Latestදේශීය

දිගටම මන්ත්‍රිවරු ලෙස කටයුතු කරගෙන යන්න – බැසිල් රාජපක්ෂ

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වුව ද තම පක්ෂයෙන් එම ආයතනවලට පත්ව ඇති මන්ත්‍රීවරුන් දිගට ම අදාළ ආයතනවල මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය හා පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් පසුගිය දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මෙම තීරණය ගෙන ඇත.

එහෙත් පළාත් පාලන මැතිවරණය නොපවත්වනවා නම් රාජ්‍ය නිලධාරීන් මැදිහත් වී නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතනවල වැඩකටයුතු කරනවාට වඩා පසුගිය ඡන්දයෙන් පත්වූ නියෝජිතයන් ම එම ආයතනවල කටයුතු කිරීම සුදුසු බවට පොදුජන පෙරමුණේ මතය වී ඇත.

පළාත් පාලන ඡන්දය පවත්වන තුරු එසේ කටයුතු කිරීම සුදුසු බව ද මෙම කාරණය පිළිබඳව නීති මගින්ද ගත හැකි සාධාරණ ක්‍රියාමාර්ගයක් පිළිබඳ ඉදිරියේදී සලකා බලන බව පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ ය.

ඊට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික් මට්ටමින් හා ආසන මට්ටමින් පැවැත්වෙන සම්මේලනයට අමතරව අපේක්ෂකයන් තම බල ප්‍රදේශයේ සුහද හමු මගින් පාක්ෂිකයන් දැනුවත් කිරීම කළ යුතු බව ද මෙම සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ පවසා ඇත.

පළාත් පාලන ආයතනවල ධූර කාලය අවසන් වුව ද ඡන්දය පවත්වන තුරු පසුගිය මැතිවරණයෙන් පත්වූ සභිකයන් ම එම ආයතනවල වැඩකටයුතු කර ගෙන යාම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම සතියේදී පක්ෂ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.

@ Mawbima

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?