Latestදේශීය

ආන්ඩුවක් කියන්නේ කුමක්දැයි ආදර්ශයෙන් පෙන්වන්නම් – අනුර දිසානායක

පළමු වතාවට ආණ්ඩුවක් යනු කුමක්දැයි ජනතාවට ආදර්ශයෙන් පෙන්වා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය දා (24) පස්වරුවේ තිස්සමහාරාමයේදී පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක,

“ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනතාවට ජනතා ආණ්ඩුවක් හදන්න දැන් අවස්ථාව ලැබී තිබෙනවා. අපි ආණ්ඩුවක් හැදුවාට පස්සේ අපි මේ රටේ ජනතාවට පෙන්නන්නම් ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා. අපි මෙතෙක් කල් ආණ්ඩු කියලා දැක්කේ මොනවාද? මහජනයාගේ දේපොළ, හොරකම් කරන, නාස්ති කරන, රට වටේ ඉඩම් අල්ල ගන්න, ජනතා බිය ගන්වන, පොලීසියට අත පොවන පාලකයො තමයි ආණ්ඩු විදිහට දැක්කේ.

ඔබ හිතන්නේ ඒවා ආණ්ඩු කියලාද? අපි පළමු වතාවට මේ රටේ ජනතාවට ආදර්ශයෙන් පෙන්වනවා ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා. අද ජනතාවගෙන් 68%කට එක්කෝ තුන්වේල කන්න නැහැ. එක්කෝ කෑවත් හරි හමන් පෝෂ්‍යදායී කෑමක් නැහැ. ඒ කියන්නේ ආහාර ටිකවත් සපයා ගන්න බැරි තරමට ජනතාව දුප්පත් කරලා. අසනීපයකට බෙහෙත් ටිකක් ගන්න බැරි තරමට ජනතාව දුපපත් කරලා. දරුවන්ට උගන්වන්න වියදම් කරන්න බැරි තරමට ජනතාව දුප්පත්. මගුල් දවසෙ දාපු මුද්ද බැංකුවේ. දරුවගේ බෙල්ලේ බැඳපු තැල්ල බැංකුවේ. එහෙනම් මේ මොකද වෙලා තිබෙන්නේ. රට දුප්පත්. ආණ්ඩුව දුප්පත්. ජනතාව දුප්පත්. මහින්ද පොහොසත්. පාලකයෝ පොහොසත්. දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ වුණේ ඕකයි. පාලකයන්ට ඉඩම් වැඩි වුණා. හම්බන්තොට කවුරුත් දන්නවා චමල් රාජපක්ෂට තිබෙන ඉඩම්. ඒ ගොල්ලන්ගේ ගෙවල් ලොකු වුණා. රට වටෙන්ම ගෙවල් ගත්තා. ධනය වැඩි වුණා. එහෙනම් මෙච්චර කල් මොකද වෙලා තිබෙන්නේ. ජනතාව ආණ්ඩු හදලා පාලකයා පොහොසත් වෙලා. රටයි ජනතාවයි දුප්පත් වෙලා.

අපි පළමු වතාවට ආණ්ඩුවක් හදමු. රට ජනතාව පොහොසත් කරන ආණ්ඩුවක්. ඒ ගොල්ලේ හැදාම බලය ගත්තේ පොහොසත් වෙන්න. ඒ ගොල්ලෝ අතර බෙදීම් තිබ්බේ නැහැ. තරහා මරහා තිබ්බේ නැහැ. එකිනෙකාට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. හැමදාම එකට හිටිය මහින්ද අමරවීර, චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් ඇමති, මහින්දගෙ ආණ්ඩුවෙත් ඇමති, මෛත්‍රීගෙ ආණ්ඩුවෙත් ඇමති, රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති. ජනතාව හැමදාම ආණ්ඩු මාරු කළා. මහින්ද අමරවීර පැත්ත මාරු කළා. ඒ ගොල්ලන්ට කවදාවත් රනිල් එක්ක, මහින්ද එක්ක, මෛත්‍රීත් එක්ක තරගයක් තිබ්බාද? නැහැ. ඒ ගොල්ලෝ හැමදාම එකට හිටියා. ඒ ගොල්ලෝ පොහොසත් වෙන්න, ඒ ගොල්ලන්ගේ ධනය වැඩි කර ගන්න එකට හිටියා. ඔය ගෝල්ලෝ කවදාවත් හිතුවද රෝහිත අබේගුණවර්ධන, මහින්ද ළඟින් ඉවත්වෙලා රනිල් ළඟට යයි කියලා. මහින්දට අප්පච්චි අප්පච්චි කිය කිය හිටියේ. දැන් රනිල්ට අප්පච්චි කියනවා. දැන් අප්පච්චිලා දෙන්නයි.

දේශපාලන ප්‍රතිපත්තිවලින් වෙනස්කම් තිබුණා නම් මහින්දට අප්පච්චි කිවුව කටින් රනිල්ට අප්පච්චි කියන්න පුළුවන්ද? පවිත්‍රාදේවි රනිල්ට කියපුවා ඇත්තටම නම් කිව්වේ අද රනිල්ගේ මුහුණ බලන්න පුළුවන්ද? ඒ ගොල්ලෝ කවදාවත් තරහ වෙලා නැහැ. ඒගොල්ලෝ හැමදාම එකට හිටියා. එකට ආණ්ඩ ුකළා. පැරදුන ගමන් එකතු වෙනවා. දිනුවහමත් එකතු වෙනවා. ජනතාව හැමදාම බෙදුණා. අවරුදු 76ක් පුරාවට වුණේ ඔය ටික. දැන් අපිට තේරෙනවා රටට ජනතාවට මොකක්ද වුණේ කියලා. ගොඩක් කථා ඕන නැහැ. මේ පාඩම් ටික අපිට හොඳටම ඇති, ජනතා ආණ්ඩුවක් හදන්න ඕනෑ ඇයි කියන තීරණය ගන්න. හැබැයි අපිට ආණ්ඩුවක් හදන්න වුවමනාවක් තිබ්බට ඒ සඳහා කැක්කුමක් තිබ්බට ඒක එහෙමම කරන්න බැහැ. ඒකට අවස්ථාව එන්න ඕනෑ. දැන් අවස්ථාව ඇවිත් තිබෙනවා. කවදාද? සැප්තැම්බර් 21 දිනය. මාසෙකටත් අඩු කාලයක්. මේ අවස්ථාව අතහරිනවාද? කොහෙත්ම නැහැ. අපි ඔක්කොටම එකතු වෙලා ජනතාවගේ පැත්තේ හිට ගන්න ආණ්ඩුවක් හදන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා. ඒ දේ අපි එකතු වෙලා කරමු. ඉන් පස්සේ අපි රට ගොඩ නඟන්න ඕනෑ. ඒ සඳහා අපි ඒ ඒ අමාත්‍යාංවල විෂයයන් ඒ සඳහා හසල දැනුමක් තිබෙන, අත්දකීම් තිබෙන අයට බාර දෙන්න ඕනෑ. දැන් මොකද වෙලා තිබෙන්නේ. සාගල රනිල්ට කිට්ටු වෙනවා. එයාගෙ අයියා වරායෙ සභාපති වෙනවා. ප්‍රසන්න රණතුංග ඇමති වෙනවා. බෑනා හෝටල් සංස්ථාවේ සභාපති වෙනවා. අර්ජුන රණතුංග වරාය ඇමති වෙනවා. මල්ලි ධම්මික රණතුංග වරායෙ සභාපති වෙනවා. ඒ අර්ජුනම තෙල් ඇමති වෙනවා. ධම්මික තෙල් සංස්ථාවේ සභාපති වෙනවා. මහින්ද යාපා කථානායක වෙනවා. පුතා ලොතරැයි මණ්ඩලයේ සභාපති වෙනවා. ලක්ෂ්මන් යාපා ආණ්ඩුකාරයා වෙනවා. පුතා තව ආයතනයක සභාපති වෙනවා. මේවා ආණ්ඩු නොවෙයි. මේවා චෞර පවුල් කල්ලි.

අපි ආණ්ඩුවක් හදමු. වරායට නවික කර්මාන්ත හා වරාය පිළිබඳව දැනුව තිබෙන අදූෂිත අවංක මිනිහෙක් සභාපති කරමු. හැම ක්ෂේත්‍රයකටම අපේ තේරීම ඒකයි. ඒ ඒ ක්ෂේත්‍ර ගැන අවබෝධය, නිපුණතාවය තිබෙන අය තමයි අපි ඒ ඒ ක්ෂේත්‍රවලට පත් කරන්නේ. ඒ මිනිසුන්ගෙන් තමයි ආණ්ඩුව මෙහෙය වන්නේ. එතකොට රට ඉදිරියට යනවා. පළමුව මේ රට පොහොසත් කරන්න ඕනෑ. රට පොහොසත් වුණොත් ආණ්ඩුවත් පොහොසත් වෙනවා. රට පියවරනේ පියවර ඉදිරියට ගෙන යන ආණ්ඩුවක් අපි හදමු. එතකොට ජනතාව කියයි මේවනෙ අප්පා ආණ්ඩු කියලා. මම ඇතුළු මහජන ධනය සතයක් හොරකම් නොකරන කණ්ඩායමකින් අපි ආණ්ඩුවක් හදමු.

අපි ඔබට සහතිකයක් දෙනවා. මහජන මුදල් සතයක් හොරකම් නොකරන, නාස්ති නොකරන ආණ්ඩුවක් අපි හදනවා. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි කරන වියදම් කරන්න ආණ්ඩු මින් පස්සේ නැහැ. කොවිඩ් කාලෙ පෝලිම් නැතිව මන්ත්‍රීවරුන්ට තෙල් ගහන්න වරප්‍රසාදයක් දුන්නා. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තුන්දෙනා විතරයි. ඒ වරප්‍රසාදය ප්‍රතික්ෂේප කළේ ජනතාවට නැති වරප්‍රසාද අපිට එපා කියලා. තෙල් මිල ඉහළ යනකොට මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයකින් ඉන්ධන දීමනාව වැඩි කළා. ඒ දීමනාව ලබා නොගත් එකම මන්ත්‍රීවරු තුන්දෙනා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තුන්දෙනා. සැබෑ මන්ත්‍රීවරුනම් එහෙමයි. අරගොල්ලන්ට ජනතාවට හෙණ වැදුණත් කමක් නැහැ, ඒ ගොල්ලන්ගේ සාක්කු පිරෙනවා නම්. ඒ මන්ත්‍රීවරුද?

අපි සැලසුමක් හදනවා, එක කන්නයක් වෙනුවට කන්න තුනක් වගා කරන්න. අපිට විශාල වැව් පද්ධතියක් තියෙනවා. දැන් මොකද වෙලා තිබෙන්නේ. සති දෙකක් යනකොට වැව් හිඳෙනවා. වවේ වතුරවලට වඩා තිබෙන්නේ රොන් මඩ. වැවේ ඉස්මත්ත එළිකළා. ජල පෝෂක ප්‍රදේශ විනාශ කළා. වැව් ප්‍රතිසංස්කරණය කළේ නැහැ. අපේ ආණ්ඩුවක් යටතේ එම වැව් ප්‍රතිසංස්කරණය කරනවා. ධාරිතාවට සරිලන විදිහට ජලය පිරෙන පරිදි කන්න තුනම වගා කරන්න පුළුවන් විදිහට රටේ කෘෂි නිෂ්පාදනය වැඩි කිරීම රට පොහොසත් කිරීමේ එක පියවරක්. අපේ පොස්පේට් නිධිය ඇතුළු සියල් ඛනිජ සම්පත් කර්මාන්ත බවට පත් කරනවා. රැකියා උත්පාදනය කරනවා. එතකොට රට පොහොසත් කරනවා. එතකොට ජනතාව පොහොසත් වෙනවා. ආහාරවලට, ඖෂධ වලට ගහලා තිබෙන බදු අපි ඉවත් කරනවා. මනා පෝෂ්‍ය ගුණයෙන් යුත්, සෞඛ්‍ය සම්පන්න, ක්‍රීඩාශීලී ජනතාවක් ගොඩනඟන එක තමයි අපේ ආණ්ඩුවක ප්‍රධාන අරමුණ.

එක දවසක් මට ප්‍රසිද්ධ ව්‍යාපාරික මහතකේ කිව්වා, එයා පාරේ යන කොට එයා යන පැත්ත වහල හිරවුණා කියලා. මොකක්ද හේතුව කියලා බලනකොට මහින්ද රාජපක්ෂ අනෙක් පැත්තට යනවා. ඒ නිසා පාර වහලා. මේ ජනතාව පීඩාවට පත් කරන ප්‍රභූවරුන්ගේ සියලු වරප්‍රසාද අපි අහෝසි කරනවා. අපේ පාලනයක් යටතේ ජනතාවට ඉහළින් සිටින ප්‍රභූවරු කියලා ජාතියක් නැහැ. අපි සෑබෑ ලෙසම ජනතාවාදී ආණ්ඩුවක් හදන්න එකතු වෙමු.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *