Latestදේශීය

තිළිණි ප්‍රියමාලිට ගම්මන්පිලත් සල්ලි දීලා?

තිළිණි ප්‍රියමාලිට මුදල් දුන් පුද්ගලයින් ලෙස ප්‍රකාශකරමින් සමාජ මාධ්‍යවල සංසරණය වූ ව්‍යාජ නම් ලයිස්තුව සැකසූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් (09) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත දැක්වූ අදහස්.

ඊයේ දවස පුරාම සමාජ මාධ්‍ය වල වේගයෙන් සංසරණය වූවා නම් ලයිස්තුවක් තිළිණි ප්‍රියමාලිට මුදල් දුන් දේශපාලඥයින් ව්‍යාපාරිකයන් භික්ෂූන් වහන්සේලාගේ නම් ලයිස්තුව කියලා. ඇත්තෙන්ම එය ව්‍යාජ එකක්. එහි මගේ නමත් සඳහන් වුණා . ගෙදර නෝනලා සල්ලි ඉල්ලු වීට අපි හැමවෙලේම කියන්නේ අතේ සල්ලි නෑ කියලා. එහෙනම් ඉතින් තිලිනි ප්‍රියමාලිට දෙන්න සල්ලි කොහෙන්ද කියලා ගෙවල්වල පවා ප්‍රශ්න ඇති වෙන කාරණයක්. වගකීමෙන් කියනවා මේක ව්‍යාජ නම් ලැයිස්තුවක්. ඒ වගේම එතෙන්ට දාලා තියෙන්නේ පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ ආණ්ඩුව කර්කශ ලෙස විවේචනයට කළ මම, දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමා, හේශා විතානගේ මන්ත්‍රිතුමා, චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා වගේ අයගේ නම්. අර හොරුන් කියල සම්මත සල්ලි කුට්ටි පිටින් එකතු කරන් ඉඳලා ඡන්ද කාලෙට එහෙම බොහොම ප්‍රකෝටි ගණනින් වියදම් කරන කාගෙවත් නම් මේ ලයිස්තුවේ දාලා නෑ.

සමාජ ජාලා ඉතා වගකීම් විරහිතව ජනතාව භාවිතා කරන නිසා ඇහිල්ලක් බැලිල්ලක් නෑ කවුරුහරි බොරු ලයිස්තුවක් හදලා දැම්මට පස්සේ ඒක බෙදා හදා ගන්නවා. මේ තත්ත්වය දන්න නිසා මෑත කාලයේදී දූෂණ චෝදනා පිළිබඳ පසුගිය සතියේ බරපතළ ලෙස කතාබහට ලක්වුණු අමාත්‍යවරයෙක් සහ කුප්‍රකට කලාකරුවෙක් එකතුවෙලා මෙම ලයිස්තුව හදලා සමාජ ජාලාවල ට එකතු කළා කියලා නිල නොවන තොරතුරු ලැබිලා තියෙනවා.

ඒ අමාත්‍යවරයාගේ වංචා දූෂණ පිළිබඳව පාර්ලිමේන්තුවේදී එල්ල වෙලා තියෙන සමාජ අවධානය වෙනතකට යොමු කිරීම තමයි මෙම ව්‍යාජ ලයිස්තුවේ බලාපොරොත්තුව. මොකද ඇත්තටම තිලිණි ප්‍රියමාලිට සල්ලි දුන්නු දේශපාලකයන් ව්‍යාපාරිකයන් සහ භික්ෂූන් වහන්සේලා ඉන්නවා. එයාලගේ නම් ලයිස්තුවක් පොලිසිය ගාව කියනවා. තමුන්නාන්සේලාට පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක ගෙන් අහන්න පුළුවන් මේ ලයිස්තුවේ ඉන්න අය ඒ ලයිස්තුවෙත් ඉන්නවද කියන කාරණය.

ඉතින් මෙහෙම ලයිස්තුවක් පොලිසියේ තියෙන නිසා ජනතාව ඉන්නේ කුතුහලයෙන්. එතකොට ඒ අවස්ථා පාවිච්චි කරලා සමාජයේ කුතුහලය සැබෑ වංචා දූෂණවලින් වෙනත් පැත්තකට යොමු කිරීමේ යටි අරමුණින් තමයි මෙම ලයිස්තුව ඉදිරිපත් කරලා තියෙන්නේ.

මම අද ලිඛිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්නා සමාජ ජාලා වලට මෙම ව්‍යාජ නම් ලයිස්තුව එකතු කල දුරකථන අංක. පොලිසියට ඔවුන් ප්‍රශ්න කිරීම හරහා මෙය මුලින්ම එක් කළේ කවුරුන්ද යන්න පිළිබඳව තොරතුරු සොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඔවුන් නීතිය ඉදිරියට ගේන්න ට ඕනේ.

යටි අරමුණු තියෙන අය සමාජ ජාලා වැරදි අන්දමට භාවිතා කරමින් ජනතාව නොමඟ යවන නිසා සමාජ ජාල පිළිබඳව යම් නියාමනයක් අවශ්‍යයි කියන එක මේ තුළින් මා ඉගෙන ගත්තා. නමුත් ඉන් ඇත්ත තොරතුරු ප්‍රකාශ කරන තමන්ගේ ඇත්ත මතය කියන කිසිවෙක් බය වෙන්න අවශ්‍ය නැහැ. සමාජ ජාලා තුළින් ජනතාව නොමග යවන් අය පමණයි ඊට බිය විය යුත්තේ.

ප්‍රශ්නය

යළි නැගිටිමු කියලා තේමාව යටතේ ඔවුන් ඉදිරියට එන බව පේනවා ඔබතුමාලා ඇතුළු කණ්ඩායමට ගමේ ඉන්න බැරි තත්ත්වයක් ඇති වුණා?

පිළිතුර

විශේෂයෙන්ම කියන්න ඕනේ හොයලා බලන්න, මගේ අසල්වැසියන්ගෙන් අහලා බලන්න මම හැමදාමත් හිටියේ මගේ ගෙදර, මැයි නව වැනිදා රෑ හිටියෙත් මගේ ගෙදර , ජූලි නම වැනිදා රෑ හිටියෙත් මගේ ගෙදර. මගේ ගෙදරට වැලි කැටයකින්වත් කාගෙන්වත් හානියක් වුණේ නෑ. හැම සිකුරාදා මම වෙළඳසලකට ගිහිල්ලා ගෙදරට ඕන බඩු ටික ගන්නව. හැම සිකුරාදාම මම එතෙන්ට එනව කියලා ඒ පළාතේ කවුරුත් දන්නවා. මම කඩවල් වලින් ගිහිල්ලා කෑම කන්නේ. කට්ටිය හැංගිලා ඉන්න ඇති, ඒක ඒ අයගෙන් අහන්න, මම කිසිම දවසක හැංගිලා හිටියේ නෑ. මේ තොරතුරු ඇත්තද කියලා තමුන්නාන්සේලාට හොයලා බලන්න පුළුවන්.

ඒ වගේම විනාශ වුණු කට්ටිය යළි නැගිටිනවා කිව්වා, අපි නම් අහලා තියෙන්නේ මියගියාට පස්සේ යළි යනවනම් ඒ හොල්මන්, භූතයෝ. භූතයො එන එක හොල්මන් එන එක ජනතාවට අහිතකරයි. එනිසා තොවිලයක් නටලා හරි භූතයෝ පන්නන්න ඕන. ජනතාව බය කරනවා හැරුණුකොට භූතයන්ට කරන්න පුළුවන් ඊට වඩා දෙයක් නැහැ. මම අහගෙනයි එක භූතයෙක් කියනවා තෙල් අර්බුදයක් එනවයි කියලා මම කලින් කියපු නිසා රටේ ජනතාව බය කලා කියන එක. ඔය ප්‍රශ්නයට මාස හතක් තිස්සේ අපි උත්තර දීලා තියෙන්නේ. හැබැයි 8 වත් සමත් වෙන්න බැරි වුණ කෙනෙකුට ඒක තේරුම් කරලා දෙන්න අමාරුයි. මට කරුණු පැහැදිලි කරන්න පුළුවන් , ඒක තේරුම් ගන්න මොළේ ලබාදෙන්න හැකියාවක් නෑ. කුරුණෑගල ජනතාව තීරණය කරන්න ඕනේ මෙවැනි අය නැවතත් තමන්ගේ නියෝජිතයෝ විදිහට පත් කරනවද නැද්ද කියලා. අඬන්න පුළුවන් අඬනව වගේ රඟපාන්න පුළුවන් හැබැයි භූතයන්ගේ වැඩ නිසා මිලියන විසි දෙකක් අද අඬනවා.

ප්‍රශ්නය

ඔබතුමාට හිතෙන විදියට මේක නවුම් ආකාරයෙන් බලය අල්ලගන්න හදන උත්සාහයක් වෙන්න පුලුවන්ද?

පිළිතුර

නැහැ. ඉතා හොඳ දෙයක් ඒ රැස්වීම ඊයේ තිබ්බ එක. එතුමන්ලා වේදිකාවේ කිව්ව අපි මෙච්චර කල් මාධ්‍ය හමුවල කිව්ව දේ. එතුමන්ලව පිටිපස්සෙ ඉඳන් මෙහෙයවන්නෙ බැසිල් රාජපක්ෂ මැතිතුමා කියලා. අපි මෙච්චර කල් කිව්වනේ බැසිල් ගිහිල්ලා නෑ බැසිල් තමයි මේක මෙහෙයවන්න කියලා . අපි කියන්නේ අනුමානයක්නෙ, මේ කට්ටියම වේදිකාවක් හදලා සෙනග කැඳවලා ජාතියටම කිව්ව අපේ පිටිපස්සේ ඉන්නේ බැසිල් කියලා. මේ රටේ ආර්ථිකය බිඳ දාලා ජනතාව අන්ත අසරණ කරපු ඒ බැසිල් යුගය යළි ඕනෙ නම් අන්න කට්ටිය ඉන්නව ජනතාවට තෝරගන්න.

ප්‍රශ්නය

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැරදි හදලා අපි ජනාධිපතිත් කළා කිව්වා ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ.?

පිළිතුර

මහින්ද රාජපක්ෂ මැතිතුමාට මුලින්ම කියවුනේ සැබෑ හිත. ඇත්තෙන්ම එතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයට බනින්න වගේ තමයි හිටියෙ, කවුද කනට කොදුරලා කිව්වා දැන් අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා ඊට පස්සේ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා අපි එයාගේ වැරදි හදලා ගත්තා කියලා කිව්වේ. ජනතාව දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳ ඔය වේදිකාවෙ හිටියා අය කියූ කතා මොනවද කියලා. ඒබ්‍රහම් ලින්කන් කියලා තියෙනවා ඔබට ටික දෙනෙක් ටික කාලයක් රැවටිය හැකි වුවත් ඔබට සියලු දෙනා සෑම දිනකම රැවටිය නොහැක කියල. ඒ නිසා ඒ ලස්සන සුන්දර බස්වලට රැවටුණු යුගය අවසානයි කියලා ළඟම එන ඡන්දෙදි ජනතාව පෙන්වාවි.

– Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?