේ කොමිස් හොරා වෙනුවට බදුහොරා බලයට පැමිණීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා.

ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනයට අදාල කරුණු දැක්වීම සදහා පැවැත්වූ මාධ්‍ය හමුවේදී (09) ඔහු මෙම අදහස් පළ කළා.

රටට නව අර්බුධයක් නිර්මාණය කරමින් විදුලිබල පනත සංශෝධනය හරහා වත්මන් ආන්ඩුව මෙරට විශාල ධනයක් ඉන්දියාවේ ආදානි සමාගමට සහ ඇමරිකාවේ නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට පොම්ප කරන්නට සැලසුම් සකස් කරමින් සිටින බව මෙහිදී ජයගොඩ මහතා පැවසුවා.

ශ්‍රී ලංකා විදුලි බල පනත හරහා මෙතෙක් සිදුවූයේ තරගකාරී ක්‍රමවේදයක් හරහා ටෙන්ඩර් මගින් මිළ ගණන් කැදවීම බවත් එහිදී විදුලි පාරිභෝගිකයින් හට අවම මිළ ගණන් යටතේ විදුලි ඒකකය ලබා දීමට අදාල සමාගම් ලබා දෙන මිළ ගණන් සැලකීමට භාජනය කළ බවත් නමුත් වත්මන් සංශෝධනය හරහා එම ප්‍රතිලාභ රටට මෙන්ම විදුලි පාරිභෝගිකයින් අහිමි වන බව පුබුදු ජයගොඩ මහතා පැවසුවා.

ඉන්දීය ආදානි සමාගම මන්නාරමේ සහ පුනරීන් වල සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීමට සැලසුම් සකස් කර ඇති බවත්, ඒ සදහා ඩොලර් මිලියන 420ක මුදලක් වැය කරන්නට නියමිත බවත් ඒ සදහා වසර 30ක ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බවත් පැවසූ ජයගොඩ මහතා ඒ හරහා වසරකට ඩොලර් මිලියන 150ක ශුද්ධ ලාභයක් ආදානි සමාගම ඉපයීමට නියමිත බවත් පැවසුවා.

ඒ අනුව වසර 3කින් සමස්ථ ආයෝජන මුදල නැවත උපයාගැනමටත් වසර 3කින් අනතුරුව වසර 27ක් වාර්ෂිකව ඩොලර් මිලියන 150 බැගින් මෙරටින් ඉන්දියාවට රැගෙන යාමට ආදානි සමාගම සැලසුම් කර ඇති බවත් පැවසූ ජයගොඩ මහතා ඩොලර් අර්බුධයට විසදුම් ගෙන එනවා කියන ආන්ඩුව මේ පනත් සංශෝධනය හරහා රටට සිදුකරමින් තිබෙන විනාශය සුලුපටු නැතැයි පැවසුවා.

පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය වැනි ලොකු කතා කියමින් ජනතාව නොමග යවන ආන්ඩුව දේශීය ව්‍යවසායකයින් ඩොලර් ශත 4කට අඩුවෙන් විදුලි ඒකකයක් ලබා දීමට කැමැත්තෙන් මෙම ව්‍යාපෘතියට ආයෝජනය කරන්න අවස්ථාව ඉල්ලා සිටියත් එම ඉල්ලීම් නොසලකා හරිමින් ඉන්දීය ආදානි සමාගමමෙන් ඩොලර් ශත 7.55කට විදුලි ඒකකයක් ලබා ගැනීමට නීති වෙනස් කරමින් සිටින බව ද ජයගොඩ මහතා පැවසුවා.

තවද මෙම පනත සංශෝධනය හරහා රටට හෝ විදුලි පාරිභෝගිකයින් වන ජනතාවට කිසිදු යහපතක් සිදු නොවන බැවින් අද වන විට ඉතා දුෂ්කර කොන්දේසි මත ජීවත් වන ජනතාව තම අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් අරගල කළ යුතු බව පුබුදු ජයගොඩ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරනය කළා.

එම සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?