Latestදේශීය

සහල් බෙදා දීම දේශපාලනයෙන් තොරව කළ යුතුයි – මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය

ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සහල් බෙදාදීම දේශපාලනයෙන් තොරව ඉටු කරන්න – ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්,

පසුගියදා පැවති අවසන් කැබිනට් මණ්ඩල තීරණයන්ට අනුව(16 වනදා) අඩු ආදායම්ලාභී පවුල් මිලියන දෙකකට එක පවුලක් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක කාලයකට ලබා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

ජනතාව ඉතාමත් අසරණ භාවයෙන් පෙළෙන මෙම යුගයේ සහල් බෙදාදීම කාලීන වැඩපිළිවෙළක් ලෙස අප සලකනු ලැබුවත් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කොට ඇති මෙම සමයේ කිසිම අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් ප්‍රවර්ධනය නොවන ආකාරයට, පළාත් පාලන ඡන්ද විමසීමේ පනත උල්ලංඝනය නොවන ආකාරයට, මෙම සහන සැපයීම සිදු කළ යුතු බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ලෙස අප අවධාරණය කර සිටිමු.

එමෙන්ම දේශපාලනයේ නිරත ක්ෂේත්‍ර නිලධාරීන් හරහා මෙම සහනාධාරය සහ කැබිනට් මණ්ඩලය විසින් වසරේ මුල් මාස හතර සඳහා අඩු ආදායම්ලාභීන්ට ලබාදීමට යෝජිත මුදල් ආධාරය ලබා දීමට කටයුතු කළ හොත් එය මැතිවරණයට තරග කරන අනෙකුත් දේශපාලන පක්ෂවලට අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය කරනු ඇත.

මැතිවරණ වියදම් සීමා පනත හෙට දිනයේ කඩිමුඩියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී අද තීරණය කොට ඇත. නීති කෙටුම්පත් අංශයෙන් මුලින් ඉදිරිපත් කරන ලද කෙටුම්පතේ තිබූ දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් විගණනය කළ හැකි වෙනම ගිණුමක් මැතිවරණ කටයුතු සඳහා භාවිතා කිරීම පිළිබඳ වන වගන්ති නැවතත් හෙට දිනයේ අනුමත කිරීමට හැකිවේ නම් වඩාත් සාධනීය වියදම් සීමා පනතක් සම්මත වනු ඇත.

කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවා තිබෙන මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සම්මත වන මැතිවරණ සීමා වියදම් පනත ක්‍රියාත්මක වන දිනය කිසිසේත් වර්තමාන පළාත් පාලන මැතිවරණය මැතිවරණය පැවත්වීම ප්‍රමාද කිරීමට හේතුවක් නොවිය යුතුය යන්නත් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මතයයි.

නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
ජාතික සංවිධායක
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?