Latestදේශීය

බලශක්ති අර්බුධයට මුහුණ දීමට වෙනස්කම් රැසක් – ජනපති

නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

පුද්ගලයන් ලියාපදිංචි කිරීම, ආගමන හා විගමන සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ඇතුළු සෙසු රාජ්‍ය ආයතන ද තවදුරටත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීමෙන් එම සේවාවන් වඩාත් කාර්යක්ෂමව ලබාදිය හැකි බවත් එවැනි ප්‍රධාන ආයතන එකිනෙක හා සම්බන්ධ කිරීමේ ඇති වැදගත්කමත් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය, මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රම හඳුන්වාදීම, සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සහ රජයේ වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් ඊයේ (15) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.

ලෝකයේ බොහෝ රටවල් ආහාර සුරක්ෂිතතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙන නමුත් මෙරට අස්වනු බෙදාහැරීමේ දී ඉන් 40%ක් පමණ විනාශ වීම පිළිබදව දැඩිව අවධානය යොමු කිරීමෙන් විශාල ආහාර ප්‍රමාණයක් ආරක්ෂා කරගත හැකි බව රාජපක්ෂ මහතා පැවසුවා.

අස්වනු බෙදාහැරීමේ දී අතරමැදියන් සංඛ්‍යාව අවම කර ගැනීමෙන් ගොවියාට සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමට ඇති හැකියාව ද මෙහිදී ජනාධිපති රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

රජයට අයත්, වගා නොකළ ඉඩම් හඳුනාගෙන වගාව සඳහා උනන්දුවක් දක්වන තරුණ පිරිස් වෙත කඩිනමින් ලබාදීමට පියවරගත යුතු බවත්, වගා කටයුතු සදහා සූදානමින් සිටින ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද කෘෂිකර්මාන්තය සඳහා සම්බන්ධ කර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි බවත් මෙහිදී අවධාරණය කළා.

වගා සංග්‍රාමයට සමගාමීව පුනර්ජනනීය විදුලිබල උත්පාදන සංග්‍රාමයක ඇති අවශ්‍යතාවය සාකච්ඡාවට ලක් කෙරුණා. සූර්ය බල විදුලි උත්පාදනයට යොමුවීමෙන් පවතින විදුලි අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදීමට ආයතන මට්ටමින් ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය විය යුතු බවද වැඩිදුරටත් සාකච්ඡා වුණා.

ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම්, රාජ්‍ය පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු මෙම අවස්ථාවට එක්ව සිටියා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?