Latestදේශීය

මහ මුහුද සුරක්ෂිත කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගිවිසුමට ශ්‍රී ලංකාවේ පැසසුම

සාගරය තිරසාර ලෙස භාවිත කිරීම, එය පාලනය කිරීම සහ මානව වර්ගයාගේ පොදු උරුමයක් වන එහි ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා කැපවී සිටින දිවයිනක් වන ශ්‍රී ලංකාව, මහ මුහුදේ සාගර ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම හා සබැඳි ජාත්‍යන්තර නෛතික යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම සඳහා වූ සුවිශේෂී ගිවිසුමකට අදාළව නිමාවට පත් වූ සාකච්ඡා සිය පැසසුමට ලක් කළේ ය. 2023 මාර්තු 4 වැනි දින නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී අවසන් කරන ලද මෙම ගිවිසුම තුළින්, ජාතික අධිකරණ බල සීමාවෙන් ඔබ්බට පිහිටි ප්‍රදේශවල ඇති සාගරයෙන් තුනෙන් දෙකක් ආවරණය කෙරේ. තවද, සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ (MPAs), පාරිසරික බලපෑම් තක්සේරුව (EIA) පිහිටුවීම සඳහා රාමුවක් සපයන මෙම ගිවිසුම, මහ මුහුද සතු සමුද්‍රීය ජානමය සම්පත් ද බෙදා හදා ගනී.

සංවර්ධනය වෙමින් පවතින රටවලට සිය සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා සහය වන ධාරිතා වර්ධන ව්‍යාපෘතිවලට අරමුදල් සැපයීම සඳහා සංවර්ධිත රටවල් BBNJ ගිවිසුම යටතේ විදහා දැක්වූ කැපවීම ශ්‍රී ලංකාවේ පැසසුමට ලක් වේ. මෙම ගිවිසුම හරහා සමාන වූත් සාධාරණ වූත් අයුරින් ප්‍රතිලාභ ලබාගැනීමට නම්, අයිතිවාසිකම් සහ වගකීම් අර්ථවත් ලෙස ඉටු කිරීම සඳහා ධාරිතාව ගොඩනැගීම සහ තාක්ෂණය හුවමාරු කිරීම මෙන්ම දැනුම බෙදාගැනීම සහ සහයෝගීතාව වර්ධනය කිරීම යනාදිය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට අවශ්‍ය වේ. මෙම කරුණු ඉහත සාකච්ඡා අතරතුර සාකච්ඡාවට බඳුන් කිරීමට කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ අරමුණ විය.

මහ මුහුදේ සමුද්‍ර ජීවීන් සහ ජාතික අධිකරණ බල සීමාව සතු ප්‍රදේශවලින් ඔබ්බට සහ ආර්ථික කටයුතුවලින් ඔබ්බට පිහිටි සමුද්‍ර ජෛව විවිධත්වය අතර පවතින අන්තර් ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් BBNJ ගිවිසුම ක්‍රියාත්මක කිරීම හරහා, ශ්‍රී ලංකාවේ ජාතික අධිකරණ බල සීමාවෙන් ඔබ්බට පිහිටි සමුද්‍ර ජෛව විවිධත්ව ප්‍රදේශ තිරසාර ලෙස භාවිතා කිරීම සඳහා දායකත්වයක් ලැබෙන අතර, මුහුදු මට්ටම ඉහළ යාම, සාගර දූෂණය සහ සාගර සම්පත් අධික ලෙස සූරාකෑම හරහා සාගරයට සිදුවන අහිතකර බලපෑම් ද අවම කෙරේ.

කලාපයට අදාළ ගැටළු සම්බන්ධයෙන් කලාපීය සංවාදයක් පැවැත්වීම මගින් සාගර පාලනය සඳහා වන කැපවීම ශ්‍රී ලංකාව විදහා දක්වා ඇත. ශ්‍රී ලංකාව 2027 වසර දක්වා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතර, 2021-2023 යන වසරවල ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ උප සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරයි. තවද, මෙම වසරේ දී ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සභාපතිත්වය භාරගැනීමට ද නියමිත ය. 2021 වසරේ පැවති UNFCCC COP26 සමුළුව අතරතුර ප්‍රකාශ කළ පරිදි, ශ්‍රී ලංකාව සිය සමුද්‍ර සංචිතවලින් අවම වශයෙන් 30%ක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා දැනටමත් කැපවී ඇත.

BBNJ යනු එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) යටතේ වන තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයකි. ශ්‍රී ලංකාව එතුළ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කර ඇත. BBNJ ගිවිසුම විධිමත් ලෙස සම්මත කිරීම, අපරානුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීම හරහා ගෝලීය වශයෙන් පොදු වන කටයුතුවල කොටසක් ලෙස වර්තමාන සහ අනාගත පරම්පරාවේ ප්‍රයෝජනය සඳහා සාගරය සුරක්ෂිත කෙරෙනු ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?