Latestදේශීය

රෝහල්වල ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයි, රෝගීන්ගේ ජීවිත බරපතල අනතුරක – ජයන්ත සමරවීර

ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයෙන් රජයේ රෝහල් කරා එන අසරණ රෝගීන් බරපතළ අනතුරුදායක තත්වයකට පත්ව ඇති බවත් අවම තරමින් අඩු ආදායම්ලාභීන්ට හෝ කඩිනමින් සහන සැලසීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් ජානිපෙ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පැවසීය.

රජයේ රෝහල්වල තිබිය යුතු ඖෂධ වර්ග 360න් නිරතුරුවම 200ක් පමණ හිඟ බවත් ඇසෙහි සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා අවශ්‍ය අක්ෂි කාච ආනයනය ඩොලර් හිඟය හේතුවෙන් නතර වී ඇති බවත් එමගින් ශ්‍රී ලංකාව තුළ අන්ධභාවය වැඩිවීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවත් සමරවීර මහතා පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජානිපෙ ජාතික සංවිධායකවරය මෙසේද සඳහන් කළේය.

‘ඖෂධ හිඟය උග්‍රයි!’

“ප්‍රතිකාර ගැනීමට රජයේ රෝහල් වෙත යන ජනතාවගේ ජීවිත අද බලවත් අනතුරකට මුහුණ පා තිබෙනවා. අපේ රටේ රාජ්‍ය රෝහල් පද්ධතියේ සිටින වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, පරිපූරක වෛද්‍ය සේවාවන්හි නිලධාරීන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කැපවීම නොවන්නට මේ තත්ත්වය මීටත් වඩා බරපතළ වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පසුගියදා ප්‍රකාශ කළා, ‘රජයේ රෝහල්වල රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග 360ක් තිබෙනවා. ඉන් 160ක් මේ වන විට රෝගීන් සඳහා ලබා දීමට නොහැකිව තිබෙනවා.’ කියා. මේ අගය දිනපතා වෙනස් වෙනවා. පොදුවේ ගත්තොත් නිරතුරුව ඖෂධ වර්ග 200ක් පමණ රජයේ රෝහල්වල හිඟව තිබෙන අයුරු දැකගත හැකියි. කැතීටර, ආහාර ගැනීම අපහසු රෝගීන් වෙනුවෙන් භාවිතා කරන NG ටියුබ්, රුධිර පාරවිලයනය සිදුකරන වකුගඩු රෝගීන් සඳහා වන අත්‍යවශ්‍ය ඖෂධ නොමැති අතර Full Blood Count( FBC) වාර්තා නිකුත් කිරීම ද නතර කර තිබෙනවා. ඇතැම් රජයේ රෝහල්වල පුළුන් කෑල්ලක්, ගෝස්, බැන්ඩේජ්, ඊසීජී පටි පවා නැහැ. එවැනි රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම මුදලින් අරමුදල් හදාගෙන, පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය මත ඒ අවශ්‍යතා සපුරා ගන්නා තත්ත්වයක් තියෙන්නේ.

‘අක්ෂි රෝහලේ ප්‍රතිකාර බිඳවැටිලා’

කොළඹ අක්ෂි රෝහලේ තත්ත්වය වඩා බරපතලයි. මෙම රෝහල කෙරෙහි විශ්වාසය තබා දිවයිනේ සිව්දෙසින් අසරණ රෝගී ජනතාව පැමිණෙනවා. ඇසෙහි සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය ද එම රෝහලෙහි සිදුකෙරෙනවා. ඊට අවශ්‍ය අක්ෂි කාච ඩොලර් නැතිකම නිසා ආනයනය කිරීම නවතා දමා තිබෙනවා. මෙහි ප්‍රතිඵලය කුමක්ද? ශ්‍රී ලාංකිකයන් අතර අන්ධභාවය වැඩි වීම. ඒ වගේම ඇතැම් අක්ෂි රෝගීන් සිටිනවා, ඔවුන්ට මුළු ජීවිත කාලය පුරා ඇස්වලට බෙහෙත් දැමිය යුතුයි. එවැනි රෝගීන් සඳහා වන ඖෂධ මිල අධිකයි. එම ඖෂධ නොමිලේ ලබා දෙමින් අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව සිදු කරනු ලැබුවේ ද කොළඹ අක්ෂි රෝහලයි දැන් එම ඖෂධ වර්ග ද හිග වී තිබෙනවා. ඒවා රෝගීන්ට පෞද්ගලික මුදලින් ලබා ගැනීමට සිදුව තිබෙනවා. නමුත් රුපියල් පන්දාහක්, දහදාහක් වැයකරලා එවැනි ඖෂධ මිලදී ගැනීමට නොහැකි රෝගීන් එම ඖෂධ භාවිතය අත් හරිනු ලබනවා. එය ද රටේ අන්ධභාවය වැඩි වීමට හේතු වේවි.

‘අය-වැයෙන් ඉලක්කම් විජ්ජා කළාට වැඩක් නැහැ’

මේ අනුව පෙනී යන්නේ රජයේ රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යන අසරණ රෝගීන් බරපතළ අනතුරකට මුහුණපා ඇති බවයි. මේ පිළිබඳව වගේ වගක් නැතුවයි ආණ්ඩුව ඉන්නේ. 2023 අයවැයෙන් සෞඛ්‍ය සේවාව සඳහා යම් මුදලක් වෙන්ව තිබුණත් මේ ප්‍රශ්නෙට ඉන් පිළියම් ලැබේවි, කියා අපි විශ්වාස කරන්නේ නැහැ. 2022 අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කළ මුදල රුපියල් බිලියන 248ක්. 2023 අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 319.99ක්. බැලූබැල්මට 2022ට වඩා 2023 සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන ගණනාවක මුදලක් වැඩිපුර වෙන්ව තිබෙනවා. නමුත් උද්ධමනය හේතුවෙන් 2022 වෙන් කළ රුපියල් බිලියන 248හි මූර්ත වටිනාකම වුණේ රුපියල් බිලියන 172යි. ඒ වගේම ඉදිරි වර්ෂය සඳහා නාමිකව රුපියල් බිලියන 319.99ක් වෙන් කර තිබුණත් අධික උද්ධමනය හමුවේ එහි මූර්ත වටිනාකම වෙන්නේ රුපියල් බිලියන 132යි. ඒ අනුව ඉහත ආකාරයට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 320කට ආසන්න මුදලක් වෙන් කර තිබුණාට ඉන් කළ හැක්කේ රුපියල් බිලියන 132ක වැඩ ප්‍රමාණයක්. ඒ අනුව ඉදිරි වර්ෂයේ සෞඛ්‍ය සේවය සඳහා වෙන්ව ඇති මුදල, මේ වසරේදී ඉටුකළ සේවාවවත් ඉටු කරන්න ප්‍රමාණවත් නැහැ, කියා පැහැදිලියි. ඉදිරි වර්ෂයේදී රාජ්‍ය රෝහල් පද්ධතිය තවදුරටත් බිඳ වැටේවි; ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය තවදුරටත් උග්‍ර වේවි.

අය-වැයෙන් ඉලක්කම් විජ්ජා කළාට වැඩක් නැහැ. අක්ෂි රෝගීන් ඇතුළු අනෙකුත් රෝගීන්ට ඉදිරි වර්ෂයේදී මීටත් වඩා ඖෂධ හා වෛද්‍ය උපකරණ හිගයෙන් පෙළෙන රෝහල් වෙත යාමටයි මේ පාලකයන් පාර කපා ඇත්තේ. නමුත් ඇමති මණ්ඩලය සහ රාජ්‍ය ඇමති නඩය පැටව් ගහනවා. ඔවුන්ගේ වරප්‍රසාද කප්පාදුවට කටයුතු කර නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට බලකර කියා සිටිනවා, ‘වහාම අවම තරමින් අඩු ආදායම්ලාභී රෝගීන්ට හෝ රජයේ ප්‍රතිපාදන යොදා අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ සැපයීමට පියවර ගන්න’ කියා.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?