Latestදේශීය

ඖෂධ සදහා ඇ.ඩො.මි.300ක් ආධාර ලැබුනා, ඒත් ඖෂධ ගත්තේ ‌ඩො.මි. 92ක විතරයි – වෛද්‍ය ගිෂාන්ත දසනායක

මෙරට මහජන සෞඛ්‍ය සේවයේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ගෙන්වීම පැහැර හැර ඇති තත්වය යටතේ සිදුවන ඇතැම් රෝගී මරණ චේතනාන්විත සාපරාධි මනුෂ්‍ය ඝාතන ලෙස සැළකිය හැකි බව සෞඛ්‍ය සේවකයෝ පෙන්වා දෙති.

රෝහල්වල තිබිය යුතු අවම අත්‍යවශ්‍ය ඖෂධවල සිට රෝගීන් අසාධ්‍ය අවස්ථාවල දිය යුතු ජීවිතාරක්ෂක ඖෂධ පවා නොමැති හේතුව නිසා දිනපතා රෝහල්වල වාර්තාවන මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබේ.

ජූනි 8 වැනිදා වාර්තා වූ ආකාරයට අනුරාධපුර මධ්‍ය මහා විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවකු සර්ප දස්ටනයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණද ඖෂධ නොමැතිකම නිසා අකාලයේ මිය ගොසිනි.

අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ පදිංචි බව කියන විනුක ලක්ෂාන් නමැති මෙම 15 හැවිරිදි ශිෂ්‍යයා පොළඟකු දෂ්ට කිරීමෙන් පසු ගිය 08වෙනිදා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත. විෂ උත්සන්න වීම නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු සර්ප විෂට ලබාදෙන ඖෂධ ලබාදී තිබුණද ඉන්පසු ඇතිවන ආසාත්මිකතාවයට අත්‍යඅවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ වර්ග නොමැති වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට වාර්තා විය.

සිසුවා අසාධ්‍ය වීමෙන් පසු අදාළ අත්‍යවශ්‍ය ඖෂධය රෝහලේ නොමැති බවට රෝහල් බලධාරීන් දෙමාපියන්ට දැනුම් දී අති අතර මෙම ඖෂධය සොයා මවුපියන් පුද්ගලික ‌ඔසුහල් 48 කට ගියද ඖෂධය තිබි නැත. ඒ අතර තුර කාලය තුළදී ශිෂ්‍යයා මියගොස් ඇති බව වාර්තා කෙරිණි.

ඖෂධ ආනයනය සඳහා අයවැයෙන් වෙන් කළ මුදල් අවභාවිත වී ඇති බවත් සෞඛ්‍ය සේවයට අත්‍යවශ්‍ය ඖෂධ වෙනුවට රූපලාවණ්‍ය ඖෂධ ආනයනය කර ඇති බවත් වානේ ආනයනය කළේද එම මුදලින් බවට ආරංචි ඇති බවත් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කර තිබේ. එම සංගමයේ වෛද්‍ය ගිෂාන්ත දසනායක පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ ප්‍රමුඛතා මත පියවර නොගැනීම නිසා අනෙකුත් ක්ෂේත්‍රවල ඇතිව තිබෙන කඩාවැටීම ඖෂධ ගෙන්වීමේදීද දක්නට ඇති බවයි.

එම මාධ්‍ය හමුවේදී වෛද්‍ය දසනායක මෙසේද කියා සිටියේය.
“අපේ රටේ ආර්ථික අර්බුදය නිසා ලෝකයේ විවිධ රටවලින් අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය වෙනුවෙන් ආධාර ලැබුණා. ඒ ආධාරවල එකතුව ඩොලර් මිලියන 300ක් විතර වෙනවා. මෙම මුදල සාමාන්‍යයෙන් අපේ වාර්ෂික ඖෂධ වියදමට සමානයි. නමුත් මේ මුදලින් රටට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වන්න වැය කළේ ඩොලර් මිලියන 92ක් පමණයි. ඉතිරි ඩොලර් මිලියන 208ක් වියදම් කළේ වෙනත් දේවල්වලට.”

දැනට රට තුළ පවතින මෙම අත්‍යාවශ්‍ය හා ජීවිතාරක්ෂක ඖෂධ හිගය සම්බන්ධයෙන් තමන් මාස ගණනක සිට කරුණු ඉදිරිපත් කළ ද සෞඛ්‍ය බලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා දැඩි නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසා ඇත.
“මෙම ඖෂධ හිඟය නිසා රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්වෙලා. මෙම දරුවාගේ මරණය ‌රටපු‌රා රෝහල් තුළ සිදුවන මෙවැනි මරණ වලින් එක් අනාවරණයක් පමණයි. ආණ්ඩුව වහාම මෙම ‌ඖෂධ හිඟයට පිළියම් යෙදිය යුතුයි. නැතිනම් ආණ්ඩුව හා ‌සෞඛ්‍ය ඇමතිවරයා මෙම මරණ වල වගකීම බාර ගත යුතුයි” යැයි වෛද්‍ය ජයන්ත බන්ඩාර වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Lanka Views

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?