Latestදේශීය

පොසොන් උත්සවය ඉහළින්ම සමරන්න සූදානම්

මෙවර ඉහළින්ම සමරන පොසොන් උත්සවය සැමරීමට අපේක්ෂා කරන බව බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

රටේ පැවති අර්බුදකාරී තත්ත්වය සහ කොවිඩ් ව්‍යාප්ති තත්ත්වය හමුවේ ආගමික වතාවත් සහ අනෙකුත් කර්තව්‍යයන් ජනතාවට සුපුරුදු පරිදි සිදුකිරීමට අවස්ථාවක් නොපැවති බව කියාසිටි බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ලාංකික ජනතාවට අතිශය වැදගත් වන පොසොන් උත්සවය සදහා මේ වන විට සියලු කටයුතු සම්පාදනය කර අවසන් බවද පැවසුවේය.

වෙසක් උත්සවයේ සමාජයේ පැවති පිබිදීම තවදුරටත් උත්දීපනය කරමින් රජයක් වශයෙන් දිවයින පුරාම ආවරණය වන පරිදි විවිධ ප්‍රදේශ ප්‍රකාශයට පත් කර ඒ සදහා රජයෙන් ලබාදිය යුතු දායකත්වය ලබාදී සියලු කටයුතු මේ වන විට සම්පූර්ණ වී ඇතැයිද සදහන් කළේය.

තන්තිරිමලේ, සිතුල්පව්ව, හෝමාගම, ඉංගිරිය, ගම්පහ, හම්බන්තොට තිස්සමහාරාම, මහියංගනය, බදුල්ල ආදී“ සෑම දිස්ත්‍රික්කයකම විශාල පොසොන් කලාප බවට පරිවර්තනය කර ඒ සදහා දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, අන්‍ය ආගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා හා පෞද්ගලික අංශයේ ධානපතීන්ගේ දායකත්වය ඇතිව සියල්ල සංවිධානය කර ඇතැයිද පැවසුවේය.

ඊට සමගාමීව රජය විසින් ඉතාමත්ම දුෂ්කර විහාරස්ථාන වල අවශ්‍ය වන භෞතික සම්පත් සංවර්ධනය සදහා මිලියන 100ක ප්‍රතිපාදන වෙන්කර දැනටමත් එම විහාරස්ථාන සංවර්ධනයට අවශ්‍ය මූලික ප්‍රතිපාදන දිස්ත්‍රික් 25ම දිසාපතිවරුන්ට යොමුකර ඇතැයිද සදහන් කළේය.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට මෙන්ම පොසොන් උත්සවයටත් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය වන පොසොන් උත්සවය සදහා ලක්ෂ 30ක් සහ පෙරහැර කටයුතු සදහා ලක්ෂයක් වශයෙන් ලක්ෂ 31ක ප්‍රතිපාදන මුදලක් යොමුකර ඇතැයිද පැවසුවේය.

පවතින ආර්ථික තත්ත්වය අප සියලුදෙනාම අවබෝධ කරගනිමින් එම සීමිත ප්‍රතිපාදන වලින් හැකි අයුරින් උතුම් වූ පොසොන් උත්සවය සහයෝගයෙන් සැමරීමට කටයුතු කරන ලෙස බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා ඉල්ලා සිටියේය.

@Media Unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?