Latestදේශීය

කිතුල් සංචාරක සත්කාරක ගම්මාන ව්‍යාපෘතිය

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ කිතුල් සංවර්ධන මණ්ඩලය විසින් රුහුණු සංචාරක කාර්යංශය , නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සිංහරාජ සුමිතුරෝ ස්වෙච්ඡා සංවිධානය එක්කොට ගෙන ආරම්භ කරන ලද ‘ කිතුල් සංචාරක සත්කාරක ගම්මාන ‘ වැඩසටහනේ ලංකාගම මුල්කොටගත් ව්‍යාපෘතිය නිරීක්ෂණයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා (11) එක් විණි.

කැරියෝටා යුරේනස් ( Caryota urens) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන කිතුල් ශාකය මුල්කොට ගෙන ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික කිතුල් කර්මාන්තයේ ප්‍රමුඛතම ගම්මානයක් වන ලංකාගම ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව පිහිටා ඇති නිසා මෙම ‘ කිතුල් සංචාරක සත්කාරක ගම්මාන’ ක්‍රියාත්මක කිරීමේදී එහි සාර්ථකත්වය උදෙසා වැඩි විභවයක් සහිතවේ.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී දැනට පවතින ප්‍රගතිය සමාලෝචනයට ලක්කිරීම මෙන්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ගම්වාසීන්ට මතුවූ ගැටළු සහ අභියෝග පිළිබඳවද, ඒවා ජයගත හැකි ආකාරය පිළිබඳවද පුළුල්ව සාකච්ඡා කෙරිණි. මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදනයන්හි ස්වාභාවිකත්වය ආරක්ෂා කරගනිමින් ඒවා වානිජමය වශයෙන් සංචාරකයන් හට ප්‍රවර්ධනය සිදුකරන ආකාරය පිළිබඳවයි. මේවනවිට දියවැඩියාව ඇතුළු රෝග ගණනාවකට ගුණදායි ආහාරයන් ලෙසින් ලෝකය තුළ කිතුල් පැණි , කිතුල් හකුරු හදුනාගෙන තිබෙයි. එම කිතුල් පැණි , කිතුල් හකුරු වලට අමතරව කිතුල් පිටි කැද , කිතුල් පිටි තලප , කිතුල් පිටි දොදොල් , කිතුල් පිටි වෙල්ලවැහුම් , කිතුල් පිටි වණ්ඩු ආප්ප ආදි ආහාර වර්ග රැසක්ම කිතුල් ආශ්‍රිතව නිෂ්පාදනය කිරීමටද හැකිවෙයි.

එමෙන්ම මෙහිදී යුරෝපීය සංචාරකයන් දැඩි කැමැත්තක් දක්වන ස්වාභාවික පරිසරය මුල්කොටගත් ‘ මානසික සුවතා ‘ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවන් පිළිබඳවද විමසා බැලිණි. මෙම ව්‍යාපෘතිය හරහා අපට අපගේ ස්වභාවික සම්පත් මුල්කොට ගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයටත් , කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයටත් අවස්ථාව උදාවේ. ඒ ඔස්සේ ලංකාගම ආශ්‍රිත ග්‍රාමීය ආර්ථිකය වැඩි වර්ධනය වනවාසේම අවසානයේ එය රටේ ආර්ථිකය ප්‍රවර්ධනයටත් හේතුවේ.

මෙම අවස්ථාවට ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල, මහාචාර්ය සුනිල් කාරියකරවන,කිතුල් සංවර්ධන මණ්ඩලයේ සභාපති නීතිඥ ගිහාන් පෙරේරා ,රුහුණු සංචාරක මණ්ඩලයේ සභාපති චන්න සාලිය,නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් ,වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ හා කර්මාන්ත අමාත්‍යංශයේ නිළධාරින්, සිංහරාජ සුමිතුරෝ සමාජිකයන් , ගම්වාසීන් ඇතුළු රැසක් එක්ව සිටියහ.

@Media Unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?