ජන වරමකින් තොරව මහවැලි ඉඩම් වලට අත තියන්න එපා – චන්න ජයසුමන

මහවැලි ව්‍යාපාරයට අයත් ඉඩම් මහවැලි අධ්‍යක්ෂක ජනරාල්ගෙන් ඉවත්කොට ප්‍රාදේශීය ලේකම් හරහා බැහැර කිරීමට අයවැය 13 වැනි වගන්තිය මගින් යෝජනා කිරීම මෙවර අයවැයේ භයානකම යෝජනාව බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා අයවැය විවාදයට එක් වෙමින් පැවසීය.

මෙතෙක් කල් මහවැලි අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ පැවති මහවැලි ඉඩම්, ප්‍රාදේශීය ලේකම්වරයා මගින් පමණක් බැහැර කිරීම සඳහා වසරක් ඇතුළත වැඩ පිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය දහතුන්වෙනි යෝජනාව ලෙස දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක පහළොවක් පුරා පැතිර ඇති මහවැලි ගොවි ජනපද ව්‍යාපාරයට අයත් ඉඩම් එම ව්‍යාපාරයේ තුන්වැනි හා හතරවැනි පරම්පරාවල දරුවන්ට ලැබීම වෙනුවට දේශපාලනඥයන්ගේ බලපෑම මගින් ප්‍රාදේශීය ලේකම් ව්‍යාපාරිකයන්ට, ජාවාරම්කරුවන්ට, දේශපාලන හිතවතුන්ට ලබා දෙනු ඇති බවත් එය සමස්ත ගොවිජනපද ව්‍යාපාරයටම දරුණු ඛේදවාචකයක් වනු ඇති බවත් චන්න ජයසුමන මහතා තවදුරටත් පැවසීය.

මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලට අයත් මහවැලි “එල්” කලාපයේ ඉඩම් අක්කර 71800 මේ ආකාරයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් මුදාහැරීම රටේ භෞමික අඛණ්ඩතාවයටත්, ඒකීය බවටත් තර්ජනයක් වනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා උපනූපන් පරපුරක ඉඩම් මේ ආකාරයේ අයවැය යෝජනාවක් මගින් ගොවි ජනතාවට අහිමි කිරීමට උත්සාහ දැරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, මෙම වගන්තිය අයවැයෙන් ඉවත්කර ගනු නොලබන්නේ නම් කිසිදු ලෙසකින් අයවැයට සහයෝගය ලබා නොදෙන බවද ඔහු තවදුරටත් පැවසීය.

විසි වසරකට ආසන්න කාලයක් තමන්ට බලය හිමි වූ අවස්ථාවල ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන මතභේදාත්මක තීරණ රැසක් ගනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා මෙවන් යෝජනාවක් ක්‍රියාවට නංවන්නේ නම් ඒ සඳහා ජනවරමක් ලබා ගත යුතු බවද ඔහු පැවසීය.

Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *