Latestදේශීය

පුරන් කුඹුරු ඉදිරි මහ කන්නයේ දී යළි අස්වැද්දීමට සූදානම්

මෙරට පුරන් කුඹුරු අක්කර 12,500ක් ඉදිරි මහ කන්නයේ දී යළි අස්වැද්දීමට රුපියල් මිලියන 430ක් වෙන් කර තිබේ.මේ වනවිට නැවත වගා කළ හැකි , අවුරුදු 05කට ආසන්න කාලයක් වගා නොකර අත්හැර දමා ඇති පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 47,000කි.තවත් අක්කර 50,000ක් පමණ පුරන් කුඹුරු තත්ත්වයට පත්ව ඇතත් ඒවා නැවත වගාව සඳහා යොදා ගැනීමට නොහැකි වේ.කෘෂිකර්ම අමාත්‍යාංශය යළි වගා කළ හැකි පුරන් කුඹුරු නැවත අස්වැද්දීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මෙරට පුරන් කුඹුරු යළි වගා කිරීමට යොදා ගැනීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව 2023 වසර සඳහා රුපියල් මිලියන 430ක් වෙන් කර තිබේ.මෙම මුදල යොදා ගනිමින් 2023 වසරේ මහ කන්නයේ දී පුරන් කුඹුරු අක්කර 12,500ක් යළි වගා කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.


එමෙන්ම වසරින් වසර රජයේ මුදල් යොදා ගනිමින් පුරන් කුඹුරු බවට පත්ව ඇති අක්කර 47,000ම යළි වගා කිරීම ඉලක්කය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.දැනට වගා කළ හැකි එහෙත් වගා නොකර අත්හැර දමන ලද පුරන් කුඹුරු වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේ දක්නට ලැබේ.මෙසේ වගා නොකර අත්හැර දමා ඇති පුරන් කුඹුරු වගා කිරීමේ කටයුතු රැකියා විරහිත තරුණ ප්‍රජාවට පැවරීමටත්, ඔවුන්ට තමන් කැමැති සුදුසු බෝගයක් වගා කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය, මුල්‍ය ප්‍රතිපාදන හා වගාවට අවශ්‍ය බීජ හා අනෙකුත් යෙදවුම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නොමිලයේ සපයනු ලබයි.


එමෙන්ම මෙම රුපියල් මිලියන 430ක මුදල යොදා ගනිමින් එම කුඹුරුවල අබලන්ව ඇති ඇළවේළි ප්‍රතිසංස්කරණය කිරීම, අමුණු සකස් කිරීම වැනි කටයුතු සඳහා ද යොදවන ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?