Latestදේශීය

භාන්ඩ 637ක මිළ ඉහළට – සෙස් බද්ද ඊයේ සිට ක්‍රියාත්මකයි

එකතු කළ අගය මත පනවන ලද බද්ද (සෙස්) ඊයේ (15දා) සිට ක්‍රියාත්මක වීම නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ආනයනික භාණ්ඩ එකසිය අසූ හතක් (187) යටතේ ඇති භාණ්ඩ හයසිය තිස් හතක (637) මිල ඉහළ යන බව ආනයනකරුවන් පවසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පෙරේදා (14දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 අයවැය ලේඛනය අනුව එකතු කළ අගය මත පනවන ලද බද්ද සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස රේගුව වෙත දන්වා තිබේ.

ඒ අනුව සහල්, අර්තාපල්, පරිප්පු, ලූනු, ෆාම් තෙල්, බටර්, චීස්, කිරි ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යද, පොත්, පෑන්, පාවහන්, දවටන, ටයර් ආදී භාණ්ඩවල මිල එසේ ඉහළ යනු ඇත.

ආනයනික සහල් කිලෝග්‍රෑමයකට රුපියල් 60ක්ද, ලූනු කිලෝග්‍රෑමයකට රුපියල් 30ක්ද, අර්තාපල් කිලෝවක් රුපියල් 220කින්ද, කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 300කින්ද, බටර් කිලෝග්‍රෑමයක් රුපියල් 550කින්ද, චීස් කිලෝග්‍රෑමයක් රුපියල් 600කින්ද ඉහළ දමා තිබේ. මීට අමතරව බඩඉරිඟු කිලෝග්‍රෑමයක් රුපියල් තුන්සීයකින්ද, ඇපල් කිලෝග්‍රෑමයක් රුපියල් 380කින්ද, ෆාම් තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් හැටකින්ද (60) කොප්පරා කිලෝග්‍රෑමයක් රුපියල් තුන්සිය හැත්තෑවකින්ද (370) ඉහළ දමා ඇත.

මීට අමතරව රබර් හා ටයර් රුපියල් සීයේ සිට හාරසීය (100-400) දක්වාත්, පාවහන් වර්ග අනුව රුපියල් 90-1840 දක්වාත්, බෝල්පොයින්ට් පෑන්වල මිල සීයට විසිපහක්ද (25%), අභ්‍යාස පොත් කිලෝග්‍රෑමයක් රුපියල් 250කින්ද, දවටන කිලෝග්‍රෑමයක් රුපියල් දෙසීයකින්ද, ලිහිසි තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් තුන්සීයකින්ද වශයෙන් බදු අය කරන ලෙස රේගුවට දන්වා තිබේ.

එහෙත් තොග ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ සහල්, ලූනු ආදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 24කට සෙස් බද්ද බල නොපාන බවයි.

​රේගු මාධ්‍ය ප්‍රකාශක සුදන්ත සිල්වා සඳහන් කළේ සෙස් බද්ද වැඩිකර ඇති භාණ්ඩ ඊයේ (15වැනිදා) සිට රේගුවෙන් නිෂ්කාශනය කිරීමේදී නව බදු ගාස්තු අය කරන බවයි.

– Aruna

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?