Latestදේශීය

යුද්දෙ දිනුවේ මහින්ද තමයි නමුත් සමස්ත රටම බේරගත්‌තේ රනිල් – ප්‍රසන්න රණතුංග

උසනම් සිකියුරිටි මිටිනම් කමිකරු පන්නයේ ප්‍රතිපත්ති ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට රට භාරදුන්නොත් රටේ හා දරුවන්ගේ අනාගතය ගැන කතා කරන්න දෙයක් නැතිවෙනවා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නෙ මේ මොහොතේ රටේ අනාගතය භාර දිය හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය දා (25) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

“රටට ආදරය කරන මිනිස්සු අපිව හැමදාම හදුන්වන්නේ උපන්ගෙයි ශ්‍රී ලංකාකාරයෝ කියලා. අපි එදා 2015 මහින්ද මහත්තයා පැරදුණාම සඝ,වෙද, ගුරු, ගොවි, කම්කරු කියන අපේ පංච මහා බලවේගය ඒකරාශී කරන්න බලාපොරොත්තු ඇතුව තමයි පොහොට්ටුව නිර්මාණය කළේ. පොහොට්ටුව ආරම්භ කරලා පොහොට්ටුව එක්ක වැඩ කරලා රටේ පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණ අපි ජයග්‍රහණය කළා. පළාත් පාලන මැතිවරණයෙන් අපි 90% ක් ජයග්‍රහණය කළා. ජනාධිපතිවරණයෙන් හැටනව ලක්ෂයක් ජනතාව බොහෝම විශ්වාසයෙන් ජාතික ආරක්ෂාව ගැන සළකලා ගෝඨාභය මැතිතුමාව ජයග්‍රහණය කළා. පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අපිට තිබුණා. වැඩ ආරම්භ කරනකොටම ඇතිවුණු කොවිඩ් වසංගතයත් එක්ක ආර්ථික අර්බුධයක් ඇති වුණා. ආණ්ඩුවක් හැටියට අපිට පුළුවන්කමක් තිබුණේ නෑ ආර්ථිකය ගොඩගන්න.

එදා කැබිනට්ටුවේ අපි හිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිටියා. අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයා හිටියා. නාමල් රාජපක්ෂට ඇමතිකම් 05 ක් එක්ක අමාත්‍යධූරයක් තිබුණා. චමල් ඇමතිතුමත් හිටියා. අපේ කැබිනට්ටුවේ 1/5 ක් හිටියා රාජපක්ෂවරු. මමත් ඒ කැබිනට් එකේ හිටියා. එදා පංච මහා බලවේගය එකතු කරන්න ගිය අපිට ඒක කරන්න බැරි උනා. වෙන අය තමයි උපදෙස් දුන්නේ.

ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට එදා කමිටුවක් දාලා අපි කමිටුවේ නිර්දේශ දුන්නා මේ විදියට ක්‍රියාත්මක කරන්න කියලා. එදා අපේ ආණ්ඩුව අපි කියන දේ ඇහුවේ නෑ. ප්‍රතිඵලය විදියට පංච මහා බලවේගයන්ගෙන් එකක් අපෙන් ගැලවුණා. එදා පොහොර ප්‍රශ්නේ එනකොට අපි හැමෝම කිව්වා කාබනික පොහොර ප්‍රශ්නය ඔහොම විසදන්න බෑ කියලා. ලෝක ආර්ථික අර්බුධයක් ඇතිවෙලා තියෙන වෙලාවේ ඒ විදියට අපි ක්‍රියාකරන්න ඕන කියලා. ඒක ඇහුවෙත් නෑ. එතනදි අපිට තව බලවේගයක් අහිමි උනා. එදා ජනාධිපතිතුමා රුවන්වැලි සෑයෙදීත් අපි දළදා මාළිගාවේදීත් දිවුරුම් දුන්නා. නමුත් අපේ සංඝයාවහන්සේලාට ඇහුම්කන් දෙන්න අපිට බැරි උනා. ඒ අයත් අපිට අහිමි උනා.

අපේ ආණ්ඩුව කඩාවැටිලා දේශපාලන අස්ථාවරභාවයක් ඇති උනා. ඒකට තව හේතු බලපෑවා. මතක ඇති ජනතා විමුක්ති පෙරමුණ කිව්වා ලංකාවට සල්ලි එවන්න එපා කියලා. හොරු කියලා හැමෝටම බැන්නා. මිනිස්සු අතර බොරුව වැපිරුවා. රට පාරට ඇදලා දාන විදියට වැඩ කරලා දේශපාලන අස්ථාවරභාවයක් ඇති කළා. අපි ආණ්ඩුවෙන් අයින් උනා. නමුත් අපි ආරාධනා කළා. විපක්ෂ නායකතුමාට රට භාරගන්න කියලා. කොන්දේසි විරහිතව උදව් කරන්නම් කිව්වා. ආණ්ඩු වට්ටන්න පුළුවන්. රාජ්‍ය වට්ටන්න බැරි නිසයි එහෙම කළේ. හැමෝම භාරගන්න බැහැයි කියනකොට භාරගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි.

එදා විපක්ෂය සාකච්ඡා කරලා කිව්වා රට තියෙන්නේ අමාරු තැනක අපිට මේක භාරගන්න බෑ කියලා. අපි නෙවේ කියන්නේ හර්ෂ ද සිල්වා ට්විටර් පණිවිඩයක් ම දාලා තිබුණා. එහෙම තිබුණ රටක් භාරගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. කොරෝනා විතරක් නෙවෙයි. මේ රටේ හෙල්මට් කල්ලිය ගෙවල් ගිනි තියලා මින්සුසු මරලා එහෙම තත්ත්වයකට පත් කළා. එයාලට වෙනම ඡන්දය ඉල්ලන්න පුළුවන් උනේ රනිල් මේ රට භාරගත්ත නිසා. එහෙම නොවුණානම් ගොඨාභය මහත්තයා, මහින්ද මහත්තයා අහු උනානම් මොකද කරන්නේ?. අමරකීර්තිට උන දේම තමා වෙන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුවේ ඉන්න අපි බහුතරයක් කීවේ රට ගොඩගත්ත නායකයාට සහය දෙමු කියලා. ආර්ථික අර්බුධයේදී ලෝකයම අපිව බංකොළොත් රටක් කියලා කියනකොට ඒ බංකොළොත්භාවයෙන් මුදවාගන්න කටයුතු කළේ කවුද කියලා අමතක කරන්න එපා. අපි තෙල්, ගෑස් පෝලිම්වල හිටියා. පොඩි ළමයට කිරිපිටි පැකට් එකක් ගන්න බැරිව හිටියා. ගෑස් සිලින්ඩරයක් හොයාගන්න බැරිව හිටපු රටක රටේ ආර්ථිකය නැවත ගොඩනගන්න කටයුතු කලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. යුද්ධය දිනපු නායකයා විදියට මහින්ද මහත්තයාට ගරු කරනවා වගේම මේ රටේ සමස්ත ජනතාව බේරාගත් නායකයා රනිල් වික්‍රමසිංහ කියන එක අපි අමතක කරන්න හොද නෑ.

ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 156 ක් හිටියට කණ්ඩායම සීසීකඩ ගිහිල්ලා අපි පොහොට්ටුවක් හැටියට තරග කරපු කණ්ඩායම විතරක් මේ වෙනකොට 104 ක් ඉන්නවා. ඒ 104 දෙනාටම හොඳ ඡන්ද පදනමක් තියෙනවා. පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් 90% ක් ඉන්නේ අපිත් එක්ක. අපේ ඡන්ද පදනම රැකගෙන අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 104 ඡන්ද 50,000 ගානේ ගත්තා නම් අපිට ඡන්ද ලක්ෂ 50ක් ලැබෙනවා. ඒ මට්ටම නොලැබෙන්න පුළුවන්. නමුත් මෙරට මුළු ඡන්ද ප්‍රමාණයෙන් 40%ක් 45%ක් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට. කළගුණ දන්නා මිනිස්සු රටට ආදරේ කරන මිනිස්සු ගම්වල ඡන්දය ලබා දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට. ඊට කලින් කට්ටිය කිව්වේ රටට කෙලවෙලා යන්න හරි මාලිමාවට දෙනවා කියලා. මොනවා වුණත් රනිල් මේ රට ගොඩ දැම්මා කියලා අද මිනිස්සු කියන්න පටන් අරන් තියෙනවා.

මේ අත්හදා බැලීමට කාලයක් නෙමෙයි කියලා අද මිනිස්සු කියන්න අරන් තියෙනවා. මේ වසර දෙක තුළ ගෙනා ආ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ රනිල් මහත්තයයි. ඒක වෙන කෙනෙකුට භාර දුන්නොත් වෙන්නේ 2019 වසරේදී ගෝඨාභය ගෙනල්ලා කරගත්තට වඩා අමාරු දෙයක්. මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව හිටපු කෙනෙක්. අපි පක්ෂයට වඩා රටට ආදරය කරන මිනිස්සු. ඒ නිසයි රට වෙනුවෙන් නායකත්වයක් වෙනුවෙන් අපි පෙනී සිටින්න තීරණය කළේ.

එතුමාට ආපූ අභියෝග බලන්න. මුලින්ම කිව්වා රනිල් රාජපක්ෂ කියලා. අද රාජපක්ෂලාගේ වේදිකාවේ කාටද බනින්නේ කියලා බලන්න. පොහොට්ටුවේ අපිට බනිනවා. රනිල්ට බනින්න එපැයි. අනුර කුමාරට, සජිත් ප්‍රේමදාසට බනිනවද බලන්න. සජබෙ වේදිකාව බනින්නේ කාටද බලන්න ඒ අපිට. රනිල් වික්‍රමසිංහ මහත්තයාට බනිනවා. හැබැයි වචනයක් රාජපක්ෂලාට බනිනවද? තව සතියක් යනකොට ආණ්ඩුව හා විපක්ෂය කියලා මේක දෙකට බෙදෙනවා. ආණ්ඩුවට සහාය දෙන රනිල් වික්‍රමසිංහ තනිවෙනවා. අනිත් හැම කණ්ඩායමක්ම එකතු වෙනවා. ඒ එකතු වුණත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට 40%ක් ඡන්ද පදනම තියෙනවා. ඔවුන් බෙදෙනකොට අනිත් කාටවත් 40%ක් ගන්න බෑ. සජබෙ මන්ත්‍රීවරු රනිල් ගාවට එනකොට ඔවුන් බාර් ගත්තා අරක මේක ගත්තා කියලා හංවඩු ගහනවා. කවුරු මොනවා කිව්වත් අපි දේශපාලනය කරන්නේ වරදාන වරප්‍රසාද වලට නෙමෙයි. රට ගැන හිතන කණ්ඩායම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට එකතු වෙලා ඉන්නේ.

71 අරගලය ගෙනල්ලා සිරිමාවෝ මැතිණිය බලයෙන් පහ කරන්න කටයුතු කළේ කවුද? 83 කලු ජූලියේදී දෙමළ මිනිස්සු ඝාතනය කරලා අර්බුදකාරී තත්ත්වයක් ඇති කළේ කවුද? 88/89 භීෂණ කාලයේ හමුදා නිලධාරින් පොලිස් නිලධාරින් ඝාතනය කර රාජ්‍ය දේපළ ගිනි තිබ්බේ කවුද? වෙන කවුරුත් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණයි. ඔය කණ්ඩායම තමයි 2022 අරගලය කළෙත්. ඔවුන් බලය ලබා ගන්න ප්‍රචණ්ඩත්වය පාවිච්චි කළ කණ්ඩායමක්. ඔවුන්ට නැවත මේ රට භාර දුන්නොත් කැලෑ නීතිය ගේනවා. ඔවුන්ට ආගමක් ජාතියක් නෑ. ඔවුන්ගේ ආගම, ජාතිය වන්නේ ඔවුන්ගේ පක්ෂයයි.

සජිත් ප්‍රේමදාස මහත්තයාට යමක් කරන්න පුළුවන්ද? අවුරුදු ගාණක් හිටියට කරපු දෙයක් නෑ. උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විපක්ෂනායකතුමාටරටේ අනාගතය භාර දුනොත් රට හා දරුවන්ගේ අනාගතය ගැන කතා කරන්න දෙයක් නැති වෙනවා.  මේ රට භාර දෙන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.”

@ මාධ්‍ය අංශය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *