Latestදේශීය

බේරේ පිරිසිදු කරන සාගල මෙහෙයුම

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

එසේම කොළඹ නගර අලංකරණ සැලැස්ම හා එහි වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩිනමින් ලබා දෙන ලෙස සාගල රත්නායක මහතා අදාළ ආයතන ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ නගර අලංකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් ඊයේ (04) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.

බේරේ වැව ආශ්‍රිත මහජන ක්‍රියාකාරකම් සඳහා සංවර්ධනය කර භාවිතා කළ හැකි හඳුනාගත් ඉඩම් කොටස් පෞද්ගලික අංශයේද සහභාගීත්වයෙන් සංවර්ධනය කිරීම මෙන්ම බේරේ වැවට හරවන ලද මළ අපද්‍රව්‍ය නළ මාර්ග වළක්වාලීම සහ වැවේ බැක්ටීරියා හා ඇල්ගී ප්‍රතිශතය අවම කිරීමේ ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය ද මෙහිදී විමසා බැලීම සිදුවිය.

මේ වන විට ස්ථාන 03ක පිහිටි මධ්‍යම බස් නැවතුම්පොළ, කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානගත කර දැනට බස් නැවතුම්පොළ පිහිටි ඉඩම් වාණිජමය කටයුතු සඳහා පෞද්ගලික අංශය සමඟ එක්ව සංවර්ධනය කිරීම, කොළඹ නගරයේ පිහිටි අනාරක්ෂිත ගස් ඉවත් කර ඒ වෙනුවට සුදුසු ගස් වර්ග නැවත සිටුවීම, කොළඹ නගරයේ අත්හැර දමන ලද වල් බිහිවී ඇති ගොඩනැගිලි හඳුනාගෙන ඒවා නඩත්තු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සැකසීම, කොළඹ නගරයේ රථ වාහන ධාවනය, මගීන් නංවාගැනීම හා නතර කිරීම සම්බන්ධව නියාමන සැලැස්මක් සැකසීම, වැසි ජලය බැසයාම ක්‍රමවත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එමෙන්ම එළැඹෙන නත්තල් සමයේ කොළඹ නගරයේ තදබදය අවම කර ගැනීම සහ කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා පොලීසිය, කොළඹ මහ නගර සභාව හා වෙළෙඳ සංගම් ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව සහ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

@ Media unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *