Latestදේශීය

ආනයන සීමා ඉවත් කරන්නේ මෙහෙමයි

සමස්ත ලෝක ආර්ථිකය ම හසුරවනු ලබන බලශක්තිය ලොව පුරා රටවල් අතර මෑතකාලීන ව උද්ගත ව ඇති යුදමය තත්වයන්ට ද ප්‍රධාන ම හේතුව බවත් බලශක්තිය නොමැති ව කිසි දු දෙයක් කළ නොහැකි වත්මන් සමාජ ආර්ථික රටාව තුළ නිසි බලශක්ති කළමනාකරණයක් අත්‍යවශ්‍ය බවත් ඒ ඔස්සේ බලශක්තිය සංරක්ෂණය කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා ලිට්‍රෝ ගෑස් ආයතනය එක් ව සංවිධානය කරන ලද ‘හෙට සුරකින අපේ ළමයි – දැනුම මිනුම සහ කථික තරගාවලිය’ නිල වශයෙන් දියත් කිරීමේ හා අවබෝධතා ගිවිසුම එම ආයතනය සමග හුවමාරු කරගැනීමේ වැඩසටහනකට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ අද අප මුහුණ පා සිටින විදේශ විනිමය හිඟය වැනි ආර්ථික අර්බුදයකට 1973 වර්ෂයේ දී ද මුහුණ දුන් අතර මූල්‍ය ඒකකයක් වශයෙන් ඩොලරයට ලොව පුරා පිළිගැනීමක් ඇති වූයේ එවක ලොව අංක එකේ තෙල් සැපයුම්කරු වූ සෞදි අරාබිය ඇරම්කෝ ආයතනය ඇමරිකාවේ දී පිහිටුවනු ලැබීමත් සමග ඇමරිකානු ඩොලරය විකුණුම් මූල්‍ය ඒකකය වශයෙන් පිළිගැනීමත් සමග බවයි. එවක ලංකාවටත් විදේශ විනිමය ගැටලුවකට මුහුණ පෑමට සිදු වූ අතර වර්තමානයේ දී ද තෙල් ගෑස් පෝලිම් හරහා අප මුහුණ දුන් විදේශ විනිමය ගැටලුව මේ වන විට ආනයන සීමාකිරීම් වැනි ක්‍රමෝපායන් හරහා ක්‍රමානුකූල ව යථා තත්වයට පත් කෙරෙමින් පවතින බවත් විදෙස් සංචිත වැඩි වීමත් සමග නිෂ්පාදන අමුද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ආදිය සඳහා පනවා ඇති ආනයන සීමා ක්‍රමික ව ඉවත් කෙරෙන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

එමෙන් ම බලශක්ති ප්‍රභේද රාශියක් අතරින් අප තෝරාගත යුත්තේ වඩාත් පිරිසිදු පරිසර හිතකාමී බලශක්තිය බවත් ලොව අන් රටවල් වහ වහා ඒ දෙසට පිය නගන බවත් පැවසූ අමාත්‍යවරයා, ලොව පුරා දේශගුණ විපර්යාසයන්ට බලපා ඇත්තේ විෂම බලශක්ති භාවිතය යැයි ද එහි වැඩි ම අහිතකර බලපෑමට නතු ව ඇත්තේ දූපත් රාජ්‍යයන් බව ද පැවසී ය. බලශක්ති භාවිතයේ අහිතකර බලපෑම මුළුමනින් ම නතර කළ නොහැකි වුවත් එමගින් සිදු වන හානි අවම කරගැනීමට ලොව පුරා උනන්දුවක් ඇති ව තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා මෙහි දී තවදුරටත් කියා සිටියේ කාර්මික රටවල් අසීමිත ව තෙල් දහනය කරමින් රිසි සේ බලශක්තිය භාවිත කරන අතර ම එහි අනිටු ඵල වූ පරිසර දූෂණයෙන් හා දේශගුණ විපර්යාසයන්ගෙන් බැට කන දූපත් රාජ්‍යයන් ඇතුළු ලොව අන් රටවලට පරිසර දූෂණය අවම කරන ලෙස පවසන බවයි.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල, ලිට්රෝ ගෑස් සමාගමේ වෙළඳ සහ ආයතනික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක ජනක පතිරණ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය

@Media Unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?