Latestදේශීය

ATA සම්මත වුනොත් ආන්ඩුව නොවන ‌හැමෝම ත්‍රස්තවාදීන් ?

ආණ්ඩුව විසින් ගෙනැවිත් ඇති ඊනියා ත්‍රස්ථ විරෝධී පනත සම්මත වුවහොත් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු තමන්ට තර්ජනයක් විය හැකි දේශපාලන පක්ෂ තහනම් කර ජනාධිපතිවරණය පැවැත්වීමට ද ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමය නායකයා මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ හයිඩ් පිටියේ පැවති උත්තර ලංකා සභාගයේ මැයි දින රැලිය අමතමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

නව ත්‍රස්ත විරෝධි පනත සම්මත වුවහොත් විපක්ෂයත් නෑ. මාධ්‍යත් නෑ.

ආණ්ඩුව ගෙනැවිත් තිබෙන ඊනියා ත්‍රස්ත විරෝධි පනත සම්මත වුණොත් එදායින් පසු මේ රටේ විපක්ෂයක් ඉතිරි වෙන්නේ නෑ. විපක්ෂයේ සියළු දෙනා ත්‍රස්තවාදීන් වෙනවා. මේ රටේ මාධ්‍ය ඉතිරි වෙන්නේ නෑ. මාධ්‍ය වේදීන් සියළු දෙනාම ත්‍රස්තවාදීන් වෙනවා. මේ රටේ වෘත්තිය සමිති ඉතිරිවෙන්නේ නෑ. වෘත්තීය සමිති නායකයන් ත්‍රස්තවාදීන් වෙනවා. අන්තිමට ඉතිරි වෙන්නේ ආණ්ඩුවේ ඒකාධිපති සිහිනය විතරයි.

මේ පනතට අනුව මාධ්‍යයක පළ වුණු දෙයක් ජනතාව ත්‍රස්තවාදි ක්‍රියාවකට පෙළොඔවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ තිබෙනවා නම් ඒ පල කිරීමත් ත්‍රස්තවාදි ක්‍රියාවක්. “ඇමතිවරු රැසක් අවුරුදු නිවාඩුවට ශීත රටවල සැප නිවාඩුවේ” කියා දැන් සති දෙකකට විතර කලින් පුවත්පතක සිරස්තලයක් තිබුණා. මේක දැකලා කාට හරි කේන්ති ගිහින් ඇමති මණ්ඩලය රැස් වන වෙලාවක මරාගෙන මැරෙන්න බෝම්බයක් බැඳගෙන එතැනට එන්න පෙළෙඹෙන්න පුළුවන් කියා ආණ්ඩුවට හිතුනොත් පත්තරේ ලියපු කෙනා, පත්තරේ කර්තෘ පත්තරේ ප්‍රකාශක මේ සියළු දෙනා අත්අඩංගුවට අරන් මාස 18ක් රැඳවුම් නියෝග යටතේ තබා ගන්න පුළුවන්. ඒ වගේම අවුරුදු විස්සක සිර දඬුවමක් දෙන්නත් දේපල සියල්ල රාජ සන්තක කරන්නත් පුළුවන්. බෝම්බ ගහන්න ඕනෑ නෑ. එහෙම ගහන්න පොළොඹ වන ප්‍රකාශයක් කියා ආණ්ඩුවට හිතුනොත් හොඳටෝම ඇති.

මේ පනත සම්මත වුණොත් සුවච කීකරු වන්දිභට්ට මාධ්‍ය කලාවක් විතරයි ලංකාවට ඉතිරි වෙන්නේ.

ජනපතිවරණය සමග දේශපාලන පක්ෂ තහනමක්

අපූරුම දේ තිබෙන්නේ 82 වගන්තියේ. යම් සංවිධානයක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියා ජනාධිපති විශ්වාස කරනවා නම් ඒක තහනම් කරන්න ජනාධිපතිට පුළුවන්. නිර්දේශිත වාර්තාවක් ඕන නෑ. විමර්ශනයක් නෑ. තොරතුරු සොයා බැලීමක් නෑ. වෙන කාගෙන් වත් අහන්න ඕනෑ නෑ. ජනාධිපතිතුමාට හිතෙන්න විතරයි ඕනි. ලගදී ජනාධිපතිවරණයක් එනවලු නේ. ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශ කරපු ගමන් තමන්ට තර්ජනයක් විය හැකි සියළුම පක්ෂ තහනම් කරන්න ජනාධිපතිට පුළුවන්.

ඊට එරෙහිව අභියාචනා කරන්න පුළුවන්. මුලින්ම අභියාචනා කරන්න ඕනෑ අර තහනම කරපු ජනාධිපතිටමයි. ජනාධිපතිගෙන් සහනයක් නොලැබුණොත් අභියාචනාධිකරණයට යන්න පුළුවන්. ජනාධිපතිට ලියලා එයා උත්තර ලියනකං බලා ඉදලා නඩුව අහලා ඉවර වෙන කොට ජනාධිපතිවරණයත් ඉවරයි.

මෙතැන වැඩ කරන ජනතාව ඉන්න නිසා මේ පනතෙන් වැඩ කරන ජනතාවට සලකලා තිබෙන ආකාරයත් කිව යුතුයි. ඕනෑම සේවයක් අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරන්න ජනාධිපතිට පුළුවන්. ඊට පස්සේ අත්‍යාවශ්‍ය සේවයට කුමන ආකාරයකින් හරි බාධාවක් කරනවා නම් ඒක ත්‍රස්තවාදි ක්‍රියාවක්. අපි උදාහරණයකට ගමු වැඩ වර්ජන ගැන අහලා නැති තැනක්. රාජ්‍ය ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව. මාස දෙකක් මෙතැන පඩි ගෙවන්නේ නෑ. අනේ අපට පඩි ගෙවන තුරු අපට වැඩ කරන්න බෑ කියලා සේවකයින් කියනවා. ඉල්ලීම හරිම සාධාරණයි. නමුත් ජනාධිපති දැන් මේක අත්‍යාවශ්‍ය සේවාවක් කරනවා. දැන් වැඩවර්ජනය කිරීම ත්‍රස්තවාදි ක්‍රියාවක්. දේපල රාජසන්තක වෙන වැඩක්. ඒ විතරක් නොවේ. පඩි ගෙවන්නේ නෑ කියලා අස් වෙලා පඩි ගෙවන තැනකට යන්නත් බෑ. ඒකත් අත්‍යාවශ්‍ය සේවාවට බාධා කිරීමක්. ඒ නිසා මැරෙන තුරාවට වැටුප් නැතිව වැඩ කරන්න සිද්ධ වෙනවා. මෙහෙම අමානුෂික පනතක් ඉතිහාසයේ කවදාවත් ගෙනැල්ලා නෑ.

අපේ ස්ථාවරය කෙටියෙන් කිව්වොත්,

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළ යුතු ද? ඔව්

නව ත්‍රස්ත විරෝධි පනතක් අවශ්‍ය ද? ඔව්

ත්‍රස්ත විරෝධි පනතක් නාමයෙන් ආණ්ඩුවට ජනතාව මර්දනය කරන්න විරුද්ධවාදින් මර්දනය කරන්න අපි ඉඩ දෙනවා ද? නෑ.

ත්‍රස්තවාදය මර්දනයේ නාමයෙන් විරුද්ධ මත පාගා දමන්න ආණ්ඩුව දරණ මේ නිහින වෑයම පරාජය කරන්න අපි කවුරුත් වාද භේද පසෙක තබා සමගි විය යුතුයි.

1945 දී ජර්මානු දේවගැතිවරයෙකු වන මාටින් නියුමොලර් මෙහෙම කිව්වා.

පළමුව ඔවුන් සොයා ආවේ සමාජවාදින්ය. මම සමාජවාදියෙකු නොවන නිසා නිහඬ වුණෙමි.

දෙවනුව ඔවුන් සොයා ආවේ වෘත්තිය සමිති නායකයින්ය. මම වෘත්තිය සමිති නායකයෙකු නොවන නිසා නිහඬ වුණෙමි.

තෙවනුව ඔවුන් සොයා ආවේ යුදෙව්වන්ය. මම යුදෙව්වෙකු නොවන නිසා එවරත් නිහඬ වුණෙමි.

අවසානයේ දී ඔව්හු මා සොයා ආහ. නමුත් මා වෙනුවෙන් කතා කරන්නට එවිට කිසිවෙක් ඉතිරි වී නොසිටියහ.

ආණ්ඩුවේ මර්ධනයේ හස්තය අපව සොයාගෙන එන්න කලින් අපි සැවොම සමගිවෙලා කටයුතු කරමු යැයි මා යෝජනා කරණවා.

නොට්ටිගේ බෑනා

මර්දනයේ අඳුරුම කතාව තිබෙන්නේ ජේ ආර් යුගයේ කියන එක අමතක කරන්න එපා. අංක තහඩු නැති ජීප් සුදු වෑන් ටයර් සෑ මේ සියල්ල රටට හඳුන්වා දුන්නේ ජේ ආර් යුගයේ. ඒ ජේ ආර්ගේ බෑනා තමයි අද රටේ පාලකයා. මාමා කළ දේ බෑනා නොකලොත් ඌ නොට්ටිගේ බෑනා වෙයි කියලා මාමාගේ අඩි පාරේ යන්නයි බෑනා හදන්නේ. මේ මර්දනය දල්ලෙන් කැඩුවේ නැත්නම් 88/89 භීෂණ යුගය දක්වාම මේ රට අරගෙන යන බව අපිට විශ්වාසයි.

ඇමරිකාවට බනින්නේ චීනයේ පැත්ත අරගෙනද ?

අද රට පුරා මැයි රැළි 31ක් වුණත් එකම අධිරාජ්‍ය විරෝධි මැයි රැළිය පැවැත්වෙන්නේ මෙතැනයි. ඩොලර් යුරෝ මත යැපෙන්නේ නැති මැයි රැළිය මෙතැනයි. මුළු ලෝකයේම දුප්පත් රටවල සාරය උරාගෙන වැඩුන වැඩෙන ඇමෙරිකාවට අපි විරුද්ධයි. ඔවුන් අනාගතයේ කරන්න සැරසෙන්නේත් ඒකමයි. අපි ඇමරිකාවට විරුද්ධ වුණාම සමහරුන් අපට චීන ලේබලය අලවන්න උත්සහ දරනවා.

අපි ඇමරිකාවට විරුද්ධ වන්නේ ඉන්දියාවේ වත්, චීනයේ වත්, රුසියාවේ වත්, පැත්ත ගන්න නොවෙයි. අපි අතීතයේ ගත්තෙත් අනාගතයේ ගන්නෙත් වර්තමානයේ ගනිමින් සිටින්නේත් අපේ ආදරණීය ලක් මාතාවගේ පැත්ත විතරයි.

ලක් මාතාව රැක ගන්න අප කරන සටනට මිත්‍රත්වයේ දෑත දිගු කරන ඕනෑම රටක් ආදරයෙන් වැලඳ ගන්නත් අපේ සම්පත් සොරා කන්නට දිගු වන ඕනෑම දෑතක් හපා කන්නත් අප පසුබට වෙන්නේ නෑ.

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?