Latestදේශීය

ප්‍රසන්නට තවත් චෝදනාවක්

තලවතුගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසළ රජයට අයත් වගුරු බිමක් ගොඩකර එහි ඉදිකිරීම් සිදු කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ බිරිඳට ලබා දීමේ තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඕස්ට්‍රේලියාවේ පදිංචි අනිෂ්කා රංජීවි ද සිල්වා නැමැති කාන්තාව විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් තර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, ඇමති ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳවන මොරින් රණතුංග, නීතිපති ඇතුළු 18 දෙනෙකු නම් කර ඇත.

මෙම පෙත්සමේ තලවතුගොඩ, පෙරේරා මාවතේ පිහිටි කෙල්සි හෝම්ස් නමැති නිවාස සංකීර්ණයෙන් නිවසක් මිලදී ගත් බවත් එම නිවාස සංකීර්ණයට යාබදව ඇල මාර්ගයක් තිබෙන අතර ඊට යාබදව රජයට අයත් වගුරු බිමක් පවතින බවත් පෙත්සමේ සඳහන් වේ. පසුව ඇමති ප්‍රසන්න රණතුංග බස්නාහිර පළාත් ප්‍රධාන ඇමති වශයෙන් සිටියදී මෙම ඉඩම නීති විරෝධී ආකාරයෙන් ගොඩ කිරීමට පියවර ගෙන ඇති බවත් පෙත්සමේ තවදුරටත් චෝදනා කර තිබේ.

එම ගොඩ කරන ලද ඉඩමේ නව ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවත් මේ නිසා වගුරු බිම ආශ්‍රිතව ඩෙංගු රෝගය පැතිර යන බවත් ඇය සිය පෙත්සමෙන් කියා සිටී.

මෙම නීති විරෝධී කටයුත්ත සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, පොලිස්පතිවරයා, කඩුවෙල නගර සභාව ඇතුළු ආයතනවලට පැමිණිලි ඉදිරිපත් කළත් ඉන් කිසිදු සාධාරණයක් ඉටු නොවූ බව පවසන පෙත්සම්කාරිය තමන්ට එල්ල වූ මරණ තර්ජන නිසා රටින් පළා යාමට සිදු වූ බවද පෙත්සමේ සඳහන් කර ඇත.

කරුණු සොයා බැලීමේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ඉඩම් ඇමති ප්‍රසන්න රණතුංගගේ බිරිඳට ලබා දීමට කටයුතු කර ඇති බව අනාවරණය වූ බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි බවත් ඇය සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත.

මේ අතර ඇමති ප්‍රසන්න රණතුංග බස්නාහිර මහ ඇමතිව සිටි සමයේ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් කප්පම් ලෙස ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවති නඩුවෙන් ඇමති ප්‍රසන්න රණතුංගට අවුරුදු 02ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ අතර එය අවුරුදු 05කට අත්හිටුවන ලදී. සිර දඬුවමට අමතර රුපියල් මිලියන 25ක දඩයක්ද පැමිණිලිකරු වෙත රුපියල් මිලියනයක වන්දියක්ද ගෙවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න 2022 ජුනි 06 වනදා නියෝග කර තිබිණි.

මේ වනවිට අභියාචනාධිකරණයේ ගොනු කර ඇති උක්ත පෙත්සම අනුව ඇමති ප්‍රසන්න රණතුංග වැරදි කරු වුවහොත් මේ වනවිට අවුරුදු 05කට අත්හිටුවා ඇති නඩු තින්දුවද ක්‍රියාත්මක වනු ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *