Latestවිදේශීය

බංගලාදේශ අගවිනිසුරු පැයක් ඇතුළත ඉල්ලා අස්වෙයි

සති කිහිපයක සිට බංග්ලාදේශයේ පැවති නොසන්සුන් තත්ත්වය පහව ගොස් ඇතැයි පෙනී ගියත් ඊයේ (10) ශිෂ්‍ය ක්‍රියාකාරීන් ප්‍රමුඛ කරගත විරෝධතාකරුවන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වටලා විරෝධතාවේ නිරත වී තිබුණි.

ඒ අනුව, එරට අගවිනිසුරුවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගත්තේ, පැයක් ඇතුළත අගවිනිසුරු ඇතුළු සියලු විනිසුරුවරුන් ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට විරෝධතාකරුවන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේය.

ඔවුන් විරෝධතා ආරම්භ කළේ අන්තර්වාර රජයේ අනුදැනුමකින් තොරව අගවිනිසුරුවරයා පූර්ණ අධිකරණ හමුවක් කැඳවූ බවට සැලවීමත් සමග බව සඳහන් ය.

විරෝධතා අතරතුර අතුරුදන් වූ අයෙකුගේ සොහොයුරියක් කියා සිටියේ,

“මෙම අධිකරණය මානව හිමිකම් කඩ කිරීමේ අවසන් සීමාව දක්වාම ගමන් කළා. නමුත් ඔවුන් කිසිදු විමර්ශනයක් හෝ යුක්තිය ඉටු කිරීමක් සිදුකළේ නැහැ. අපේ ඉල්ලීම අගවිනිසුරු ඇතුළු සියලුම විනිසුරුවරුන් ඉල්ලා අස්විය යුතු බවයි.”

මෙවන් පසුබිමක ශ්‍රේෂ්ඨාධිකරණ වැටලූ විරෝධතාකරුවන්ගෙන් එල්ලවූ පීඩනය හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වීමට බංග්ලාදේශ අගවිනිසුරු ඔබයිදුල් හසාන් අද පියවර ගත්තේය.

ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ, ඔහු බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ සමීපතමයෙකු බවය. 

මේ අතර හිටපු අගමැතිනි ෂෙයික් හසීනා එංගලන්ත සරණාගතභාවය වෙනුවෙන් ඉල්ලීම් කර ඇතැයි මීට පෙර වාර්තා පළ වුවත් ඇය නැවතත් බංග්ලාදේශයට පැමිණීමට මෙන්ම මැතිවරණයට ඉදිරිපත් වීමටත් අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

හිටපු අගමැතිනි හසීනාගේ පුත්‍රයා වන සජීබ් වාසිද් පවසා සිටියේ, “අසන්න ලැබෙන කටකතා වැරදියි. මගේ අම්මා කිසිම රටක සරණාගතභාවය වෙනුවෙන් ඉල්ලීම් කරලා නැහැ. මේ අන්තර්වාර රජය ව්‍යවස්ථාවට පටහැනියි. මගේ අම්මාට දැන් අවශ්‍ය නැවතත් බංග්ලාදේශයට යාමට.”

මේ අතර, බංග්ලාදේශ තරුණ ප්‍රජාව මහා මාර්ගවල රථ වාහන හසුරුවන අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

ඒ බංග්ලාදේශ පාලනය ශිෂ්‍ය ක්‍රියාකාරීන් අතරට පත්ව ඇත්තේ ද යන පැනය මතු කරමිනි.

මේ අතර බංග්ලාදේශ සිසුන් ඩකා අගනුවර තාප්ප මත සිතුවම් නිර්මාණය කරන අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැඩි ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් විරෝධතා අතරතුරදී මියගිය පිරිස 500ක් පමණ වන බව නවතම විදෙස් වාර්තා පෙන්වා දෙයි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *