Latestදේශීයමතවාද

වීරයෙක් ලෙස සදා රැඳෙන්නට සිටි මිනිසෙක් “පකයෙක්” වී අවසන් වීම.

(සනත් බාලසූරිය)

පළමු කොටම, දැන් ආමන්ත්‍රණවලින් නිල වශයෙන් වාසුදේව ඇමති තුමාට, අපනාමයකින්, රාජපක්ෂ ගැති වාසුදේව ඇවිදින මළකඳට, පරණ අපට සුපුරුදු ඇමැතුමෙන්, දැන් ජීවතුන් අතර නැති වාසු සහෝදරයාට චාරිත්‍රමය වශයෙන් ඉක්මන් සුව පතමි‍.

වාසුදේව යනු මගේ පරම්පරාව දක්වාම, වෙනස් ලෙස සිතූ පැතූ තාරුණ්‍යයට එක්තරා අවදියක දී ආස්වාදයක් වූ චරිතයකි.

ඔහුගේ සටන්කාමීත්වය, එඩිතරකම, චතුර කතිකත්වය මෙන්ම කඩවසම් ‘වාම’ පෙනුම ද කලෙක අප ආකර්ෂණය කළේ ය. (අපෙන් පසු පරම්පරාවන්ට නම් එහෙම ‘ආස්වාද’ – ‘ආකර්ෂණ’ කවුරුන් ගැන හෝ තිබුණාදැයි මම නොදනිමි‍.)

එහෙත් අපේ තාරුණ්‍යයේදී අපට පෞද්ගලිකව දැන හඳුනාගන්නට ලැබුණු ‘වාසු සහෝදරයාගේ’ ආස්වාදනීය, ආකර්ශණීය, වසඟකර ස්වභාවය අප බලාසිටියදී ම කෙමෙන් මළකන්නට පටන්ගත්තේ ය.‍

මා ඔහු පෞද්ගලිකව හඳුනාගත්තේ පත්තරකාරයකු ලෙස මගේ රාජකාරි දිවියේදී ය. එහෙත් එවක සිටි බොහෝ ප්‍රමුඛ පෙළේ දේශපාලකයන් දැනහඳුනාගෙන සිටියාක් මෙන්ම මට ‘වාසු සහෝදරයා’ සමග ද තිබුණේ ‘යාළුමිත්‍රකමක්’ නොව ‘දැනඇඳුණුම්කමක්’ පමණෙකි. ජනමාධ්‍යවේදියෙක් සිය වෘත්තියේ දී ලැදියාවන් අතර ගැටුම් ඇතිවීමට හා මාධ්‍ය වෘත්තිය සමග මතභේද ඇතිවීමට ඉඩඇති ක්ෂේත්‍රයන්හි පුද්ගලයන් සමග මාධ්‍යවේදීකම ඔස්සේ ගොඩනැඟෙන සබඳතා යාළු මිත්‍රකම් දක්වා ගෙනයාම නොකළ යුත්තක්ය යන්න, තරුණ වයසේ පටන් ඇදහූ අපි, කිසිදු දේශපාලකයෙක් සමග ද පත්තරකාර කම නිසා ඇතිකරගත් දැන ඇඳුණුම්කම් එතැනින් එපිටට යන්නට ඉඩ නොදීමේ සික්ෂාපදයක් බොහෝකොට රැක්කෙමු.

මගේ ඒ ප්‍රතිපත්තිය වාසු සහෝදරයා සම්බන්ධයෙන් ද එසේ ම විය. එබැවින් ‘වාසු සහෝදරයා’ කියා ඇමතුවත්, ඔහු කවදාවත් මගේ මිතුරෙක් වුණේ නැත.

එසේම ඔහු අපේ තාරුණ්‍යයට යම් ‘රැඩිකල්’ ආස්වාදයක් සෑපයූ බවද මම ඔහුට කිසිදා කියා නැත්තෙමි.

ඉතින්, ඒ ආස්වාදනීය, ආකර්ෂණීය වාසු සහෝදරයා ජීවත්ව සිටියදීම කෙමෙන් මළකමින්, කුණුවෙමින් සිට 2005න් පසු මුළුමනින් කුණපයක් වී ගියේ ය. දැන් වාසු සහෝදරයෙක් නැත. ඉන්නේ තමන්ගේම අතීතය අමු අමුවේ පාවාදුන්, තමන්ගේම අතීතයට නිගාදෙන, තමන්ගේම අතීතයට අවතාරයකට මෙන් බියවන ජාතිවාදී-වර්ගවාදී මඩ ගොහොරුවේ කරවටක් එරුණු ඇවිදින මළමිනියකි.

යම් හෙයකින් අඩුම තරමේ අර ‘මළකමින්, කුණුවෙමින්’ ආ මුල් යුගයේ හෝ ඔහු කරලියෙන් බැස ගියේ නම් වාසු සහෝදරයා යන නාමයට ‘වීරත්වයක්’ සහිතව කලක් රැඳෙන්ට හැකිවන්නට තිබිණි.

එහෙත් වාසුගේ නොව ඔහුගෙන් ආස්වාදය ලැබූ ඔහුගේ පසු පරම්පරාවන්ගේ අවාසනාවට ඔහු අදටත් ඇවිදින මළකඳක් වී රාජපක්ෂලාගේ පතුල් ලෙවකමින් ඇවිදියි.

ඒ කොහොම වෙතත්, මේ ජරාජීර්ණ කාලකණ්ණි අවදියේදීත් ‘වාසු සහෝදරයා’ කළ ‘උත්ප්‍රාසාත්මකව විප්ලවීය කාරණා’ දෙකක් වෙයි.

ඉන් පළමුවැන්න ‘පකයා’ යන වචනය සභාවක් ඉදිරියේ භාවිතා කළහැකි වචනයක් බවට පත්කිරීම ය.

මා ඒ වචනය ලියැවිල්ලක යොදන්නේ මේ පළමු වතාවට ය. ඒ හැකියාව මට ලබාදුන්නේ අද ‘පකයා’ නමින්ම ඇමතුම් ලබන ‘වාසුදේව පකයා’ විසිනි.‍

දෙවැනි ‘උත්ප්‍රාසාත්මකව විප්ලවීය කාරණය’ නම් තමන් විසින් වෙනකකුට අපහාසයට යොදාගත් පදයක් මෑත ඉතිහාසයේ ඉතාම පුළුල්ව එය භාවිත කළ පුද්ගලයා ම හැඳින්වීමට පාවිච්චි කළ හැකි තත්ත්වයට පත්කරදීම යි.

වාසුදේව ‘පකයා’ යන්න භාවිතා කළේ පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ හැඳින්වීමට ය.

එහෙත් පකයා නමින් රනිල් වික්‍රමසිංහ හඳුන්වන කෙනෙක් අද නැති තරම් ය.

‍ඒ වෙනුවට ඒ ආමන්ත්‍රණය ආපිට කැරකී ඇවිත් අද වාසුදේව හැඳින්වීමට ම පුළුල් ලෙස භාවිතා වේ. ‍

කෙබඳු නම් වූ උත්ප්‍රාසයක්ද?

කෙතරම් උත්ප්‍රාසාත්මක වුවත් මේවා ‘විප්ලවීය වැඩ’ ලෙස ය, මට පෙනෙන්න‍ේ.

ඒ අවසන් විප්ලවීය කාරණා ද දැන හෝ නොදැන ඉටුකළ, කලෙක වීරයෙක් ලෙස රැඳෙන්නට ඉඩ තිබූ වාසුදේව අද පකයෙක් වී අවසන්වන ගමනක යෙදී සිටී‍.

ඇතැම් මිනිසුන් බෙහෙවින්ම වියපත්ව ඉතා අබලදුබලව, ගිලානව සිටියදී වෙන්වී ගියද, අපට සිතෙන්නේ ඒ මිනිසා තවත් ටික කාලයක් දරකොටයක් ලෙස හෝ හුස්මගනිමින් හිටියානම් කොච්චර හොඳද කියා ය.

එහෙත් වාසු පකයා වැන්නන් ගැන හිතෙන්නේ ‘මේ මිනිහා පණපිටින් කුණුවී යන්නට මෙච්චර කල් මොකට ජීවත් වුණාද?’ කියා ය.

රාජපක්ෂලාට හසුවන වීරයන්, පකයන් වන්නේ මේ අයුරිනි!

ඒ අතින් ගත්කල, වීරයන් පකයන් කිරීමේ මෑතකාලීන දැවැන්තම ෆැක්ටරිය ඉදිකර ඇත්තේ රාජපක්ෂ කොම්පැනිය නොවන්නේද?

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?