Latestදේශීය

ATA බටලන්ද වැනි වධකාගාර සදහා නීතිමය බලයක් සදහායි

යෝජිත ත්‍රස්ත විරෝධී පනත හරහා බටලන්ද වැනි වධකාගාර පවත්වාගෙන යෑමට නීතිමය බලයක් පොලීසියට ලබා දී ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කරයි.

මහනුවර දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මේ පනත යටතේ රජය කරන ඕනෑම ක්‍රියාවක්, ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් මහජනතාවට තම විවේචනය සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. යම් අවස්ථාවකදී ආණ්ඩුවට විරුද්ධව, ආණ්ඩුවේ ප්‍රතිපත්තියට විරුද්ධව පත්තරයකට ලිවීම හෝ එහෙම නැත්නම් යම්කිසි ආකාරයකට මුහුණු පොතට දැන්වීම හෝ මොනම හෝ ක්‍රියාවක් කරනවානම් ඒ පුද්ගලයන්ව ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගහන්න පුළුවන් කමක් තියෙනවා.

ඒ වගේම තමයි මුද්‍රිත මාධ්‍යයකට, අන්තර්ජාලයට, ඉලෙක්ට්‍රොනික මාධ්‍යයට, වෙනත් ආකාරයේ ප්‍රසිද්ධ දැන්වීමකට මේ විදියට කිසිඳු ආකාරයකට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් විවේචනය කරන්න හැකියාවක් ලබාදීලා නැහැ. ඒ නිසා ආණ්ඩුව ක්‍රියා කරගෙන යනකොට ගොළුවන් බිහිරන් සේ රටේ මහජනතාව සිටිය යුතුයි කියන එකයි මේ පනතෙන් කරන්න උත්සාහ කරන්නේ.

බටලන්ද වැනි වධකාගාර පවත්වාගෙන යෑම සඳහා නීතිමය බලයක් ලබාදීලා තිබෙනවා පොලිසියට. තොරතුරු සැපයීම, ප්‍රකාශන ලබාදීම දිවුරුම් ප්‍රකාශ ලබාදීම, විමර්ශනයක් පැවැත්වීම, මේ සඳහා ඡායාරූප ලබාගැනීම, වීඩියෝ පටිගත කිරීම, ඇගිලි සලකුණු ලබාගැනීම, අත්ලේ හෝ පතුලේ සලකුණු ලබාගැනීම” යනුවෙන් ජෛවමිතික යම් සලකුණක් ලබාගැනීම වෙනුවෙන් කිසිඳු කැතක් හිරිකිතයක් නැතුව මිනිහෙක් නිරුවත් කරලා ඡායාරූප ලබාගැනීම, ප්‍රශ්න කිරීම පොලිසියට අවසර ලබාදීලා තිබෙනවා. ඒ නිසා මම දැකලා නෑ මේ රටේ කිසිඳු නීතියක මේ වගේ පොලිසියට නිරුවත් කරලා තමන්ට පුළුවන් ප්‍රශ්න කරන්න කියලා බලය දීලා තියෙන අවස්ථාවක්.

මේ රටේ මහජනතාව හිරේ විගංගුවේ දැමීමටම හදපු පනත් කෙටුම්පතක් විදියටයි අපි මේක දකින්නේ. මේ පනතේ සඳහන් කරලා තිබෙනවා තහනම් ස්ථාන කියලා ජනාධිපතිවරයාට නම් කරන්න පුළුවන් තහනම් ස්ථාන. මේ තහනම් ස්ථාන කියන ඒවා තීරණය කරන්නේ ජනාධිපතිවරයා විසින්. යම්කිසි උද්ඝෝෂණයක් පැවැත්වෙනවානම්, යම්කිසි විදියකට මහජනතාව තමන්ගේ දුක්ගැනවිල්ල කියාපාන තැනකට ඇවිල්ලා ඒක කියාපානවනම් එය තහනම් ස්ථානයක් බවට පත්කරන්න ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට බලය ලබාදීලා තිබෙනවා.

ඒ වගේම තමයි මේ පනතේ සඳහන් කරලා තිබෙනවා ජනාධිපතිවරයාට බලය ලබාදීලා තිබෙනවා ඕනෑම සංවිධානයක් ත්‍රස්ත සංවිධානයක් බවට පත් කරලා නම් කරලා ඒ සංවිධානය තහනම් කරන්න.

මේ රටේ මහජනතාවට ලබාදීලා තිබෙන කිසියම් අවම අයිතිවාසිකමක් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකමක් තිබෙනවානම් ඒ වටිනාකම් සියල්ලම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කරන්න යන වෙලාවෙදි ආණ්ඩුව විසින් හිතුවක්කාර විදියට පරිහරණය කරනවා.

ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, පොලිස්පතිවරයා හරහා නියෝජ්‍ය පොලිස්පතිවරු හරහා මේ රටේ මහජනතාවගේ සිවිල් අයිතිය කොල්ලකන්න ඉඩ සලස්වලා තිබෙනවා.

මේ රජය ජනවරමක් නැතුව 134 දෙනෙකුට අනියම් වරප්‍රසාද ලබාදීම හරහා ජනවරම මංකොල්ලකාලා තියෙනවා. මේ කොල්ලකාපු ජනවරම නැවත මහජනතාව වෙත අත්පත් කරදීමේ වගකීමයි අපට තිබෙන්නේ. මේ අය උත්සාහ කරන්නේ තමන් හිතුමනාපෙට පොලිස් රාජ්‍යයක් බවට රට පරිවර්තනය කරලා ඒ පොලිස් රාජ්‍ය හරහා මේ රටේ මහජනතාවට දඬුවම් කරන්න.

අපි මේ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම බලයට ගේන්න පාර්ලිමේන්තු හරහා කටයුතු කරපු 134 දෙනාට දැඩිව අවධාරණය කරනවා ඔබ ජනතාව ඉදිරියේ දණ ගහන දවස වැඩි ඈතක නෑ. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා අපි වීදි සටන් වලට, ඒ වගේම තමයි මහජන උද්ඝෝෂණ වලට මේ මහජනතාව පොළඹවීම වහාම නතර කරන්න.

මේ ත්‍රස්ත විරෝධි පනතට මුලු මහත් ජාතියම එක තැනකට ආ යුතුයි. මේ මහජනතාවගෙන් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාගෙන, 69 ලක්ෂයක ජනවරමක් ලබාගෙන මේ පාර්ලිමේන්තු බලයත්, මහජන බලයත් ඔබ ලබාගත්තේ තමන්ට හිතෙන හිතෙන නීති පනවලා මහජනතාව දඬුකඳේ ගහන්න නෙවෙයි

විපක්ෂයේ අපි එළඹෙන 25 වෙනිදා පාර්ලිමේන්තුවේදී මේ පනත නියත වශයෙන්ම පරාජයට පත් කරන්න අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා අපි කියනවා.

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?