Latestදේශීය

අපි ලෑස්තියි හෙට හැප්පෙන්න – උදේනිගම ගුණරතන හිමි

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළ මණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බළ මණ්ඩලය ඇතුලු දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති එක්ව අද මාධ්‍ය හමුවක් කැදවනු ලැබුවා. ඒ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ  දින 90ක් රදවා තබාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ආන්ඩුවට බල කරමින්.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බළමණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු උදේනිගම ගුණරතන හිමි මෙසේ පැවසුවා.

රනිල් වික්‍රමසිංහ ටිරාන් අලස් දේශබන්දු තෙන්නකෝන් මොනවා හරි උප්පරවැට්ටියක් යොදවලා කූට උපක්‍රම යොදවමින් සාකච්ඡා කරන වෙලාවක් මේක.

හෙට දවස වෙනකොට නොවැම්බර්  18 වෙනකොට වසන්ත මුදලිගේ සහෝදරයා සහ සිරිධම්ම හාමුදුරුවෝ අනීතිකව රැදවුම් නියෝග මත අත්අඩංගුවට ගැනීමටදින 90ක්  අවසන් වෙනවා.

රනිල් රාජපක්ෂලා මානව අයිතිවාසිකම් පිළිගන්න කිසිම රටක් රාජ්‍යයක් පිළිගන්නේ නැති විදියට තමයි වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් හිරකරලා විවිධාකාරයේ මානසික සහ ශාරීරික වධබන්ධනයන්ට ලක්කරමින් ඉන්නේ.

ඊයේ වසන්තලාව අධිකරණ වෛද්‍යවරයෙක් වෙතට ඉදිරිපත් කළා. අරන්ගියේ වීදුරුවල පත්තරකොල අලවලා අදුරු කරලා. බෙට්ෂීට් වලින් ඔතලා තමයි අරගෙන ඇවිත් තිබුනේ. තංගල්ලෙදිත් මීට කලින් ගෙනල්ලා තිබුනේ ඒ විදිහටමයි.

නාරාහේන්පිට රදවගෙන හිටියේ අඩි අටයි හතරේ පුංචි කාමරයක. ඒක වායුසමීකරණය කරන්න හදලා තිබුනු කාමරයක්. නමුත් වායුසමීකරණය නොකර තමයි ඒකේ රදවාගෙන හිටියේ.

අධික මදුරු ගහනයක් තියෙන,  හුලං පොදක් එන්නේ නැති, හිරු එළිය එන්නේ නැති කාමරයක තමයි වසන්තවත් සිරිධම්ම හාමුදුරුවන්වත් හිරකරලා තිබුනේ.

ස්නානය කරන්න දීලා තිබුනේ කොමඩ් එකට පාවිච්චි කරන හෑන්ඩ් ෂවර් ඒකක්.  අවම පහසුකම් වත් නැතුව  සිරකරුවකුට තිබිය යුතු අවම පහසුකමක් වත් නැතුවයි වසන්ත සහෝදරයාවත් සිරිධම්ම හාමුදුරුවන්වත් හිරකරගෙන අමානුෂික ලෙස පීඩාවට පත්කරමින් තියෙන්නේ.

හෙට රැදවුම් නියෝග අවසන් වෙනවා. අපි අවධාරණය කරනවා මේ සෙල්ලම හෙටින්වත් නතර කරන්න.

දිගින් දිගටම කරන මේ අමානුෂික පලිගැනීම නතර කරන්න. වසන්තලා සිරිධම්ම හාමුදුරුවෝ කරපු වරද මොකක්ද? නැවුම් සමාජයක් දකින්න උත්සාහ කරපු එක. ඒ වෙනුවෙන් සමාජය පෙලගස්සපු එක.

වසන්ත මුදලිගේ සිරිධම්ම හාමුදුරුවෝ ඇතුළු සටන් කරපු බලවේග ඉල්ලපු කිසිම සාධාරණ ඉල්ලීමක් මේ වනතෙක්  ලැබිලා නැහැ.  අයවැයක් එනවා. ඒකෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍ය විකුණන්න හදන අයවැයක්.

රටේ ජනතාවට තුන්වේල පිරිමහගන්න හැකියාවක් නැහැ. ධීවරයන්ගේ වැඩ අඩාල වෙලා තියෙන්නේ

7000ක් වියදම් කරලා ධීවර කර්මාන්තයේ යෙදිච්ච ධීවරයින්ට අද ඒ වෙනුවෙන් රුපියල්  30000ක් වියදම් කරන්න වෙලා තියෙනවා.

රනිල් කියන රූකඩයක් ඇවිල්ලා රාජපක්ෂලාගේ අවශ්‍යතාවයට නටනවා. රනිල් රාජපක්ෂලාට අපි කියනවා ඔය සෙල්ලම දැන්වත් නතර කරන්න කියලා.

හෙට අපි වෘත්තීය සමිති බහුජන සංවිධාන සියල්ල එක්ක එකට එකතුවී තීරණාත්මක සටනක් දියත් කරනවා. ඔව්. 18 තීරණාත්මක දවසක්. වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හාමුදුරුවෝ අනීතිකව අත්අඩංගුවට ගෙන සිටින ආන්ඩුවට අපි කියනවා  අනිවාර්යයෙන්ම හෙට වසන්තවත් සිරිධම්ම හාමුදුරුවන්වත් නිදහස් කරන්න ඕනා.  එහෙම නැතිවුනොත් මේ රටේ සියලු බලවේග සමග එකතු වෙලා මේ දූෂිත ආන්ඩුවට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව අපි දැඩි අවධාරණයෙන් කියනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?