Latestදේශීය

පොලීසියට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන් මානව හිමිකම් කොමිසමට

පසුගිය 9 වනදා ගාළුමුවදොර පැවති සාමකාමී සැමරුමට පහර දීමට විරෝධය දැක්වීමට ඊයේ(10) දිනයේ පොලිසියේ ක්‍රියාකලාපය විරෝධය පළ කරමින් වෘත්තිකයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පිරිස් එක්ව සංවිධානය කළ පාගමනට බාධා කරමින් ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස කටයුතු කළ පොලිස් නිළධාරීන්ට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ලට අදාල සම්පූර්ණ ලිපිය පහතින්,

2022/10/11

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,

ආර් ඒ ද මැල් මාවත,

කොළඹ.

මහත්මයාණෙනි, මහත්මියනි,

ශ්‍රී ලංකා පොලිසිය භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධවයි

ශ්‍රී ලංකා පොලිසිය 1856 තරම් ඈත ඉපැරණි ආඥාපනතක් වන පොලිස් ආඥා පනතේ ආගමික පෙරහරක් පැවැත්වීමට පැය 06ටවත් පෙර දැනුම් දිය යුතු බවට වූ ප්‍රතිපාදනය විරෝධතා පාගමන්වලට ද අදාල කරගෙන පහුගිය කාලයේ සාමකාමී පාගමන්වලට දිගින් දිගටම පහරදී නතර කර දැමීය. ඊට අමතරව විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ.

ඔක්තෝබර 09 වැනිදා ඔබ කොමිෂන් සභාවට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අප විසින් පැමිණිලි කළ පරිදි එදින ගාලුමුවදොර දී පැවැත්වූ සාමකාමී සැමරුමකටද පොලිසි පහර දුන් අතර කිහිප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඊට විරෝධය පළ කරමින් නීතිඥයන්, ජනමාධ්‍යවේදීන් සහ වෘත්තිකයන් එක්ව ගාලුමුවදොර විරෝධයක් පැවැත්වීමට සැලසුම් කළෙමු.

පොලිසිය සෑම විරෝධතා පාගමනක්ම ඉපැරණි පොලිස් ආඥා පනතේ සංස්කෘතික පෙරහරකට අදාල විධි විධාන භාවිත කරමින් නතර කරන නිසා මෙම විරෝධතාවයද එයම පෙන්වමින් පොලිසිය නතර කරතියි පූර්ව නිගමනය මත පැය හයකට පෙර ඒ ගැන පොලිසියට දැනුම්දීමට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි තීරණය කළෙමු. (විරෝධතා උද්ඝෝෂණයක් කිරීමට හෝ පාගමනක් යෑමට පැය හයකට පෙර පොලිසියට දැනුම් දිය යුතු නොවන බව අපගේ විශ්වාසයයි.)

ඒ අනුව ඔක්තෝබර 09 වැනිදා පොලිසිය කළ ම්ලේච්ඡ ක්‍රියාවට එරෙහිව ඔක්තෝබර 10 වැනිදා සවස 3.00ට ගාලු මුවදොරින් විරෝධතාවයක් සහ විරෝධතා පාගමනක් ආරම්භ වන බවට වූ දැනුම්දීම කොටුව පොලිස් ස්ථානාධිපති වෙත අපි කළෙමු. ‘එමෙන්ම පොලිසියේ ක්‍රියාකලාපය විරෝධය පළ කරමින් වෘත්තිකයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පිරිස් අද ‘10’ සවස 3.00ට ගාලු මුවදොරදී විරෝධතාවයක් සහ විරෝධතා පාගමනක් ද ආරම්භ කිරීමට නියමිතය’ යනුවෙන් සඳහන් කළ අතර ඊට අමතරව තවත් තොරතුරු අතර ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් සීමා කිරීමට වසර ගණනක් පැරණි පොලිස් ආඥා පනත යොදා ගැනීම මෙන්ම පොලිස් ආඥා පනතේ විධිවිධාන වැරදි ලෙස අර්ථ දැක්වීම සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්යකි. විරෝධතා පාගමන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ පොලිසිය හුවා දැක්වූ පොලිස් ආඥා පනතේ අදාල වගන්ති සම්බන්ධයෙන්

මූලික අයිතිවාසිකම් නඩු කිහිපයකම සාකච්ඡා කර තිබෙන අතර බොහෝ අවස්ථාවල පොලිසියේ ක්‍රියාකලාපය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීරණය කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය 470/96 දරණ මූලික අයිතිවාසිකම් නඩුවට අදාලව 1997 ජූනි 18 ලබා දුන් තීන්දුව (සරණපාල එ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සෝලංගආරච්චි) , 137/95 දරණ මූලින අයිතිවාසිකම් නඩුවට අදාලව ලබා දුන් තීන්දුව (අතුකෝරල සහ තවත් අය එ. පොලිස්පති ටී පී එස් ද සිල්වා) ඇතුළු තීන්දු පරිශීලනය කරන ලෙස අපි ඉල්ලා සිටිමු.’ යනුවෙන් ද අපි සඳහන් කළෙමු.

කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ ඇමතූ එම ලිපිය ඔක්තෝබර 09 වැනිදා රාත්‍රී 11.57ට [email protected] දරණ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ඊමේල් ලිපිනයෙන් [email protected]  දරණ කොටුව පොලිස් ස්ථානයේ රාජකාරි ඊමේල් ලිපිනයට යොමු කළෙමු. ඊට අමතරව එම ලිපිය යොමු කරන ඊමේල් පණිවිඩය එම අවස්ථාවේම 

[email protected]  දරණ පොලිස් පතිවරයාගේ ඊමේල් ලිපිනයට සහ  [email protected]  දරණ පොලිස්පතිට කියන්න අංශයේ ඊමේල් ලිපිනයටද පිටපත් කළෙමු. එසේම ඔබ කොමිෂන් සභාවේ දැන ගැනීම සඳහා එම ඊමේල් පණිවිඩය එම අවස්ථාවේම ඔබ කොමිෂන් සභාවේ [email protected] යන ඊමේල් ලිපිනයටත්, විමර්ශන අංශයේ ඊමේල් ලිපිනයට සහ විමර්ශන අධ්‍යක්ෂ සුලාරි ලියනගේ මහත්මියගේ ඉමේල් ලිපිනයට ද පිටපත් කළෙමු.

එසේම එම ලිපිය කොටුව පොලිස් ස්ථානාධිපතිගේ රාජකාරි දුරකතනය අංකයට අදාල වට්ස්ඇප් ගිනුම වන 0718591560 අංකයටද වට්ස්ඇප් මගින් යොමු කර, එම ලිපිය ඊමේල් මගින්ද යොමු කළ බව සඳහන් කළෙමු. වට්ස්ඇප් මගින් යොමු කළ ලිපිය එදින අලුයම 12.27 පොලිස් ස්ථානාධිපතිවරයා දැක තිබිණි.

එසේ තිබියදී ඊයේ ගාලු මුවදොරින් නීතිඥවරුන් සහ වෘත්තිකයන් විරෝධතාවයක් ආරම්භ කළ අතර එය සාමකාමීව කොළඹ කොටුව හරහා නීතිඥවරුන් කාර්යාල ඇති ප්‍රදේශයට යන්නට මාර්ගයේ ඉදිරියට එද්දී ජනාධිපති ලේකම් කාර්යාලයට නුදුරෙන් පිහිටි පාලම අසල මංසන්ධියෙන් පොලිසිය මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීය.

වසා දැමීමෙන් පසු සහකාර පොලිස් අධිකාරී නලින් දිල්රුක් නම් නිලධාරියා ශබ්ධ විකාශන යන්ත්‍ර මගින් පොලිස් ආඥා පනත යටතේ යටත් පිරිසෙන් පැය 06කටවත් කළින් ළඟම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට දැනුම් දිය යුතු වුවත් මෙයට අදාලව දැනුම් දී නැති බවත්, එබැවින් විසිර යන ලෙසට අන කරන බවත්, එසේ විසිර නොගියහොත් පොලිසිය සහ අවශ්‍ය නම් හමුදාව ද කැඳවා අවශ්‍ය බලය යොදා විසිරවීමට කටයුතු කරන බව දැනුම් දුන්නේය.

ඔහු එලෙස දැනුම් දීමෙන් පසු එම ස්ථානයේ රාජකාරි කළ උසස්ම නිලධාරියා වන කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් සහ නිවේදනය කළ සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක් අසලට ගොස් අප විසින් පැය යහකට පෙර කොටුව පොලිස් ස්ථානාධිපතිට දැනුම් දුන් බව අවධාරණය කළෙමු. ඔවුන් ‘නෑ නෑ දැනුම් දීලා නෑ’, ‘බොරු කියන්නේ’, ‘බොරු ෂෝ දානවා’, ‘මාධ්‍යවේදීන් නෙමෙයි යූටියුබ්කාරයො’, ‘හැමදාම  බොරු ෂෝ දානවා’ , ‘මීඩියාවලට පේන්න බොරු කියන්නේ’ ආදී වචන භාවිත කරමින් කෑගසමින් අවමන් සහගත ලෙස හැසිරිණි.  ඊමේල් පණිවිඩය සහ වට්ස්ඇප් පණිවුඩය පෙන්වා සිටියත් ගණනකට නොගත් අතර එක් අවස්ථාවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් ප්‍රකාශ කළේ පොලිසියට පැමිණ අවසර ගත යුතු බවයි. අවසර ගැනීමක් ගැන සඳහන් නොවන බව අප පැහැදිලි කළ ද ඔවුන් ගණනකටවත් නොගෙන අවමන් සහගත ලෙස හැසිරිණි.

පැය 06කට පෙර දැනුම් දී තිබියදීත් එලෙස දැනුම් නුදුන් බව කියමින් අපට ගමන් කිරීමට ඉඩ නොදී, විසිර යන ලෙස අණ කිරීම මගින් ශ්‍රී ලංකා පොලිසිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබේ.  එමෙන්ම රාජ්‍ය නිලධාරීන් ලෙස අපගේ සැලකිරීම්වලට කන්නොදී අපට අවමන් කරමින් අපකීර්තිදායක ලෙස හැසිරීමද සිදු කළේය.

එසේ හෙයින් මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසත්, පොලිස් නිලධාරීන් අපගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට ප්‍රකාශ කරන ලෙසත්, එම පොලිස් නිලධාරීට එරෙහිව අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිට සහ විනය ක්‍රියාමාර්ග ගැනීමට විනය බලධාරියාට නිර්දේශ කරන ලෙසත්, අපගේ අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් සුදුසු වෙනත් සහන නිර්දේශ කරන ලෙසත් ඉල්ලා සිටිමු.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වන්නේ,

1)            කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ,  2) සහකාර පොලිස් අධිකාරී (කොළඹ මධ්‍යම) නලීන් දිල්රුක්, 

3) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (කොළඹ මධ්‍යම) රොෂාන් ඩයස්, 

4) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත) දේශබන්දු තෙන්නකෝන්,  5) පොලිස්පති චන්දන වික්‍රමරත්න

මෙම ලිපිය සමඟ අදාල සියලු ඇමිණුම්ද ඇත.

ස්තුතියි.

මෙයට,

විශ්වාසී,

තරිඳු ජයවර්ධන

සභාපති

තරුණ ජනමාධයවේදීන්ගේ සංගමය

පිටපත්

1)            ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමය.

2)            විධායක කමිටුව, තරුණ නීතිඥ සංගමය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?