Latestදේශීයවිශේෂාංග

චාරිකාවක අරුත

(පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි)

විස්තර ඇතුව යමක් ලියන්න හිතපු නිසා මුකුත්ම ලියන්න බැරි වුණා. ඒ නිසා ඒ ඒ දවසේ සිදුවෙන දේ කෙටියෙන් හෝ ලියා තබන්නට තීරණය කළා. මාර්තු 7 වැනිදා කැන්බරා ඉඳලා සිඩ්නි බලා පිටත් වුණා. කිලෝමීටර් 290ක් පමණ ඒ ගමන සිදුකළේ ගොඩබිම් මාර්ගය ඔස්සේ. එහෙම එන අතර, අතරමග Bandanoon හි පිහිටි වනගත භික්ෂුණී ආරාමය වන Santi Forest Monastery ගොඩ වෙන්නටත් දිවා ආහාරය එහිදී ලබා ගන්නටත් කටයුතු කළා.

වනගත පෙදෙසක තිබුණු එම භික්ෂුණි ආරාමයෙහි ලාංකේය, ඕලන්ද සහ චීන ජාතික වශයෙන් භික්ෂුණින් වහන්සේලා තිදෙනෙකු වාසය කළා.

මාර්තු 8 වැනි දින උදේ වරුව ගත උනේ Ruth හමුවෙන්න යන්න. ලංකාවෙන් බිහිවූ විශිෂ්ට සමාජ විද්‍යාඥයෙකු වූ කිත්සිරි මළල්ගොඩ මහතා පේරාදෙණි විශ්ව විද්‍යාලයේ කාලයක් සේවය කිරීමෙන් පසුව නවසීලන්තයේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනවා. යටත් විජිත යුගයේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ආයතන වල වර්ධනය, එතුමා විසින් කරන ලද පර්යේෂණ අමතක කර දමා කාටවත් සාකච්ඡා කරන්න බැහැ. එතුමා අවසානයේ මිය යන්නේ නවසීලන්තයේ දී. මහාචාර්ය කිත්සිරි මලල්ගොඩ ගේ පවුලේ අයගේ ද උදව් ඇතිව එතුමා භාවිතා කරන ලද පොත්පත්වලින් විශාල ප්‍රමාණයක් වල්පොළ රාහුල ආයතනය වෙත එවීමට කටයුතු කරන්නේ Ruth. ( එම පොත් ඉදිරියේදී කිත්සිරි මළල්ගොඩ එකතුව නමින් වල්පොල රාහුල ආයතනයෙ පුස්තකාලයෙන් ඔබට පරිහරණය කළ හැකියි).

Ruth හමුවී එම පොත් අපට එවීමට කටයුතු කිරීම පිළිබඳව ඇයට ස්තූති කරනු ලැබුවා.

8 වැනි දින හවස් වරුව ගත වුණේ සිඩ්නි නගරයේ Metta Center නම් ආයතනයේ පැවති සාකච්ඡාවට සහභාගි වෙමින්. වියට්නාම් ජාතික පිරිසක් විසින් පවත්වාගෙන යන මෙම ආයතනයෙහි විවිධ බෞද්ධ ආගමික සම්ප්‍රදායට අයිති වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මවිසින් පවත්වන ලද කතාවට සවන් දීමට පැමිණ සිටි අය අතර කාලෙකින් හමු වෙන්නට බැරිවුණු ලාංකික මිත්‍රයන් කිහිප දෙනෙකු ද පැමිණ සිටියා.

මාර්තු 9 වැනි දින උදේ වරුව ගත උනේ western sydney විශ්විද්‍යාලයේ. Thirukkural Conference නමින් හැඳින්වෙන වසර දෙකකට වරක් පැවැත්වෙන සම්න්ත්‍රණයේ දී මම ද කතාවක් පවත්වනු ලැබුවා. මෙම වැඩසටහනට සහභාගි වීම ගැන මම වඩාත් සතුටු වන්නේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත, දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන දෙමළ ජනයා හමුවෙන්නට අවස්ථාව ලැබුන නිසයි. මාර්තු 9 වැනි දින දිවා ආහාරයද ගන්නා ලද්දේ ශ්‍රීස් පොන්නම් පිල්ලෙයි මහත්මිය සහ අනෙකුත් හමුවූ පිරිස සමග.

මාර්තු 9 වැනි දින හවස්වරුවේ Sydney විශ්වවිද්‍යාලයෙහි Asia Studies Center මගින් සංවිධානය කරන ලද ‘Buddhist theory of Conditional Genesis and Social Healing approach towards Post Conflict Reconciliation’ මතෘකාව යටතේ වූ කතාවක් පවත්වනු ලැබුවා. එයට එතැනට පැමිණ සහභාගි වූ පිරිසට අමතරව ලෝකයේ නොයෙක් තැන්වල සිට තවත් සැලකිය යුතු පිරිසක් සහභාගි වුණා. මගේ කතාවෙන් පසුව පැවති සාකච්ඡාව සහ ඒ සහභාගි වූ පිරිස දැක් වූ අදහස් ඉතාම ප්‍රයෝජනවත්.

මෙය හුදෙක් සිද්ධි වාර්තා කිරීමක් පමණයි. මේ එක එක හමුවක් දීර්ග වශයෙන් සාකච්ඡා කළයුතු අත්දැකීම් විශාල ප්‍රමානයක් ලබා දුන්නා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?