Latestදේශීය

අන්තර්ජාල වංචාවන්ට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවිකිරීමට දැන්වීම් පළකරන පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලින් සූක්ෂම ලෙස මුදල් වංචා කළ තිදෙනෙකු CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

CIDය පවසන්නේ අදාළ සැකකරුවන් ඊයේ රාත්‍රියේ මහනුවර, තලාතුඔය සහ මැදවච්චිය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බවය. 

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් විසින් ලක්ෂ 60කට අධික මුදල් ප්‍රමාණයක් මෙලෙස විවිධ පුද්ගලයින්ගේ ගිණුම්වලින් ලබාගෙන ඇති බවය.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිලි 20කට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රථමයෙන් සැකකරුවන් විසින් අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවිකරණ පුද්ගලයින් අමතා දැන හැඳුනුම්කමක් ඇතිකරගැනීම සිදුකරයි.

පසුව සැකකරුවන් විසින් එම අලෙවිකරුවන් වෙත දැනුම්දෙනු ලබන්නේ විකිණීමට දැන්වීම් පළකර ඇති භාණ්ඩය විකිණීම සිදුනොකරන ලෙසටය.

අනතුරුව සැකකරුවන් විසින් සූක්ෂම ලෙස අදාළ අලෙවිකරුවන්ගේ බැංකු ගිණුම් අංකය ඉල්ලාගෙන විශ්වාසය ඇතිකරගැනීම සඳහා එයට සුළු මුදලක් බැරකරනු ලබයි.

අනතුරුව අදාළ භාණ්ඩ අලෙවිකරණ පුද්ගලයින්ගේ ගිණුමට පිවිසීම සඳහා ගිණුම් හිමියාගේ ජංගම දුරකථනයට එක්වරක් පමණක් ලැබෙන මුරපදය හෙවත් OTP අංකය ජාවාරම්කරුවන් විසින් සූක්ෂම ලෙස ලබාගැනීම සිදුකර ඇත.

ඒ හරහා අදාළ ගිණුමට පිවිස පසුව වෙනත් ගිණුමක් වෙත අලෙවිකරුවන්ගේ ගිණුමේ ඇති මුදල් සියල්ල බැරකර ගැනීම ජාවාරම්කරුවන් විසින් සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඒ සඳහා ජාවාරම්කරුවන් විසින් වෙනත් පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් භාවිත කර විවෘත කළ බැංකු ගිණුම් භාවිත කර ඇත.

ජාවාරම්කරුවන් විසින් එක් අවස්ථාවකදී මාරවිල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ජෙනරේටරයක් අලෙවි කිරීමට අන්තර් ජාලයේ පළකර තිබූ වෙළෙඳ දැන්වීමක් අනුව ඔහු අමතා පෙර සඳහන් කළ ආකාරයට අදාළ පුද්ගලයාගේ ගිණුමේ තිබී රුපියල් ලක්ෂ 18ක මුදලක් බැංකු ගිණුමකට බැරකරගෙන ඇත.

පැමිණිලි ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අදාළ බැංකු ගිණුම්වලින් ATM කාඩ් භාවිත කර මුදල් ලබාගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන කිහිපයක් විමර්ශන නිලධාරීන් සොයාගනු ලබයි.

මොවුන් මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් භාවිත කළ ජංගම දුරකථන 8ක් පොලිස් භාරයට ගෙන ඇත.

එම දුරකථනවලට මුදල් හුවමාරු කිරීම සඳහා භාවිත කරනු ලබන විශේෂිත ජංගම දුරකථන යෙදවුම් අන්තර්ග්‍රහණය කර ඇතිබවද අනාවරණය වී තිබේ.

වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ මෙම ජාවාරම්කරුවන් විසින් මේ අයුරින් පුද්ගලයින් 80කට ආසන්න පිරිසකගේ ගිණුම්වලින් මුදල් ලබාගෙන ඇති බවය.

අත්අඩංගුවට ගත් පිරිස දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් වන අතර ඔවුන් පරිගණක පිළිබඳ මනා දැනුමක් ඇති පුද්ගලයින් බවද පොලීසිය පවසයි.

Adaderana

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?