Latestදේශීය

දිනේෂ්ලාට රනිල්ගෙන් කාර්යාලයක්වත් නැහැ – පොහොට්ටු කාර්ලායලක් තලවතුගොඩ විවෘත කරයි

රනිල් වික්‍රමසිංහ සමඟ එක්වී ජනාධිපතිවරණයේ සියලු කටයුතු සිදු කරමින් සිටින අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරු පත්ව සිටින දැඩි අනාථභාවය පිළිබඳව තවදුරටත් කරුණු හෙළි වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් “අද“ පුවත්පතේ වෙබ් අඩවිය කරුණු රැසක් හෙළි කර ඇත. එම කරුණු උපුටා ගෙන පහත දැක්වේ.

“මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා අනෙක් පිරිසට නිරන්තරයෙන්ම රැස්වීමටත්, කතාබහ කිරීමටත් කාර්යාලයක් නොතිබීම ගැන එම මන්ත්‍රීවරුන් විසින්ම නිතර කතාබහ කරන්නට විය.

“තැන් තැන්වල ඉඳගෙන කතා කරන්න බැහැ. අපිටම කියලා වෙනම තැනක් හදා ගමු. ඒක ලේසියි.” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට කියා තිබුණි.

“ඔව් අපි ඒ ගැන අවධානය යොමු කරලා තියෙන්නේ. කැම්පේන් එක අස්සෙම ඒ වැඩෙත් කරනවා. දැනටමත් තැන් දෙක තුනක් බලලා තියෙන්නෙ. අපි කාටත් ලේසිම තැනක් වෙන්න ඕනනේ.” යනුවෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා තිබුණි.

ඒ අනුව පසුගිය සතියේ නව කාර්යාලය විවෘත කෙරුණේ තලවතුගොඩදීය. ඒ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ණගේ ප්‍රධානත්වයෙනි. ඇමති ප්‍රසන්න රණතුංග සමගින් කංචන විජේසේකර, වෛද්‍ය රමේෂ් පතිරණ, මහින්දානන්ද අලුතමෙගේ, ශෙහාන් සේමසිංහ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

“දැන් අපිට රැස්වෙන්න, කතා කරන්න, තීරණ ගන්න අපේම කියලා තැනක් තියෙනවා” යනුවෙන් රෝහිත අබේගුණවර්ධන පැවසුවේය.
“ඇත්තටම මේක හොඳ තීරණයක්” එහෙම කීවේ මහින්දානන්දයි .

එම හමුවට පැමිණි සියලු පොහොට්ටු මන්ත්‍රීවරු මෙම කාර්යාලය විවෘත කිරීම සම්බන්ධයෙන් සිය සතුට පළ කළේය. ඒ අතරේ අතීත සිදුවීම්ද මන්ත්‍රීවරු එකිනෙකා සිහිපත් කළහ. 

“එදා මහින්ද මහත්තයා වෙනුවෙන් කතා කරන්න, සාකච්ඡා කරන්න අපිට තැනක් තිබුණේ නැහැ. හුඟක් සාකච්ඡා පැවැත්වුණේ ප්‍රසන්න අමාත්‍යවරයාගේ නිල නිවසේ. ඒ ගෙදර තමයි තීරණාත්මක තීන්දු ගත්තේ.” සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා අතීතය සිහිපත් කළේය. 

“ඔව්, අපි පස්සෙ තමයි .නෙළුම් මාවතට ගියේ. ඒ කාර්යාලය තිබුණු මාවත තමයි නෙළුම් මාවත. පස්සේ ඒ කාර්යාලයේ නමත් නෙළුම් මාවත පක්ෂ කාර්යාලය වුණා” යනුවෙන් ප්‍රකාශ කරමින් සහන්ගේ කතාවට එක් වුණේ රෝහිත අබේගුණවර්ධනයි.

“ඉතින් මේ ඔෆිස් එක තියෙන්නෙ ප්‍රසන්න ඇමතිතුමාගෙ ගෙවල් පැත්තෙනෙ. ප්‍රසන්න ඇමතිතුමාට මේ කාර්යාලයට ඉක්මනට එන්නත් පුළුවන්. අනිත් එක මේ දේශපාලන මෙහෙයුම පිටිපස්සෙ හිටියෙත් ප්‍රසන්න ඇමතිතුමා. ඒක නිසා ‘ප්‍රසන්න’ කාර්යාලය කියලා මේ කාර්යාලය නම් කරමු .” යනුවෙන් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවට සියල්ලෝම සිනාසුණහ. 

“ මේ .. මේ අනේ මාව අමාරුවේ දාන්නේ නැතුව හිටපල්ලා” යනුවෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එයට සිනාසෙමින් ප්‍රතිචාර දැක්වීය. 

මේ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන්ගේ රැස්වීමක් පසුගියදා පැවැත්වුණේ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. 

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, වෛද්‍ය රමේෂ් පතිරණ, කංචන විජේසේකර අමාත්‍යවරු ඇතුළු දිස්ත්‍රික්ක නායකයෝ මෙම රැස්වීම සඳහා සහභාගී වූහ.

ජනාධිපතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන මහ මැතිවරණය, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලට තරග කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

“මේකයි දැන් අපි ළඟ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. සුදුසු පක්ෂයක් බලලා ලියාපදිංචි කරමු. ඊට පස්සේ ඒවාට අනෙකුත් දේශපාලන පක්ෂ එකතු වේවි” යනුවෙන් ප්‍රථමයෙන් අදහස් ඉදිරිපත් කරන ලද්දේ එස්.බී. දිසානායක විසිනි.

“අපි මුලින්ම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයක් හදාගමු. දේශපාලන මණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන අයගෙන් සමන්විත වෙනවා” යනුවෙන් පැහැදිලි කළේ වෛද්‍ය රමේෂ් පතිරණය.

“ඔව්. අපි ජාතික සංවිධායක, ලේකම්, භාණ්ඩාගාරික, කැඳවුම්කරු කියලා තනතුරු ව්‍යුහය හදාගමු” යනුවෙන් පැවසුවේ ප්‍රසන්න රණතුංගයි.

“අපිට දැන් මූලිකම දේ තමයි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන එක. ඒකට මූලිකත්වය දීලා ජනාධිපතිවරණයෙන් පසුව මේ අලුත් පක්ෂය හා සන්ධානය ගොඩනගන වැඩේ අතට ගනිමු.” යනුවෙන් දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා කියන විට දිස්ත්‍රික් නායකයන් ඊට ප්‍රතිචාර දැක්වූයේ අත්පොළසන් දෙමිනි.“

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *