Latestදේශීය

ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් මුදල් රටේ අසරණ ජනතාවට බෙදාදීමට තිබුණු ඒවා: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලීසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදල සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

එම මුදල් තමාගේ බවත් ඒවා රටේ අසරණ ජනතාවට බෙදාදීමට සූදානම් කර තිබූ මුදල් බවටත් හිටපු ජනාධිපතිවරයා ලබාදුන් ප්‍රකාශය මගින් අනාවරණය කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, ඊයේ(08) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට පවසා ඇත.

එබැවින් අධිකරණය භාරයේ ඇති එම මුදල් හිටපු ජනාධිපතිවරයා වෙත භාරදීමට නියෝගය කරන්නැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිගුප්ත සේනාධීර මහතා අධිකරණයෙන් ඉල්ලීකක් කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා ලබාදුන් ප්‍රකාශය අනුව එම මුදල් ඔහු විසින් උපයාගත් ආකාරය හෝ ඔහුට එම මුදල් ලැබුණු  ආකාරය පිළිබඳව කිසිවක් ඔහු ලබාදුන් ප්‍රකාශය මගින් අනාවරණය නොමැති නිසා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හෝ අල්ලස් පනත යටතේ විධිමත් විමර්ශනයක් සිදුනොකර ඔහුට එම මුදල් යළි ලබාදෙන ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන්, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ දැඩි විරෝධය පළ කර ඇත.

එසේම අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ හිටපු ජනාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටිමින් මුදල් ලැබුණු ආකාරය හෙළි නොකර ඇති අවස්ථාවකදී එම මුදල් ඔහුට භාරදීමට නියෝගයක් සිදුනොකරන ලෙසයි.

අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් පැවසූ පරිදි හිටපු ජනපතිවරයාට එම මුදල ලැබුණු ආකාරය ඔහු හෙළි කර නොමැති නම් ඒ පිළිබඳව සොයා බැලීමක් කළ යුතුව ඇතැයි මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විවෘත අධිකරණය හමුවේ පවසාඇත.

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් ලබාදී එම මුදල් ටිරාන් අලස් මහතාට භාරදෙන ලෙසට නියෝග කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කැඳවූ දුරකථන විශ්ලේෂණ වාර්තාවද  ඊයේ මොබිටෙල් ආයතනය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

එම විශ්ලේෂණ වාර්තා මගින් ,බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එදින කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවටද  අනාවරණය කරගෙන ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?