Latestවිදේශීය

සිසු අරගල රටපුරා ව්‍යාප්ත වෙයි – බංගලාදේශයේ දැවැන්ත වැඩ වර්ජනයක්

බංග්ලාදේශයේ රජයේ රැකියා කෝටාව වෙන් කිරිමේ ක්‍රමවේදය සම්බන්ධව උද්ගත වී ඇති මතභේදය හේතුවෙන් එරට විශ්වවිද්‍යාලයීය සිසුන් ආරම්භ කළ විරෝධතාව රට පුරා දැවැන්ත වැඩ වර්ජනයක් දක්වා ඇදී යෑමේ අවදානමක් මතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රජයේ හිතවතුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ 1971 නිදහස් අරගලයට එක්වූ හමුදා සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයන්ට රැකියා කෝටාවේ වැඩි ප්‍රමාණයක් වෙන් කිරීමට බංග්ලාදේශ රජය ගත් තීරණයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කළ එම විරෝධතාවට රජයට හිතවාදී කණ්ඩායම් පහර දීමෙන් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට එක් වන ලෙස විශ්වවිද්‍යාලයීය සිසුන් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. රෝහල් සහ හදිසි සේවා අංශ පමණක් ක්‍රියාත්මක වනු ඇතැයි ද, ප්‍රවාහනය සඳහා අවසර ලැබෙන්නේ ගිලන් රථවලට පමණක් බව ද කියමින් ශිෂ්‍ය ව්‍යාපාරයේ විරෝධතා සම්බන්ධිකාරක නහීඩ් ඉස්ලාම් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

ඊයේ ඩකා අගනුවර බොහෝ රජයේ හා පෞද්ගලික කාර්යාල විවෘතව පැවැති බවත්, ත්‍රිරෝද සහ යතුරුපැදි මහාමාර්ගයේ ධාවනය වූ බවත් එරට මාධ්‍ය සඳහන් කළ ද, පොදු ප්‍රවාහන බස් රථ ධාවනය ඉතා අවම මට්ටමක පැවැති බව සඳහන් වේ. රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම විශ්වවිද්‍යාල දින නියමකින් තොරව වසා දැමීමට බංග්ලාදේශ රජය පියවර ගෙන ඇති අතර, නීතිය හා සාමය සහතික කිරීම සඳහා කැරලි මර්දන පොලිසිය සහ දේශසීමා ආරක්ෂක පැරාමිලිටරි බළකාය සියලු විශ්වවිද්‍යාල භූමි වෙත යවා ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *