Latestදේශීය

කෝටියක් වංචා කළ හෙද නිද නිළධාරිනිය අතඅඩංගුවට

ඔස්ට්‍රේලියාවේ හෙද රැකියා දෙන බව කියා රජයේ රෝහල්වල සේවය කරන හෙදියන් සිව් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ එකසිය දෙකක මුදලක් වංචනික ලෙස ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ රජයේ රෝහල්වල හෙද සේවාවේ හිටපු හෙද නිලධාරිනියක මේ මස 5 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ රජයේ රෝහල්වල හෙද සේවාවේ හිටපු හෙද නිලධාරිනියක වන අනුරාධපුර ජයන්ති මාවත අංක 376/ 10/බී ලිපිනයේ පදිංචි ටී.ඒ. නිලුකා නිමන්ති ගුණරත්න නමැත්තියකි.

කැකිරාව විජිතපුර ප්‍රදේශයේ පදිංචි තවත් හෙද නිලධාරියකු වන කමල්දීන් මහසීර් මොහොම්මදු යන අයද ඔස්ට්‍රේලියාවේ හෙද සේවාවේ රැකියාවකට යවන බව පවසා ඔහුගෙන් ද රුපියල් ලක්ෂ විසි හයක පමණ මුදලක් වංචනිකව ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කිරීමේ සිද්ධියකටද අදාළව මේ සැකකාරිය මේ මස 29 දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය කියා සිටියේ මේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතින බවයි. එබැවින් සැකකාරිය රිමාන්ඩ් කරන්නැයි විශේෂ අපරාධ විමර්ශන අංශය අධිකරණයෙන් අයැද සිටියේය.

රජයේ රෝහල්වල සේවය කරන හෙද නිලධාරිනියන් වන එස්.ඒ. ඉසංකා හර්ෂනී සහ එල්. චන්ද්‍රිකා ප්‍රියදර්ශනී සහ ආර්. කේ. මල්ලිකා ඉරෝෂණී රාජපක්ෂ සහ ජේ.ඒ. තක්ෂිලා සුදර්ශනී මහත්මීන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට වෙන් වෙන් වශයෙන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා සැකකාර හිටපු හෙද නිලධාරිනිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් ආනන්ද මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක රණවීර මහතා පෙනී සිටි අතර සැකකාරිය වෙනුවෙන් නීතිඥ ප්‍රදීප් දිසානායක මහතා පෙනී සිටියේය.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *