Latestදේශීය

රනිල් කුජීත වෙලා ඉන්නේ – ජයන්ත සමරවීර

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තම මාමා වූ ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ගිය පාරේම යමින් ලංකාවේ මැතිවරණ සිතියම හැකිළීම අරඹා ඇති බවත් ඊට ඔහුට ජනාධිපති පුටුවට පැමිණීමට පාර කැපූ ඊනියා ගෝල්ෆේස් අරගලකරුවන්, බටහිර තානාපති කාර්යාලවල ලගින දේශපාලන පක්ෂ මෙන්ම ඔහු අනුප්‍රාප්තික ජනාධිපති කිරීමට ඡන්දය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 134 දෙනා දැඩි ලෙස වගකිව යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අවධාරණය කරයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජානිපෙ ජාතික සංවිධායකවරයා මෙසේද සඳහන් කළේය.

“මේ වන විට අලි – පොහොට්ටු ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට, නහුතයක් උප්පරවැට්ටි දමමින්, දීන, තුච්ඡ ප්‍රයත්නයක නිරතව සිටිනවා. එම ජනතා ද්‍රෝහී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රයත්නය ජාතික නිදහස් පෙරමුණ ලෙස අප දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ මීට වසරකට පෙරයි. පළාත් පාලන ඇමතිවරයාට තිබෙන බලතල පාවිච්චි කරලා පොහොට්ටු ආණ්ඩුව ඒක කල් දමාගත්තා. එම මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය විසිඑක් වැනිදා නිකුත් කළත් ඉන් පසුව සිදු වන්නේ අලි – පොහොට්ටු ආණ්ඩුවේ උප්පරවැට්ටි මත මැතිවරණය කල් දමා ගැනීමයි.

මැතිවරණ සිතියම හැකිළීමේ පාඩම යළිත්

මේ මැතිවරණය පැවැත්වුවහොත් අලි – පොහොට්ටු ආණ්ඩුව කූජිත වෙනවා, කියා ඔවුන් දන්නවා. පළාත් පාලන ආයතන 340න් කිසිවක බලය ඔවුන්ට නොලැබෙන බවත් ඔවුන් දන්නවා. ‘ඡන්දය දිනීම’ කෙසේ වෙතත් අද අලි – පොහොට්ටු හවුලේ නියෝජිතයකුට ජනතාව ඉදිරියට යන්නවත් බැහැ. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට නම් අද අවශ්‍ය වෙලා තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය වෙනුවට ජනාධිපතිවරණයක්. එයාගෙ පරදේශක්කාර හාම්පුතාලා පවරා ඇති වගකීම ඉටු කරන්න ජනාධිපතිවරණයක් අවශ්‍ය වුණාට පළාත් පාලන මැතිවරණයක් අවශ්‍ය නැහැ. ඒ නිසා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා සූදානම් වන්නේ තමන්ගේ මාමා මීට ඉහතදී රටට කියා දුන් ‘මැතිවරණ සිතියම හැකිළීමේ පාඩම’ කියා දෙන්නයි.

බෙදුම්වාදී බලවේගවල විශ්වාසය

මේ තමයි මැතිවරණ සිතියම හැකිළීමේ ආරම්භය. මේ විදිහට ඉදිරියට යන රනිල් වික්‍රමසිංහ මහත්තයා වචන වෙනස් විදියට පාවිච්චි කරමින්, තෛපොංගල් දිනයේදීත් නිදහස් දිනයේදීත් රාජාසන කතාවේදීත් එකම දේ කිව්වා. ඒ තමයි තමන්ගේ පරදේශක්කාර හාම්පුතාලා එයාට පවරාදී ඇති ‘දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරනවා’ යන්න. එක පැත්තකින් එහෙම ඉදිරියට යන ගමන් අනිත් පැත්තෙන් මේ රටේ ආර්ථික මර්මස්ථාන තමන්ගේ පරදේශක්කාර හාම්පුතාලාට පවරා දෙන්නත් ඔහු කටයුතු කරනවා. අවසානයේදී මේ රට පරදේශක්කාර බලවේගවල දඩබිමක් බවට පත් කිරීම ඔහුගේ අරමුණයි. මේ න්‍යාය පත්‍රයේ තිබෙන ජනාධිපතිවරණයට පෙර කළ යුතු දේවල් තමයි ඔහු දැන් ඉටු කරමින් ඉන්නේ. පළමු අදියර ලෙස ඒ දේවල් කළාම ඔහුට බෙදුම්වාදී බලවේගවල විශ්වාසය හිමිවෙනවා. දෙවන අදියර ලෙස ජනාධිපතිවරණයෙන් පස්සේ උතුරට වෙනම පාලන ඒකකයක් දීලා දානවා. මේ අදියර දෙක ක්‍රියාත්මක කිරීමයි වික්‍රමසිංහ මහතාගේ ගමන තුළ ඇත්තේ.

“වගකිවයුත්තෝ” මෙන්න

මැතිවරණ සිතියම හැකිළීම ඇතුළු රනිල් වික්‍රමසිංහගේ මේ ජනතා ද්‍රෝහී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයට වගකිව යුත්තේ කවුද? ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහ දෙමළ ඩයස්පෝරාවේ ඩොලර්වලින් ඊනියා ගෝල්ෆේස් අරගලයක් හදලා, රනිල් වික්‍රමසිංහට ජනාධිපති පුටුවට යන්න පාර කපපු ඊනියා අරගලකරුවෝ, බටහිර තානාපති කාර්යාලවල ලැගගෙන සිටින දේශපාලන තැරැව්කරුවෝ වගේම රනිල් වික්‍රමසිංහව ජනාධිපති පුටුවට වඩම්මවා ගෙන ආපු පොහොට්ටුවේ මන්ත්‍රී ගොබිලො,134 දෙනා තමයි මීට වගකිව යුත්තේ.

මර්දන අවිය අතට…

දැන් මැතිවරණ සිතියම හකුළමින්, ජනතා ද්‍රෝහී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් යන රනිල් වික්‍රමසිංහ සැරසෙන්නේ මර්දන අවියත් අතට ගන්න. ඒ මර්දන අවියෙන් රටම ලේ විලක් වීමේ අවදානම තිබෙනවා. එවැනි අවදානමකටයි මේ ඊනියා ගෝල්ෆේස් අරගලකරුවන්, බටහිර තානාපති කාර්යාලවල ලැගගෙන ඉන්න දේශපාලන පක්ෂ හා රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට වඩම්මාපු පොහොට්ටු මන්ත්‍රීවරු 134දෙනා මේ රට ඇද දැමුවේ.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමෙන් එම මැතිවරණයේ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වෙලා සිටින රජයේ සේවකයන් මෙන්ම මුළු රටම පත් පත්වන අවිනිශ්චිතතාව නැති කරන්න ආණ්ඩුව නිසි පරිදි මැතිවරණය පැවැත්විය යුතුයි. මේ මැතිවරණ සිතියම හැකිළීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයට එරෙහිව මතවාදී වෙනස්කම් අතහැර සියලු විපක්ෂයේ දේශපාලන පක්ෂවලට එකතු විය හැකියි ඒ සඳහා එක පෙරමුණකට එන ලෙස අපි සියලු විපක්ෂයේ දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලා සිටිනවා”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?