Latestදේශීය

මාලිමා අන්ඩුවේදී නීතිය ඉදිරියේ සැවොම සමානයි – අනුර දිසානායක

මාලිමාවේ ආණ්ඩුවේදී “නීතිය ඉදිරියේ සැවොම සමානයි” සංකල්පය යථාර්ථයක් බවට පත්වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 14 වනදා මිනුවන්ගොඩදී පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් තරුණ රැලිය අමතමිණි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ,

“රටේ උතුරේ, දකුණේ, නැගෙනහිර ජනතාවත්, ගොවි, ධීවර, වතු, කම්කරු ජනතාවත් සෑම දෙනෙක්ම කියන්නේ මේක වෙනස් වෙන්න ඕනෑ කියලා. මේ විදිහට යන්න බැහැ, කියලා. තරුණ පරම්පරාවෙන් ඇහුවොත් ඒගොල්ලනුත් කියන්නේ වෙනසක් වෙන්න ඕනෑ කියලා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයට තරුණ තරුණියන් දහස් ගණන් එකතුවෙලා ඉන්නේ ඒ වෙනස යථාර්ථයක් බවට පත්කරන්න; ජයග්‍රාහී වෙනසක් කරන්න.

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු 54ක් වෙනවා. රනිල් වික්‍රමසිංහ අවුරුද 47ක් වෙනවා. දිනේෂ් 41ක් පාර්ලිමේන්තුවේ හිටියා. මේ අය ජනාධිපති ධුර, අගමැති ධුර, අමාත්‍ය ධුර දැරවා. රට විනාශයෙන් විනාශයට පත් කළා. ඒ අසාර්ථක නායක කණ්ඩායම්වලින් බලය අලුත් පරම්පරාවක් අතට මාරුකර ගන්න ඕනැකම තිබෙනවා. ඒගොල්ලන් හිතුවේ නැහැ මෙවැනි අලුත් දේශපාලන ව්‍යාපාරයක නැගීමක්, පිබිදීමක් ඇති වේවි කියලා. මෙතෙක් කලක් ඒ ගොල්ලන් ආණ්ඩුව කරගෙන ආවා. ඒ අය හොරකම්, නාස්ති කරන කොට, අපි කියනවා හොරකම් කරනවා, නාස්ති කරනවා කියලා කියනවා. ඒත් එයාලා පාඩුවේ ඒවම කරගෙන යනවා. අද ඒ අය විපක්ෂයට තල්ලු කරලා ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීමේ අවස්ථාක් උදාවෙලා තිබෙනවා. මේ සිදුවීමට යන වෙනස ලෙහෙසියෙන් සිදුවෙන්න දෙන්නේ නැහැ. දශක ගණනාවකට පස්සේ දේශපාලන පරිවර්තනයක් සඳහා අවස්ථාව උදාවෙලා තිබෙනවා. පැරණි අසාර්ථක දේශපාලන නායකයන් වෙනුවට, අසාර්ථක දේශපාලන ව්‍යාපාර වෙනුවට, නව දේශපාලන නායකයන්, නව දේශපාලන ව්‍යාපාරයකට අපේ රට ප්‍රවිෂ්ට කිරීම සඳහා මහඟු අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. තව මාස දෙකහමාරයි. මේ මාස දෙකහමාර, පොර බදන්න ඕනෑ, මහන්සි වෙන්න ඕනෑ. මේ ජයග්‍රහණය ශක්තිමත් ජයග්‍රහණයක් බවට පත් කරන්න, ඒ වෙනුවෙන් වැඩකරන්න, යහළුවන් එක්ක, හිතවතුන් එක්ක, කතා කරන්න. කතා කරලා විශාල ජයග්‍රහණයක් අරගෙන දෙන්න. මේ මැතිවරණයේ නිමාවත් සමග ලංකාවේ දේශපාලනය අලුතින් ලියන්න අපි පටන් ගනිමු.

මේ රට ගොඩනඟන්න මොකක්ද අපි කළ යුත්තේ? නීතිය ඉදිරියේ සැවොම සමාන විය යුතුයි. දියුණු සෑම රටකම, දියුණුවේ ප්‍රධාන ලක්ෂණය තමයි නීතිය ඉදිරියේ සැවොම සමාන වීම. අපේ රටේ නීතිය සැමට සමාන නම්, ප්‍රසන්න රණතුංග, ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තුවේ ඉන්න බැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන්න බැහැ. ඒගොල්ලන් නීතියේ රැකවරණය ලබන, නීතියට වඩා උඩින් ඉන්න අය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදි “නීතිය ඉදිරියේ සැවොම සමානයි” සංකල්පය යථාර්ථයක් බවට පත්කරනවා. නීතිය ඉදිරියේ සැවොම සමාන නොවී අපේ රටේ අපරාධ, ඝාතන නවත්වන්න බැහැ. මේ පාතාල හැදුණේ ඒගොල්ලන් ළඟයි. ‘ගෝනවල සුනිල්’ කාන්තාවක් දූෂණය කර හිරේට ගියාට පස්සේ, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සමාව දීලා සාමදාන විනිශ්චයකාර තනතුරක් දෙනවා. පාතාලය ආරක්ෂා කරනවා, වර්ධනය කරනවා. ‘සොත්ති උපාලි’ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරනවා. ‘බැද්දගානේ සංජීව’ පාතාල නායකයෙක්. චන්ද්‍රිකා කුමාරතුංගගේ ආරක්ෂක අංශයේ ප්‍රධානියෙක්. පාතාලය වර්ධනය වුණේ මෙහෙම. හම්බන්තොට වම්බොට්ටලාට, චණ්ඩිලාට රැකවරණය දුන්නේ මහින්ද රාජපක්ෂ. ‘ජූලම්පිටියේ අමරේ’ නාමල්ට ආරක්ෂාව දෙනවා. මේ පාතාලය ආරක්ෂා කරලා, වර්ධනය කරලා, අවි ආයුධ දීලා අපේ රට අපරාධ රාජ්‍යයක් බවට පත්කළේ මේ දේශපාලකයන්. ‘කඩුවෙල වසන්ත’ලා හැදුනේ රත්නපුරේ ඇමතිලාගේ තුරුල්ලේ. අපරාධවලින් තොර, මත්ද්‍රව්‍යවලින් තොර, සෑම දෙනාටම ජීවිතය පිළිබඳ අවිශ්වාසයකින් තොරව ගත කළ හැකි තත්වයක් අපි නිර්මාණය කරනවා. අද ලයිසන් චණ්ඩියි, ලයිසන් නොවෙන චණ්ඩියි ගහගන්න පටන්ගෙන තිබෙනවා. මේ විදිහට රටට ඉස්සරහට යන්න බැහැ. නිදහස් සාමකාමී රාජ්‍යයක් බවට පරිවර්තනය කළ යුතුයි. ඒ වෙනස ඇති කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බව සහතික කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් ලෙස, ගරුකටයුතු ලෙස වැඩකරපු, නිලධාරීන් ගණනාවක් ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔවුන්ගේ දැනුම, උපදේශයන් මේ වැඩේට අපිට උපයෝගී කර ගන්න පුළුවන්.

අපේ ආර්ථිකයේ විශාල වෙනසක් අවශ්‍යයි. තරුණ පරම්පරාවට හරිහමන් ආදායම් මාර්ගයක් නැහැ. ගමේ තරුණයා හොඳ රැකියාවක්, හොඳ ප්‍රේම සබඳතාවයක්, හොඳ විවාහයක්, ගෙයක්දොරක් හදා ගන්න සිහින දකිනවා. ගමේ තරුණයා හොඳ මෝටර්සයිකලයක් ගන්නෙ කොහොමද කියා සිහින දකිනකොට, ජනාධිපති දරුවන් රොකට් යවන්න සිහින දකිනවා. සාමාන්‍ය දරුවන්ගේ සිහින ඉටුකරගන්න බැරි රාජ්‍යයක් බිහිවෙලා තිබෙනවා. අසරණභාවය කෙළවරට ඇවිත් තිබෙනවා. අවසානයේ රට අත්හැර යාම හැර වෙනත් විකල්පයක් නැහැ කියන තැනට කල්පනා කරමින් ඉන්නවා. අපේ තරුණයා පාස්පෝර්ට් කාර්යාල ඇතුලේ පෝලිමේ. කොරියන් භාෂාව ඉගෙන ගන්න පෝලිමේ. අපේ බහුතර පරම්පරාව මේ ව්‍යසනයෙන් ගොඩඑන්න රට හැරදා යන්න හිතනවා. ඔබ තරුණයන් විදිහට මේකෙන් පලා යන්න හිතනවාද? ඕන දෙයක් වෙන්න ඇරලා නිවට නියාලු තරුණ පරම්පරාවක් බවට පත්වෙනවාද? එහෙම නැතිනම් මේ අභියෝගයට සම්මුඛ වෙලා, මේ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා ධෛර්ය සම්පන්න තරුණ පරම්පරාවක් ලෙස ඉදිරියට එනවාද? අපි තෝරාගත යුත්තේ මෙය වෙනස් කිරීම සඳහා කරන පොර බැදීමයි. මේ පොරබැදීමේ ප්‍රතිඵලය ජයග්‍රහණය කළොත් අපිට මේ ආර්ථිකය මුළුමනින්ම වෙනස් කරන්න පුළුවන් වෙනවා.

කොරියාවේ යන අය එහි රජයේ ආයතනවල වැඩ කරනවාද? එහි රජය මැදිහත් වෙලා, යටිතල පහසුකම් ටික නිර්මාණය කරලා දෙනවා. එළියේ විශාල ආර්ථිකයක් හදා තිබෙනවා. ඒ ආර්ථිකය ඇතුලේ රස්සා තිබෙනවා. විශාල ටී.වී. කර්මාන්තයක්, ෆෝන් කර්මාන්තයක්, නැව් කර්මාන්තයක්, ඉදිකිරීම් කර්මාන්තයක්, රූපලාවණ්‍ය කර්මාන්තයක් තිබෙනවා. අපේ දරුවන් ඒවා ඇතුලේ රස්සා කරනවා. අපේ රටේ දේශපාලකයන්ගේ රස්සා කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කච්චේරිය, වරාය, පෙට්‍රොලියම් එක පුරවන එකයි. අපේ තරුණ තරුණියක් 13,000ක් පමණ මාලදිවයිනේ රැකියා කරනවා. මාලදිවයිනේ ධීවර කර්මාන්තයත්, සංචාරක කර්මාන්තයත් පමණයි තිබෙන්නේ. විශාල හෝටල් කර්මාන්තයක් තිබෙනවා. ඒකට අවශ්‍ය සූපවේදීන්, කළමනාකරුවන් ලෙස අපේ අය ගිහින් වැඩ කරනවා. රස්සා ඇතිවෙන්නේ එළියේ ආර්ථිකයක් ගොඩනැගුණොත්. ජාතික ජන බලවේගයේ අපි එළියේ ආර්ථිකයක් ගොඩනගන්න අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරනවා. අපේ ව්‍යාපාර කරන්නේ දේශපාලකයන්. බාර් කරන්නේ, අරක්කු ෆැක්ටරි කරන්නේ, පෙට්‍රල් ෂෙඩ් කරන්නේ දේශපාලකයන්. පානම, අරුගම්බෙක්කේ ඉඩම් විශාල ප්‍රමාණයක් දේශපාලකයන්ගේ අතේ. අද සමස්ත ආර්ථිකයම දේශපාලකයාගේ ග්‍රහණයට යටත් වෙලා තිබෙනවා. මමවත් අපේ දේශපාලන මණ්ඩලයේ කිසිවෙක් බාර් දාන්න, පෙට්‍රල් ෂෙඩ් දාන්න, වැලි ගොඩදාන්න, නීති විරෝධී දැව ජාවාරම් කරන්න, පතල් කපන්න එන්නේ නැහැ. ඒවා ව්‍යවසායකයන් විසින් කරන්න ඕන දේවල්.

මේ කඩාවැටුණු ආර්ථිකය ගොඩගන්න එක අපිට පැවරී තිබෙන වගකීමක්. දශක ගණනාවක් තිස්සේ පරීක්ෂණයට ලක්කරන ලද ඛනිජ සම්පත් තිබෙනවා. ඒ විද්‍යාඥයන් සමග අවරුදු එක හමාරක සිට සාකච්ඡා කොට තිබෙනවා. ඒ වගේම මේවට ආයෝජන ගේන්න හැකි දේශීය ව්‍යාපාරිකයන් හමුවෙලා සාකච්ඡා කොට තිබෙනවා. එතන අපට අවස්ථාවක් තිබෙනවා. අපේ විශාල කාබන් ප්‍රතිශතයක් සහිත මිනිරන් සම්පතක් තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ අපි අමු මිනිරන් ලෙස පිටරට පටවනවා. එතනට අගය එකතු කරන කර්මාන්තයක් ඕනෑ. පුල්මුඩේ ඛනිජ වැලි සහ එප්පාවල පොස්පේට් නිධියක් තිබෙනවා. අපි ආරම්භයේ පරන්තන්වල සර්ෆිරික් අම්ලය නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. සර්ෆියුරික් අම්ලය සියලු කර්මාන්තයන්ට අවශ්‍යයි. එතනට කාර්මික ශිල්පීන්, ලිපිකරුවන්, කළමනාකරුවන්, ගබඩාබාරකරුවන් අවශ්‍ය වෙනවා. එතන රස්සා හැදෙනවා. එතනට සැලසුම සකස්කොට තිබෙනවා. පුත්තලම් ප්‍රදේශයේ වැදගත් සිලිකා නිධියක් පොළොව යට තිබෙනවා. මේවා අමුවට පටවනවා. පටවන සෑම ටොන් එකකටම ඇමතිට ගාණක් එනවා. මේ සම්පත් උපයෝගී කොටගෙන නව කර්මාන්ත අවධියකට අපේ රට පරිවර්තනය කරන්න ඕනෑ. අපට මේ සඳහා ප්‍රාග්ධනය, තාක්ෂණය නැති වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් විදෙස් ආයෝජකයන්ට එන්න කියන්න ඕනෑ. ලෝකයේ මාර්කට් එක දාමයක් වගේ. ඒකට අපට ප්‍රවේශ වෙන්න අමාරුයි. ප්‍රාග්ධනය තිබෙන, තාක්ෂණය තිබෙන, මාර්කට් එකේ සැපයුම් දාමයේ ඉන්න ආයෝජකයෙකුට අපි එන්න කියන්න ඕනෑ.

අපේ රටට පිරිසිදු ආයෝජකයන් එන්නේ නැහැ. 1978 සිට 2022 දක්වා ආයෝජකයන් ගේන්න කොතරම් පොර බැදුවාද? අපට අවුරුදු 44ටම ආවේ ඩොලර් බිලියන 22යි. වියට්නාමයට එක අවුරුද්දට ඩොලර් බිලියන 22යි. දැන් කිසි පිරිසිදු ආයෝජකයෙක් එන්නේ නැහැ. එයා ආව තැන සිට කප්පම් ගෙවන්න ඕනෑ. ඉඩමට යන්න ප්‍රාදේශීය සභාපතිට, ඇමතියාට කප්පම් දෙන්න ඕනෑ. අපි කිසිදු ආයෝජකයෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ඔවුන් විදෙස් විනිමය හැටියට කොයිතරම් මුදලක් ආයෝජනයක් හැටියට අරගෙන එනවාද? පටන් ගන්නේ මොන කර්මාන්ත ශාලාවක්ද? අපට රාජ්‍ය භාගය ලෙස කොතරම් ප්‍රමාණයක් ලැබෙනවාද? රැකියා කොතරම් ප්‍රමාණයක් උත්පාදනය වෙනවාද? කර්මාන්තය වර්ධනය වුණාම වසරකට කොයිතරම් ඩොලර් ප්‍රමාණයක් අරගෙන එනවාද? රටත් ජනතාවත් ගැන පමණමයි අපි කල්පනා කරන්නේ. ලෝකයේ රටවල් දියුණුව අත්පත් කර ගත්තේ, විශාල කර්මාන්ත පද්ධතියකට අවතීර්ණය වීමට ඔවුන් සමත් වුණ නිසා. නව කාර්මීකරණයකට අපි යන්න ඕනෑ. අපි භාණ්ඩ නිෂ්පාදනය කළේ නැහැ. ලෝකයේ නිෂ්පාදනය කරන භාණ්ඩ පරිභෝජනය කළා. ලෝකය සොයාගෙන තිබෙන නව දැනුම, තාක්ෂණය උපයෝගී කරගෙන නව ආර්ථික ක්‍රියාවලියකට පරිවර්තනය කිරීම සඳහා අපි සැලසුම් හදා තිබෙනවා.

ලෝකයේ විශාල පර්යේෂණාගාරවල වැඩ කරන අපේ විද්‍යාඥයෙක් ලංකාවේ විශාල වෙහෙසක් දරලා පර්යේෂණ කරලා බාස්මතී වී සොයාගෙන තිබෙනවා. එයා අපේ කෘෂිකර්ම කමිටුවේ විද්‍යාඥයෙක්. ලෝකයේ පිළිකා රෝගය නිට්ටාවටම සුව කිරීම සඳහා පරීක්ෂණ පවත්වනවා. පසුගියදා ප්‍රවෘත්තියක් පළ වුණා නිට්ටාවටම බෙහෙතක් සොයා ගත්තා කියලා. ඒ පර්යේෂණ කරන්නේ අපේ පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ වැඩකටයුතු කරන අපේ විද්‍යාඥයෙක්. අපේ කෝලිකුට්ටු ගෙඩියේ පොත්ත ශක්තිමත් නැහැ. ඒ පොත්ත ශක්තිමත් කරන්නේ කොහොමද කියා පර්යේෂණ කරන අය අද ජාතික ජන බලවේගයත් සමග ඉන්නවා. අලුත් පර්යේෂකයන් අපේ රටට ඕනෑ. ලෝකය ඉදිරියට යන්නේ නව තාක්ෂණය, නව දැනුම එක්කයි. ලෝකය එක යුගයක් පාලනය කළා වැඩිම නාවික බලයයි, වෙඩි බලයයි තිබුණු අය. ඊළඟට ලෝකය පාලනය කළේ වැඩිම මූල්‍ය බලය තිබෙන කෙනා. ක්‍රමානුකූලව වර්තමාන ලෝකය පාලනය කරන්නේ වැඩිම තාක්ෂණික හිමිකාරිත්වය තිබෙන, වැඩිම නව නිමැවුම් තිබෙන කෙනා. අපේ පරිපූරක වෛද්‍ය සංගමයේදි ලංකාවේ වෛද්‍ය උපකරණ නිර්මාණය වෙනුවෙන් පේටන් අයිතිය තිබෙන කණ්ඩායම් අපට හමුවුණා. රටකට ඉස්සරහට යන්න නම්, අලුත් දැනුම, අලුත් නිෂ්පාදන කරන්න ඕනෑ. 2030 වෙනකොට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් අවශ්‍ය වෙනවා. තව අවුරුදු හයකින් ලෝකයට කෝටි දෙකක මෘදුකාංග ඉංජිනේරුවන් ඕන වෙනවා. අපි ඒ මාර්කට් එක අල්ල ගෙන නැහැ. ලෝක වෙළඳපොළෙන් වැඩිම මෘදුකාංග වෙළඳපොළ අල්ලාගෙන තිබෙන්නේ ඉන්දියාව අපි අලුත් තරුණ පරම්පරාවට ලෝකයේ ඇතිවෙන නව තාක්ෂණ වෙනස්කම්, ශ්‍රම වෙළඳපොළ වෙනස්කම්වලට අනුරූප වන පරිදි භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කරන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරනවා.

මේ වෙනස නිර්මාණය කරන්න අපට පටන් ගන්න වෙන්නේ දේශපාලන පරිවර්තනයකින්. තව මාස දෙකහමාරයි. මේ වෙනසේ ආරම්භය ගන්න වෙන්නේ බලය අතට අරගෙන. පැරණි අසාර්ථක දේශපාලන ගමනෙන් සහ පැරණි අසාර්ථක නායකත්වයෙන් මේ රට මුදාගෙන නව දිසාවකට පරිවර්තනය කරමු. ඒ සඳහා එළඹෙන ජනාධිපතිවරණය තීරණාත්මක හැරවුම බවට පත්කර ගනිමු.”

@Lanka Truth


Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *